අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.06.07

    ජූනි 08, 2016

    2016.06.07 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තිරණ පහත සඳහන් වේ.

     

     

    මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක්වන ජනතාව වෙත සහන සැලසීම

    උතුරු මැද පළාතේ කෘෂිකාර්මික කටයුතු සඳහා බලපා ඇති ජල හිඟයට විසඳුමක් ලබා දීමත්, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවල ජනතාව සඳහා පානීය ජලය සැපයීමත් ඉලක්ක කර ගනිමින් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස 2007 වසරේදී ආරම්භ කරන ලද මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය වර්තමානයේ දිවයින තුළ ක්‍රියාත්මක වන විශාලතම බහු කාර්ය ගංගා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය වේ. ව්‍යාපෘතියේ ඉදි කිරිම් කටයුතු 65%ක් පමණ දැනට අවසන් වී ඇති අතර, 2016 වර්ෂයේ මහ කන්නයේ වර්ෂාව ආරම්භ වීමට ප්‍රථම ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බැවින් ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක් වන නාවුල හා ලග්ගල-පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි පවුල් 2,512ක් කඩිනමින් ප්‍රදේශයෙන් ඉවත් කළ යුතුව ඇත. මෙයින් පවුල් 984ක් සඳහා දැනටමත් වන්දි ප්‍රතිලාභ ලබා දී ඇති අතර, ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි නියමිත කාලසීමාව තුළදී නිම කිරීමට හැකිවන පරිදි ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන ඉතිරි පවුල් 2,228 ප්‍රදේශ‍ෙයන් ඉවත් කිරීම සඳහා සාධාරණ ක්‍රමවේදයක් අනුව වන්දි පිරිනැමීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.

     

     

    පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය

    යෝජිත පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් අනුරාධපුර, වවුනියා හා මන්නාරම් දිස්ත්‍රික්කවල ජනතාවට සෘජු ප්‍රතිලාභ හිමි වන අතර මන්නාරම් දිස්ත්‍රික්කයේ යෝධ වැව හා අකතිමුරුප්පු වාරි ව්‍යාපාරයේ දැනට නිසි වාරි පහසුකම් නොමැති වගා ඉඩම් හෙක්ටයාර 12,425 ක් යල මහ දෙකන්නයේම සාර්ථකව වගා කළ හැකි වනු ඇත. ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම් අධ්‍යයන වාර්තාව සහ පුරාවිද්‍යා ඇගයීම් වාර්තාව මේ වන විට සමාලෝචනය කරමින් පවතින අතර ව්‍යාපෘති ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් 160ක් පමණ නැවත පදිංචි කිරීම සඳහා සැලසුම් කරමින් පවතියි. ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව අනුව ඉතාම ඵලදායී අයෝජනයක් ලෙස හඳුනා ගනු ලැබ ඇති බැවින් රටේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිස පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.

     

     මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය

    තවමත් පසුගාමී දිස්ත්‍රික්කයක් වශයෙන් පවතින මොනරාගල දිස්ත්‍රික්කයේ සාරවත් ඉඩම් හා ජල සම්පත ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ඵලදායීව යොදා ගැනීම මඟින් ප්‍රදේශයේ දරිද්‍රතාව තුරන් කළ හැකි වනු ඇත. යෝජිත කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය මඟින් ඝන මීටර 48ක ධාරිතාවකින් යුත් ජලාශයක් කුඹුක්කන් ඔය හරහා ඉදි කෙරෙන අතර එමඟින් බුත්තල, මොනරාගල හා සියාඹලාණ්ඩුව ප්‍රදේශයන්හි අලුතෙන් ඉඩම් හෙක්ටයාර 4,280ක් සඳහාත්, දැනට අස්වද්දා ඇති කෘෂි ඉඩම් හෙක්ටයාර 1,255ක් සඳහාත් වාරි ජලය සැපයීමට අපේක්ෂිතය. එමෙන්ම මොනරාගල, නක්කල, කුඹුක්කන ඔක්කන්පිටිය හා බුත්තල යන ප්‍රදේශවලට පානීය ජලය සැපයීමටත්, ජල විදුලිබලය උත්පාදනයටත් හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව දේශීය හා විදේශීය වශයෙන් අරමුදල් සම්පාදනය කරගනිමින් කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.

     

     මුන්දෙනි ආරු ගංඟා ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

    ශ්‍රී ලංකාවේ ගිණිකොණ දිග ප්‍රදේශයේ පිහිටි වැඩි වශයෙන් භාවිතයට නොගන්නා ලද ජල සම්පත්වලින් සපිරි ද්‍රෝණියක් වශයෙන් සැලකෙන මුන්දෙනි ආරු ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව සිදු කරනු ලැබීමට යෝජිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් නැ‍ඟෙනහිර පළාතේ අම්පාර හා මඩකළපුව යන දිස්ත්‍රික්ක ආවරණය කෙරේ. මේ යටතේ ගල්ඔඩයි ආරු හා මහඔය හරහා ආශ්‍රිතව ඉදි කිරීමට අපේක්ෂිත පිළිවෙලින් ඝන මීටර 75ක හා 80ක ධාරිතාවකින් යුත් නවීන බහුකාර්ය සංවර්ධන ජලාශ දෙකක් මඟින් දැනට වගා කෙරෙන හෙක්ටයාර 3,950ක භූමි ප්‍රදේශයේ යල මහ දෙකන්නයේ වගා ත්‍රීවතාව වැඩි කිරීමටත්, හෙක්ටයාර 2,800ක භූමියකට අලුතෙන් වාරි ජලය සැපයීමටත් අපේක්ෂිතය. කිතුල්වැව රූගම් වැවට ඒකාබද්ධ කිරීමද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර ගංවතුර පාලනය හා ජලවිදුලිබල උත්පාදනය මෙන්ම මඩකළපු දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 44කට බීමට සුදුසු පානීය ජලය සැපයීමද මෙම ව්‍යාපෘතිය යටතේ සිදු‍ කෙරේ. ඒ අනුව මුන්දෙනි ආරු ගංඟා ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය දේශීය හා විදේශීය අරමුදල් භාවිතයෙන් ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.

     

     ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් පිටු දැකීම සඳහා වන ප්‍රතිපත්ති රාමුව සහ ජාතික ක්‍රියාකාරී සැලැස්ම

    කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව සිදු වන අපයෝජන ක්‍රියා සහ හිංසන පිටු දැකීම සඳහා නව නීති සම්පාදනය කිරීම හා බලාත්මක කිරීම කෙරෙහි රජයේ ප්‍රමුඛතාව ලබා දී ඇත. ඒ අනුව රාජ්‍ය ආයතන, ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූලික සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතවරුන්ගේ අදහස් හා එකඟතාව සහිතව ළමා කටයුතු, ආපදා කළමනාකරණය, අධ්‍යාපනය, ආර්ථික සංවර්ධන හා රැකියා, විදේශ රැකියා, බලගැන්වීම හා නිවාරණය, සෞඛ්‍ය, අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ හා ජන මාධ්‍ය වශයෙන් ක්ෂේත්‍ර 09ක් යටතේ කෙටුම්පත් කරන ලද 'ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් ආමන්ත්‍රණය කිරීම සඳහා වන ප්‍රතිපත්ති රාමුව සහ ක්‍රියාකාරී සැලැස්ම කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

     පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට තිළිණපත් ලබා දීම - 2017

    පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට තිළිණ පත් ලබා දීම 2015 වර්ෂයේ දෙසැම්බර් පාසල් වාර අවසානයේදී ප්‍රථමවරට ක්‍රියාත්මක කරන ලදී. මෙමඟින් රජය අපේක්ෂා කළ පරිදි නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් යුත් නිල ඇඳුම් රෙදි දරුවන්ට ලබා දීමට දෙමාපියන්ට හැකි වූ අතර නිල ඇඳුම් රෙදි ගබඩා කිරීම, ඇසිරීම, ප්‍රවාහනය කිරීම, තත්ත්ව පරික්ෂා ආදී කටයුතු සඳහා අතීතයේදී රජයට වැය වූ පිරිවැය හා කාලය ඉතිරි කරගැනීමට හැකි විය. ඒ අනුව පසුගිය වසරේ අත්දැකීම් මත පදනම්ව අඩුපාඩු අවම කරගනිමින් වෙළඳපෙ‍ාළේ රෙදිපිළිවල මිල ගණන් වැඩි වීමට සාපේක්ෂව සාධාරණ අමතර අගයක් තිළිණ පතට එකතු කර රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල ඉගෙනුම ලබන සිසුනට හා රජ‍යේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන්ට ලබා දීමටත්, ඒ අන්දමට එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිණිසත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - කොන්ත්‍රාත් අංක 01 - පින්නදූව සිට කෝදාගොඩ දක්වා (කි.මී.30.80 සිට කි.මී.45.00 දක්වා) කොටස ඉදි කිරීම - ණය මුදලෙහි ඉතිරිව පවතින මුදල භාවිත කිරීම

     

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සිට ගොඩගම දක්වා වන දකුණු දිග කොටස ඉදි කිරීම සඳහා චීනයේ අපනයන - ආනයන බැංකුවෙන් (Exim Bank) ලැබුණු ණය මුදලෙහි ඉතිරිවීම් යොදා ගනිමින් ව්‍යාපෘතිය යටතේ පවතින ප්‍රාදේශීය මාර්ග 11ක් පුනරුත්ථාපනය කිරීම සඳහා කටයුතු කෙරෙමින් පවතින අතර ණය මුදලෙහි වලංගු කාලසීමාව ඉකුත්වීමට තවත් ඇත්තේ සීමිත කාලයක් බව සැලකිල්ලට ගනිමින් එකී මාර්ග පුනරුත්ථාපන කටයුතු කඩිනමින් නිම කිරීමේ බලාපොරොත්තුව ඇතිව අවශ්‍ය අරමුදල් කළමනාකරණය කරගැනීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාරය සහ වාට්ටුව සහිත ගොඩනැඟිල්ල ඉදි කිරීම

    වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රධානතම රෝහල වන හලාවත මහ රෝහල හලාවත මෙන්ම අවට ප්‍රදේශයන්හි ජනතාවටද රෝගී සත්කාරක සේවාවන් සපයනු ලබයි. එම රෝහලේ ශල්‍යාගාර කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා එහි දැනට පවතින ඉතා පැරැණි ශල්‍යාගාර ගොඩනැඟිල්ල කඩා ඉවත් කර එම ස්ථානයේ නව ශල්‍යාගාරයක් හා වාට්ටුවක් ඉදි කිරීම අවශ්‍ය වන අතර ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත පවරා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.

     රජය සතු පොහොර සමාගම් දෙක මඟින් යූරියා මෙට්‍රික් ටොන් 42,000ක් මිලට ගැනීම

    රටේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සාධාරණ මිලට, අඛණ්ඩව සැපයීම සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 42,000ක්, රජය සතු පොහොර සමාගම් දෙක මඟින්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මිල දී ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ සිවිල් වැඩ ඉදි කිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා

    දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වේ. මුළු දිග කිලෝ මීටර් 96ක් වන මෙම ව්‍යාපෘතියේ පළමු කොටස මාතර සිට බෙලිඅත්ත (කි.මී.30) දක්වා ද, දෙවන කොටස බෙලිඅත්ත සිට වැටිය (කි.මී.26) දක්වා ද, තෙවන කොටස වැටිය සිට අන්දරවැව (කි.මී.15) දක්වා ද, හතරවෙනි කොටස මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට (කි.මී.25) දක්වා ද දිවයයි. මෙම ව්‍යාපෘතියේ සියලු අදියරයන් සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත් 4 සඳහා අරමුදල් සපයා ගනු පිණිස චීන අපනයන - ආනයන බැංකුව සමඟ දැනටමත් රජය ගිවිසුම් හතරකට අත්සන් තබා ඇති අතර ව්‍යාපෘතියේ සිවිල් වැඩ අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා ලබාගැනීම සඳහා අරමුදල් සපයාගනු පිණිස චීන රජය සමඟ කාලරාමු ගිවිසුමකට හා චීනයේ අපනයන - ආනයන බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මරණ ලියාපදිංචි කිරීම හා අතුරුදන් වූ පුද්ගලයන්

     

    කිසිඳු හෝඩුවාවක් රහිතව විශේෂයෙන්, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සිදු වූ ගැටුමක් අතරතුරදී, එම ගැටුම හේතු කොට ගෙන හෝ එම ගැටුම සම්බන්ධයෙන් හෝ එම ගැටුමෙහි ප්‍රතිවිපාකයක් වශයෙන් හෝ; දේශපාලන නොසන්සුන්තාවක් හේතුවෙන් හා/හෝ මහජන කැළඹීමක් හේතුවෙන් සහ; බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදන් කරවීමක් හේතුවෙන් අතුරුදන් වී ඇති පුද්ගලයින් ලියාපදිංචි කරවීමේ අවශ්‍යතාවක් පැනනැඟී ඇත. එවැනි ලියාපදිංචි කිරීමක් මඟින් එසේ අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් වෙත 'අදාළ පුද්ගලයා ජීවතුන් අතර දක්නට නොමැති බවට වූ සහතික' නිකුත් කිරීමට හැකියාව ලැබෙන අතර අතුරුදන් වූ පුද්ගලයා සතු දේපළ හා වත්කම් තාවකාලිකව කළමනාකරණය කරගැනීමටත්, අතුරුදන් වූ පුද්ගලයාගේ දරුවන් වෙනුවෙන් තාවකාලික භාරකාරිත්වයක් ලබාගැනීමටත්, සමාජ සුබසාධන වැඩසට‍හන් හරහා හිමිවන ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමටත්, අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් අදාළ බලධාරින් ඉදිරියේ පෙනී සිටීමට හා ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් ඔවුන්ට හැකියාව සැලසෙනු ඇත. ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් 'අදාළ පුද්ගලයා ජීවතුන් අතර දක්නට නොමැති බවට වූ සහතික' නිකුත් කිරීමටත්, අතුරුදන් වූ පුද්ගලයා ජීවත්ව සිටින බවට හෝ මරණයට පත් වී ඇති බව සනාථ වී ඇති අවස්ථාවකදී එම පුද්ගලයා ජීවතුන් අතර දක්නට නොමැති බවට නිකුත් කරනු ලැබ ඇති සහතිකය අවලංගු කිරීමට හෝ අදාළ පුද්ගලයා වෙනුවෙන් මරණ සහතිකයක් නිකුත් කිරීමට හෝ විධිවිධාන සැලසෙන පරිදි 2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     රාජ්‍ය තාන්ත්‍රික පුහුණු, තොරතුරු හා ලිපිලේඛන හුවමාරු කරගැනීම පිළිබඳ සහයෝගීතාව සඳහා තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම

     

    රාජ්‍ය තාන්ත්‍රික පුහුණුව, දේශපාලන, ආර්ථික, සංස්කෘතික හෝ වෙනත් ක්ෂේත්‍රවලදී රාජ්‍ය තාන්ත්‍රික පරිචය හා ජාත්‍යන්තර සබඳතාවන්ට අදාළ ජාත්‍යන්තර නීතිය සහ වෙනත් අධ්‍යයන ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු හා ලිපිලේඛන දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවක් වැඩිදියුණු කරගැනීම මඟින් ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර සමීප හා මිත්‍රශීලී සබඳතා තර කරගැනීම ඉහත ගිවිසුමට එළඹීමේ අරමුණයි. ඒ අනුව තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ගරු මෙවුලුට් කවුසොග්ලු මැතිතුමා 2016 ජුනි මස ශ්‍රී ලංකාවේ සිදු කිරීමට නියමිත සංචාරය අතරතුරදී දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු, තොරතුරු හා ලිපිලේඛන හුවමාරු කරගැනීම පිළිබඳ ඉහත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    පසුගිය දිනවල පැවති හදිසි ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් බස්නාහිර ප‍ළාතේ ඇතැම් ප්‍රදේශවල ගොඩගැසී ඇති කුණු ඉවත් කිරීම

    පසුගිය දිනවල පැවති හදිසි ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ගොඩ ගැසී ඇති කුණු කඩිනමින් ඉවත් කිරීම පිණිස ආරම්භ කරන ලද ඒකාබද්ධ මෙහෙයුම් වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, බස්නාහිර පළාත් සභාව, පළාත් පාලන ආයතන, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතනයන්හි සහාය ඇතිව පසුගිය දින 7 ක කාලය තුළ සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබ ඇති බවත්, එම කාලසීමාව තුළ කසළ ටොන් 5,440ක් පමණ ඉවත් කරනු ලැබ ඇති බවත්, තවදුරටත් ඉවත් කළ යුතු කසළ ටොන් 2,000ක් පමණ ප්‍රමාණයක් ගොඩගැසී ඇති බැවින් මෙම කසළ ඉවත් කිරීමේ ඒකාබද්ධ මෙහෙයුම් වැඩසටහන ක්‍රියාත්මක වන කාලසීමාව 2016‑06‑12 දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.

     
    වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වූ ඉතා දිළිඳු පවුල් සඳහා වූ නිවාස සංවර්ධන වැඩසටහන

    වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වූ ඉතා දිළිඳු තත්ත්වයෙන් පසුවන පවුල් සඳහා මූලික පහසුකම් සහිත නිවාස වැඩසටහනක් ජුනි මස 23 දිනට යෙදී ඇති ජාතික නිවාස දිනයෙන් ඇරඹෙන 'ජාතික නිවාස සතිය' මුල් කර ගෙන ආරම්භ කොට ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya