අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.06.21

    ජූනි 22, 2016

    2016.06.21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  එළැඹුණු තීරණ පහත සඳහන් වේ.

     

    පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම

     

    පළාත් සභාවන්හි කටයුතු කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීමේදී මුහුණපෑමට සිදුවන ගැටලු පිළිබදව පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භයේදී කරුණු සාකච්ඡා කරන ලද අතර එහිදී පළාත් සභා යටතේ පාලනය වන පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම, විදුහල්පති සහ ගුරු පුරප්පාඩු පිරවීම, පළාත් සභා සදහා අවශ්‍ය සම්පත් ලබාගැනීමේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා, කසළ කළමනාකරණය යනාදී කරුණු පිළිබඳ අවධානය යොමු කරන ලදී. එමෙන්ම පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන ලදී. 2016 වර්ෂය සඳහා වූ අයවැය යෝජනා මඟින් හඳුන්වා දෙනු ලැබූ ක්‍රමවේදය අනුව පළාත් සභා සඳහා අයවැය ප්‍රතිපාදන වෙන් කෙරෙනුයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය මඟිනි. ඒ වෙනුවට ඒ සඳහා 2015 වර්ෂය අවසානය දක්වා අනුගමනය කරන ලද පැරණි ක්‍රමවේදයම යොදා ගැනීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මීට පෙර පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබිණි. ඒ අනුව මහා භාණ්ඩාගාරය විසින් සෘජුවම ඒ ඒ පළාත් සභා වෙත ප්‍රතිපාදන වෙන් කළ හැකි වන පරිදි 2015 අංක 16 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය ලබා දෙන ලදී.

     
    අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය' (උපදේශක සමාගම් හා අදාළ ගෙවීම් පරීක්ෂා කිරීමට පත් කළ කමිටු වාර්තාව ඉදිරිපත් කිරීම)

    අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය' සඳහා උපදේශක සමාගම් තෝරා ගැනීම සහ එම සමාගම්වලට අදාළ ගෙවීම් කිරීම ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමකින් තොරව සිදු කරනු ලැබ ඇති බව මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර බැලීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුව නිරීක්ෂණය කර ඇත. මෙම ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු සඳහා උපදේශක සේවය ලබා ගන්නා ලද පෞද්ගලික සමාගමේ සේවය එකී කමිටුවේ නිර්දේශය පරිදි මින් ඉදිරියට ලබා නොගැනීමටත්, එම සමාගම වෙත සිදු කරනු ලැබ ඇති උපදේශක ගාස්තු ගෙවීම් සමාලෝචනය කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම

    ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හමුවේ ඇති අභියෝග හා සීමාවන් හඳුනා ගනිමින් සහ විශ්වවිද්‍යාලයේ අනාගත සුරක්ෂිතතාව අරමුණු කරගනිමින්, වර්තමාන ලෝක තත්ත්වයන්ට ගැලපෙන සේ පනතේ අරමුණුවලට හානියක් නොවන පරිදි හා එම අරමුණු වඩාත් උසස් අයුරින් ඉටු කරගැනීම පිණිස 1995 අංක 37 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    හලාවත නගරය හා පුත්තලම නගරය සඳහා වන අපජලය බැහැර කිරීමේ යටිතල පහසුකම් සහ මහරගම - බොරලැස්ගමුව ප්‍රදේශ සඳහා වන අපජලය බැහැර කිරීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම

     හලාවත නගරය හා පුත්තලම නගරය සඳහා වන අපජලය බැහැර කිරීමේ යටිතල පහසුකම් ඉදි කිරීම සහ මහරගම - බොරලැස්ගමුව ප්‍රදේශ සඳහා වන අපජලය බැහැර කිරීමේ පද්ධතිය ඉදි කිරීම සඳහා වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහාත්, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 105ක ණය මුදලක් සහනදායී කොන්දේසි මත චීනයේ අපනයන - ආනයන බැංකුව (Exim Bank) වෙතින් ලබාගැනීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා සහ මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වැලිවිට ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික සහාය ලබාගැනීම

    රාජ්‍ය - පෞද්ගලික හවුල් පදනම (PPP) යටතේ ශ්‍රී ලංකාවේ පළමුවරට ඉදි වන ජල සම්පාදන ව්‍යාපෘතිය වන වැලිවිට ජල සම්පාදන ව්‍යාපෘතියේ ඉදි කිරීම් සඳහා ලෝක බැංකු සමූහයේ අන්තර්ජාතික මුල්‍ය සංස්ථා‍ෙව් (IFC) තාක්ෂණික සහයෝගය ලබාගැනීමටත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වලස්මුල්ල සති පොළ ඉදි කිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම

    වලස්මුල්ල සති පොළේ ඉදි කිරීම් කටයුතු අත්තිවාරම් මට්ටම දක්වා නිම කරනු ලැබ ඇති අතර අරමුදල් සපයා ගැනීමේ ගැටලුවක් මත තාවකාලිකව නවතා ඇත. මෙහි ඉදි කිරීම් කටයුතුවල ඉතිරි වැඩ කොටස් රුපියල් මිලියන 50ක ඇස්තමේන්තුගත පිරිවැයකට යටත්ව, මුල් ඉදි කිරීම් කටයුතු සිදු කරන ලද ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදි කිරීම් ඒකකයේ සහාය ඇතිව සිදු කරගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ස්ව‍ාභාවික රබර් නිපදවන රටවල්වල සංගමයේ, ස්වාභාවික රබර් මිල ස්ථාවර කිරීම සඳහා වන විද්වත් කණ්ඩායමේ තෙවන රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම

     ශ්‍රී ලංකාව ඇතුළු ස්වාභාවික රබර් නිපදවනු ලබන රටවල් 11ක් සාමාජිකත්වය දරන අන්තර්ජාතික සංවිධානයක් වන ස්වාභාවික රබර් නිපදවන රටවල සංගමය විසින් පිහිටුවන ලද ස්වාභාවික රබර් මිල ස්ථාවර කිරීම සඳහා වන විද්වත් කණ්ඩායමේ තුන්වන රැස්වීම 2016 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා කඩිනම් වැඩසටහන

    මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ හා සංවර්ධකයින්ගේ සහභාගිත්වයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටස් අටක (08) ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති අනුමැතිය පරිදි ව්‍යාපෘති යෝජනා කැඳවනු ලැබ ඇත. ඒ අනුව පානදුර, හෝමාගම (ජල්තර අදියර II), යක්කල සහ රාගම ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, කුණ්ඩසාලේ, හෝමාගම, ගාල්ල සහ නිට්ටඹුව ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති සඳහා නැවත ව්‍යාපෘති යෝජනා කැඳවීමටත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පත් කරන ලද මෙහෙයුම් කමිටුව විසින් නිර්දේශ කර ඇති බවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

     
    යාපනය හා දූපත් අතර ආරක්ෂිත ලෙස මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කිරීම හා ජැටි පහසුකම් සංවර්ධනය කිරීම

    යාපනය අර්ධද්වීපය ආශ්‍රිත ඩෙල්ෆ්ට් හා නාගදීපය ඇතුළු දූපත්වල වාසය කරන ජනතාව තම දෛනික අවශ්‍යතා සඳහා බෝට්ටු ප්‍රවාහන සේවා භාවිතා කරනු ලබයි. මීට අමතරව ආගමික ස්ථාන නැරඹීමට යන සංචාරක පිරිස් ද බෝට්ටු මඟින් ගමනාගමන පහසුකම් සලසා ගනිති. නමුත් ප්‍රමාණවත් හා ආරක්ෂිත බෝට්ටු සේවාවක් නොමැති වීම, ජැටි පහසුකම් අවම මට්ටමක පැවතීම, දැනට පවතින ප්‍රදීපාගාරය අලුත්වැඩියා කළ යුතු තත්ත්වයක පැවතීම ආදී ගැටලු හේතුවෙන් වෙරළාසන්න මඟී ප්‍රවාහනයට බාධා එල්ල වී ඇත. මෙයට පිළියමක් වශයෙන් වෙළඳ නාවික අධ්‍යක්ෂ ජනරාල් මඟින් වෙරළාසන්න මඟි ප්‍රවාහන කටයුතු සංවර්ධනය හා නියාමනය කිරීම සඳහාත්, බෝට්ටු ආඥාපනතට සුදුසු සංශෝධන හඳුන්වාදීම සඳහාත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුණ රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පිරිවෙන් දින මහෝත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන උපයෝජනය කිරීම

    මෙරට බෞද්ධ අධ්‍යාපනය හා සංස්කෘතිය පවත්වාගෙන යාම සදහා පිරිවෙන් අධ්‍යාපනය මඟින් ලබා දෙන ලද දායකත්වය ඉමහත්ය. මූලික පිරිවෙන්, මහ පිරිවෙන් හා විද්‍යායතන වශයෙන් සංවිධානය වී ඇති පිරිවෙන් 750ක වර්තමානයේ ගිහි හා පැවිදි ශිෂ්‍යයන් 64,606ක් අධ්‍යාපනය ලබන අතර ගිහි හා පැවිදි ආචාර්යවරුන් 6,495 දෙනෙක් එම පිරිවෙන්හි ඉගැන්වීමේ කාර්යයයේ නිරත වී සිටිති. පිරිවෙන් මඟින් ඉටු වන සේවය හා ඒ සදහා දායකත්වය ලබා දෙනු ලබන ආචාර්යවරුන්ගේ සේවය ඇගයීමටද, පිරිවෙන් ශිෂ්‍යයන්ගේ නිර්මාණ කුසලතා ඇගයීමටද වාර්ෂිකව පවත්වනු ලබන පිරිවෙන් දින මහෝත්සවය මෙවර 2016 ජූලි මස 16, 17 හා 18 දින වල මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නාගරික ප්‍රදේශවල පවතින බන්ධනාගාර වඩා ඉඩ පහසුකම් ඇති ස්ථාන කරා විතැන් කිරීම

    බන්ධනාගාර විශෝධන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීම පිණිස බන්ධනාගාර තුළ කඩිනම් සංශෝධන සිදු කිරීමේ අවශ්‍යතාව රජය විසින් හදුනා ගනු ලැබ ඇත. ඒ යටතේ තදබදය සහිත නාගරික ප්‍රදේශවල පිහිටා ඇති බන්ධනාගාර ජනගහනය අඩු ප්‍රදේශවලට විතැන් කිරීම කෙරෙහි ප්‍රමුඛතාව ලබා දී ඇත. බන්ධනාගාර විතැන් කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ උපදෙස් පරිදි කොළඹ, ග‍ාල්ල, මාතර, බදුල්ල, ත්‍රිකුණාමලය හා මඩකලපුව බන්ධනාගර විතැන් කිරීමට අදාළ මූලික සැලසුම් කිරීම සහ උපදේශක කටයුතු සිදු කිරීම ‍රජය සතු ඉදි කිරීම් ආයතන වෙත පැවරීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ආසියා හා පැසිෆික් කලාපීය නීතිය බලාත්මක කිරීමේ ජාතික ආයතනයන්හි ප්‍රධානීන්ගේ හමුව

     ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කිරීමේ මූලිකම සහ ප්‍රමුඛතම සංවිධානය ලෙස එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය (UNODC) ක්‍රියාත්මක වන අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධ සම්මුතීන් ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීම මාදක මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසම (CND) විසින් සිදු කරනු ලබයි. මෙම කොමිසමට අනුබද්ධව ක්‍රියාත්මක වන ආසියා පැසිෆික් කලාපය තුළ ජාතික නීතිය බලාත්මක කිරීමේ ආයතනයන්හි ප්‍රධානීන්ගේ සමුළුව (HONLEA) විසින් කලාය තුළ හට ගන්නා මත්ද්‍රව්‍ය පිළිබඳ නව ප්‍රවණතා හා ඊට සම්බන්ධ අර්බුද පිළිබඳ සාකච්ඡා කරනු ලබන අතර මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අදහස් හා දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව සලසයි. එම සමුළුව 2016 වසරේ ඔක්තෝබර් 22 - 28 දක්වා කොළඹදී පැවැත්වීමට අදාළ පහසුකම් සැලසීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය/අභ්‍යන්තර ගුවන්තොටුපළක් ස්ථාපනය කිරීම

    ඌව හා සබරගමුව යන පළාත්වල හැර ශ්‍රී ලංකාවේ අනෙක් සෑම පළාතකම ප්‍රාදේශීය/අභ්‍යන්තර ගුවන්තොටුපළ පිහිටා ඇත. කොළඹ සිට බදුල්ලට වාහනයකින් ගමන් කිරීමට වර්තමානයේ අවම වශයෙන් පැය 06කට වඩා වැඩි කාලයක් ගත වන අතර ගුවන් මඟින් එම කාලය මිනිත්තු 25කට පමණ සීමා කරගැනීමට හැකි අතර ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට සහ අපනයනය සඳහා ආර්ථික භෝග වගා කිරීම වැඩිදියුණු කිරීමටද බදුල්ල දිස්ත්‍රික්කයේ ගුවන්තොටුපළක් ස්ථාපනය කිරීමෙන් මනා පිටුවහලක් ලැබෙනු ඇත. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රාදේශීය/අභ්‍යන්තර දේශීය ගුවන්තොටුපළක් ස්ථාපනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.

     

     ශ්‍රී ලංකා ජාතික රෝහලේ, අපස්මාර ඒකකය සඳහා වෛද්‍ය උපකරණ හා සේවා සැපයීම

     

    ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපස්මාර ඒකකය සඳහා වාට්ටු වෛද්‍ය උපකරණ හා සේවා සැපයීමට අදාළ කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2016 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම - ශීතාගාර ඉදි කිරීම

     

    බී ළූණු, අර්තාපල් ඇතුළු එළවළු සහ පළතුරුවල මිල ගණන් වසරේ එක් එක් කාලවල ඉහළ පහළ යාම ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද අහිත කර ලෙස බලපායි. ශ්‍රී ලංකාවේ භෝග නිපදවීම කන්න රටා අනුව සිදු වන බැවින් වසර පුරාම අඛණ්ඩව අස්වනු සැපයීම සහතික කිරීම සදහා ශීතාගාර පහසුකම් සැපයීමට 2016 අයවැය යෝජනා මඟින් අරමුදල් වෙන් කර ඇත. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් වශයෙන් බී ළූණු ඇතුළුව තෝරාගත් එළවලු සහ පළතුරු වර්ග කිහිපයක් සඳහා දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හා අර්තාපල් ඇතුළුව තෝරාගත් එළවලු හා පළතුරු වර්ග කීහිපයක් සඳහා කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන ශීතාගාර ඉදි කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - මීරිගම සිට කුරුණෑගල දක්වා (කි.මී.39.91) වන 2 කොටස මීරිගම සිට අඹේපුස්ස දක්වා (කි.මී.9.3) වන සම්බන්ධතා මාර්ගයද සමඟ ඉදි කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම

     

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන කොටස යටතේ මීරිගම සිට පොතුහැර හරහා කුරුණෑගල දක්වා කිලෝ මීටර 39.91ක දිගින් යුත් මංතීරු 4ක අධිවේගී මාර්ගයක් ඉදි කෙරෙන අතර මීරිගම අන්තර් හුවමාරුවේ සිට අඹේපුස්ස දක්වා කිලෝ මීටර් 9.3ක දිගින් යුතු මංතීරු දෙකක සම්බන්ධතා මාර්ගයක් ඉදි කෙරෙනු ඇත. මෙම ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම පිණිස යෝග්‍ය උපදේශක සමාගමක් තෝරාගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ආපදා සහන සැලසීම සහ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන මූල්‍ය පරිත්‍යාග

    2016 මැයි මාසයේදී දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය නිසා දිවයිනේ දිස්‍ත්‍රික්ක කීහිපයකට බලපෑ දැඩි ගංවතුර හා නායයෑම් තත්ත්වයන් හේතුවෙන් ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම සඳහා දේශීය පරිත්‍යාගශීලින්ගෙන් ලැබුණු මූල්‍ය පරිත්‍යාග තැන්පත් කිරීම සඳහා බැංකු ගිණුම් තුනක් (03) ද විවිධ විදේශ මුදල් වර්ගයන්ගෙන් ලැබුණු විදේශීය පරිත්‍යාගශීලින්ගේ පරිත්‍යාග භාරගැනීම සඳහා ගිණුම් පහක් (05) ද විවෘත කරනු ලැබ ඇති බවත්, මෙම ගිණුම් වෙත රැස්වෙන අරමුදල් අදාළ සහන සැලසීමේ කටයුතු සඳහා යොදාගත හැකි වන පරිදි භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් නමින් ශ්‍රී ලංකා මහබැංකුවේ විවෘත කර ඇති ගිණුමට දෛනිකව බැර වන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.


    තරගකාරිත්වය, විනිවිද භාවය සහ රාජ්‍ය මූල්‍ය චිරස්ථිතිය සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යයන වැඩසටහනෙහි මූල්‍යයන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශේෂ හැර ගැනුම් හිමිකම් ව්‍යවහාර, ණය මුදලක් ලබාගැනීම

     

    පුද්ගලික අංශයේ තරගකාරිත්වය සඳහා පවතින බාධක ඉවත් කිරීම, විනිවිද භාවය හා රාජ්‍ය අංශයේ කළමනාකාරිත්වය වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය මූල්‍ය චිරස්ථිතිය වර්ධනය කිරීම සඳහා අංශ තුනක් (03) යටතේ හඳුනාගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලාංකීය ආර්ථිකය සංවර්ධනය කිරීම සදහා යෝජිත වැඩසටහන සඳහා ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 100කට සමාන ණය මුදලක් ලබාගැනීම සඳහා මූල්‍ය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොස්ගම සාලාව ප්‍රදේශයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් එක් රැස් වී ඇති නිවාස සුන්බුන් හා කසළ ඉවත් කිරීම

    2016 මැයි මස ඇති වූ හදිසි ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ගොඩගැසී තිබූ කුණු කසළ ඉවත් කිරීම සාර්ථකව සිදු කරනු ලැබ ඇති අතර ඒ සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් ඉතිරි වී ඇති මුදල් යොදා ගනිමින් යුද හමුදාවේ ඉල්ලීම පරිදි, පසුගියදා කොස්ගම සාලාව ප්‍රදේශයේ සිදු වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ නිවාසවල සුන්බුන් හා කසළ ඉතා ඉක්මණින් ඉවත් කිරීම සඳහා ටිපර් රථ 20ක් පමණ සතියක (01) කාලයක් යෙදවීම පිණිස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ‍ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya