අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.05.31

    ජූනි 01, 2016

     

    2016.05.31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.

     

    අලි සංක්‍රමණික මාර්ග හඳුනා ගැනීම හා එම මාර්ගවල ජීවත් වන ජනතාව ඉවත් කිරීම

    වන අලි - මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව වන අලින් 250ක් පමණ මිය යන බවත් මිනිස් ජීවිත 60 - 70ක පමණ සංඛ්‍යාවක් අහිමි වන බවත් වාර්තා වී ඇත. මෙම ගැටලුව විසඳීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට අනුගමනය කරනු ලබන වන අලින් පලවා හැරීම හා ඔවුන් අල්ලා වෙනත් ප්‍රදේශවලට ‍මුදා හැරීම වැනි ක්‍රියාමාර්ගවල අසාර්ථක බවත් වන අලින් සිය නිජ භූමිවලින් ඉවත් කළ නොහැකි බවත් පර්යේෂණාත්මකව අනාවරණය වී තිබේ. එසේම පලවාහරින ලද වන අලින්ගෙන් ආපසු සිය නිජ බිම කරා පැමිණීමට නොහැකි වන වන අලි නව වාසස්ථානවලදී පෙරටත් වඩා ප්‍රචණ්ඩකාරී බව නිරීක්ෂණය කර ඇත.

     

    2011 වසරේදී පවත්වන ලද දීපව්‍යාප්ත වන අලි සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ වනාන්තරවල වන අලි 5,879ක් ජීවත් වන බව අනාවරණය වී ඇති අතර මේ වන විට වනාන්තරවල වන අලි 6000ක් පමණ ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරට වන අලින්ගෙන් 67%ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ තුළද, 30%ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වනාන්තර තුළද, 3%ක් රක්ෂිත ප්‍රදේශවලින් බැහැර කුඩා වනාන්තරවලද ජීවත් වන අතර, වන අලි එකී වනාන්තර අතර සංක්‍රමණය වීම නිරන්තරව සිදු වේ. රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව පිහිටි, වන අලින් ජීවත් වන හා සංක්‍රමණය වන ප්‍රදේශ බොහොමයක් සින්නක්කර ඉඩම්ලාභීන්, අනවසර පදිංචිකරුවන් හා බලපත්‍රලාභී වගාකරුවන් විසින් පරිහරණය කරනු ලැබේ. වන අලි - මිනිස් ගැටුම අවම කිරීමේ දිගුකාලීන විසඳුමක් වශයෙන් වන අලින්ගේ සංක්‍රමණික මාර්ග ලෙස අවම වශයෙන් මීටර් 500ක පළලකින් යුත් අලිමංකඩ වෙන් කර තැබීමටත් එවැනි වන අලි සංක්‍රමණික මාර්ග අවහිර වන සේ ස්ථිරව පදිංචි වී සිටින හෝ වගා කටයුතුවල නිරත වන ජනතාවට අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ට විකල්ප ඉඩම් හෝ වන්දි හෝ ලබා දීමේ ක්‍රමවේදයක් යටතේ අදියර වශයෙන් ඔවුන් වන අලි සංක්‍රමණික මාර්ගවලින් ඉවත් කිරීම පිණිසත් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේ‍රා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    මෝටර් වාහන පනත (203 වන අධිකාරය) සංශෝධනය කිරීම

     
    මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව මෝටර් වාහන ලියාපදිංචි කිරීම, හිමිකාරිත්වය පැවරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා ඊට අනුබද්ධිත කටයුතු පාලනය කිරීම මෙන්ම මාර්ගය පාවිච්චි කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හා පරිසරය සුරැකීම සඳහා අදාළ පියවර ගත යුතු වේ. එහෙත් නවීන තාක්ෂණය මේ සඳහා යොදා ගැනීම සහ මෝ‍ටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් වර්තමාන අවශ්‍යතාවයන්ට හා තත්ත්වයන්ට සරිලන පරිදි මෝටර් වාහන පනත (203 වන අධිකාරිය) සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සාමාන්‍ය විලවුන් නියාමනය සඳහා අනුමැතිය ලබාගැනීම

     

    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ක්‍රියාත්මක වීමත් සමඟ 1980 අංක 27 දරන විලවුන්, උපකරණ සහ ඖෂධ පනත ඉවත් කෙරුණු බැවින් ප්‍රතිකාරක විලවුන් නොවන සාමාන්‍ය විලවුන් වර්ග නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතුව ඇත. ඒ අනුව සාමාන්‍ය විලවුන් වර්ග සම්බන්ධයෙන් අදාළ නියාමන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

     
    ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම

     ඉඩම් ගනුදෙනු ආශ්‍රිත වංචා වැඩිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කිරීම වර්තමානයෙහි මහජනතාව අතර ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතුවක් වී ඇත. එවැනි වංචා වැළැක්වීම පිණිස දැනට බලපවත්නා ඇටෝර්නි බලපත්‍ර ආඥාපනතේ සහ නොතාරිස් ආඥාපනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, දැනටමත් නොතාරිස් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වන යෝජනා කෙටුම්පත් කෙරෙමින් පවතී. ඇටෝර්නි බලපත්‍ර ආඥාපනතට සිදුකළ යුතු සංශෝධන හඳුනාගැනීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇති අතර එම කමිටුවේ නිර්දේශය පරිදි ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම (Certificate of Recognition) පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ ස්විට්සර්ලන්ත රජය අතර අවබෝධතා ගිවිසුම

    - ප්‍රවීණතා සහතිකයක් සහිත නාවිකයකුට විදේශීය ධජයක් යටතේ ලියාපදිංචි කර ඇති නෞකාවක සේවය කිරීම සඳහා එම ප්‍රවීණතා සහතිකයට අමතරව අදාළ නෞකාව ලියාපදිංචි කර ඇති රාජ්‍යය විසින් නිකුත් කරනු ලබන ඊට සමාන තත්ත්වයේ සහතිකයක් (Certificate of Recognition) ලබාගැනීම අනිවාර්ය වේ. එවැනි සමාන තත්ත්වයේ සහතික නිකුත් කිරීම සඳහා අදාළ රාජ්‍යයන් අතර සම්මුතියක් හෝ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගෙන තිබිය යුතු අතර, දැනටමත් ශ්‍රී ලංකාව විදෙස් රටවල් 30 ක් සමඟ එවැනි ගිවිසුම් ඇති කර ගෙන ඇත. මෙම සහතිකපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමකට එළඹීමට ස්විට්සර්ලන්ත රජය කැමැත්ත පළ කර ඇති අතර, එමඟින් ශ්‍රී ලාංකික නාවිකයින්ට ස්විට්සර්ලන්ත ධජය සහිත නෞකාවල සේවය කිරීමට අවස්ථාව හිමි වේ. ඒ අනුව ස්විට්සර්ලන්තය සමඟ සමුද්‍රීය ප්‍රවීණතා සහතිකපත් පිළිගැනීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දීර්ඝකාලීනව අභ්‍යන්තර අවතැන්වූවන් උතුරු පළාතේ නැවත පදිංචි කිරීම

    - උතුරු පළාතේ පැවති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් එහි ජීවත් වූ සිංහල ජනතාව දකුණු පළාතට පැමිණි අතර, පරම්පරා ගණනක් උතුරු පළාතේ ජීවත් වූ මුස්ලිම් ජනතාව 1990 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුළුමනින්ම පළවා හරිනු ලැබීම තුළින් අවතැන් වූ පවුල් විශාල සංඛ්‍යාවක් දීර්ඝ කාලයක් තිස්සේ තවමත් අභ්‍යන්තර අවතැන්වූවන් ලෙස වෙනත් දිස්ත්‍රික්කවල (බහුල වශයෙන් මන්නාරම හා පුත්තලම දිස්ත්‍රික්කවල) ජීවත් වේ. ඇස්තමේන්තු කර ඇති පරිදි දීර්ඝකාලීනව අවතැන්ව සිට පදිංචිය සඳහා නැවත උතුරු පළාතට පැමිණෙන සිංහල පවුල් සඳහා නිවාස 5,543ක් ද මුස්ලිම් පවුල් සඳහා නිවාස 16,120ක් ද අවශ්‍ය වන අතර, නැවත පදිංචි කරනු ලබන ගම්මානවල අනෙකුත් යටිතල පහසුකම්ද වැඩිදියුණු කළ යුතුව ඇත. උතුරු පළාතේ පදිංචිව සිට දීර්ඝකාලීනව අවතැන්ව සිටින පවුල් නැවත පදිංචි කිරීමේ කටයුතු සමායෝජනය කිරීම, ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම පිණිස සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සැලකිල්ලට ගෙන මෙම කරුණ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අදාළ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් යුත් කමිටුවක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

     

    'පුබුදමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම

     

    උතුරු මැද පළාතට අයත් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ පාසල් 241ක් ක්‍රියාත්මක වන අතර, එම පාසල්වල අධ්‍යාපනය ලබන සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 83,551කි. ග්‍රාමීය දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවන් ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ මූලික අරමුණ ඇතිව, අතිගරු ජනාධිපතිතුමාගේ සංවර්ධන සංකල්පයක් වන 'රජරට නවෝදය' ව්‍යාපෘතියෙහි එක් අදියරක් ලෙස 'පුබුදමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන 2016 සිට 2020 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම වැඩසටහන යටතේ හිඟුරක්ගොඩ, තමන්කඩුව හා දිඹුලාගල යන අධ්‍යාපන කොට්ඨාසවල ක්‍රීඩාංගණ නවීකරණය, අංග සම්පූර්ණ ක්‍රීඩාංගණ හා ප්‍රේක්ෂකාගාර ඉදි කිරීම ඇතුළු හඳුනාගත් සංවර්ධන ව්‍යාපෘති 13ක් රුපියල් මිලියන 418ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - කඩවත සිට කොස්සින්න දක්වා (කි.මී.0.50 සිට කි.මී.4.54 දක්වා) කොටස ඉදි කිරීම සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම

     

    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ I කොටස කොස්සින්න සිට මීරිගම දක්වාත්, II කොටස මීරිගම සිට කුරුණෑගල දක්වාත්, III කොටස පොතුහැර සිට ගලගෙදර දක්වාත් ඉදි කිරීමට නියමිතය. එහි කඩවත සිට කොස්සින්න දක්වා (කි.මී.0.50 සිට කි.මී. 4.54 දක්වා) වන කොටස ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනයේ යෝජිත හරිත විශ්වවිද්‍යාලය සඳහා අවශ්‍ය ගෘහභාණ්ඩ හා උපකරණ සැපයීම සහ සවිකිරීම

     

    හෝමාගම, පිටිපන ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ (NSBM) යෝජිත හරිත විශ්වවිද්‍යාල ගොඩනැඟිලි සංකීර්ණය සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ හා උපකරණ සැපයීම සහ සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන් වෙත ප්‍රදානය කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    කොළඹ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම සහ ගම්පහ කාර්මික විද්‍යාලය වැඩිදියුණු කිරීම

     

    කොළඹ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම සහ ගම්පහ කාර්මික විද්‍යාලය වැඩිදියුණු කිරීම සඳහා කොරියානු ආනයන හා අපනයන බැංකුව වෙතින් ලැබුණු සහනදායී අරමුදල් යොදා ගනිමින්‍ කොළඹ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම සහ ගම්පහ කාර්මික විද්‍යාලය වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අවම ලංසුව ඉදිරිපත් කරනු ලැබ ඇති කොන්ත්‍රාත්කරු වෙත ප්‍රදානය කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය

     

    මහනුවර හා ගාල්ල නගරවල උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඇමරිකානු ඩොලර් මිලියන 147ක ණය මුදලක් ජාත්‍යන්තර සංවර්ධන ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. ඒ අනුව, එම ණය මුදලින් කොටසක් උපයෝගි කරගනිමින් පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * මහනුවර ධර්මාශෝක මාවතේ (බී550) කි.මී.0+000 සිට 3+390 (බූවැලිකඩ තීව්‍ර වංගුව ඇතුළුව) දක්වා පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම.

    * කටුගස්තොට-මඩවල-බඹරැල්ල මාර්ගයේ (බී205) කටුගස්තොට සිට මඩවල දක්වා (කි.මී.0+000 සිට 6+250) වන කොටස පුනරුත්ථාපනය කිරීම.

    * මඩවල - දිගන මාර්ගයේ (බී256) මඩවල සිට දිගන (කි.මී.0+000 සිට 8+100) දක්වා කොටස පුනරුත්ථාපනය කිරීම.

    * නුවර මැද ඇළ පුනරුථාපනය කිරීම.

     

     

    ගංවතුරෙන් කැඩිබිඳී ගිය වැව්, අමුණු හා ඇළමාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම

     

    පසුගිය දිනවල ශ්‍රී ලංකාව මුහුණ දුන් ගංවතුර උවදුර හේතුවෙන් ගම්පහ, කොළඹ, කළුතර, මාතලේ, මහනුවර, අනුරාධපුරය, කුරුණෑගල, රත්නපුර, මොණරාගල, මඩකලපුව, කෑගල්ල, පුත්තලම, ‍නුවරඑළිය, වවුනියාව, කිලිනොච්චිය, මුලතිවු, යාපනය හා මන්නාරම යන දිස්ත්‍රික්කවල පිහිටි වැව්, ඇළවේලි, අමුණු 639ක් පමණ විනාශ වී ඇති අතර, වී සහ අතිරේක ‍භෝග වගාබිම් රැසක් ද විනාශයට පත්ව ඇත. ඒ අනුව, රට තුළ ආහාර නිෂ්පාදනය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම පිණිස, මෑතදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වූ වැව්, අමුණු හා ඇළවේලි කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු අවසන් කිරීම

     

    ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණය දිගන ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 212ක ප්‍රතිපාදන 2011 වර්ෂයේදී වෙන් කරනු ලැබ ඇති අතර, එහි සංවර්ධන කටයුතු ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනමනු ලැබ ඇත. මෙම ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රේක්ෂකාගාරයේ ඉදි කිරීම් කටයුතු මධ්‍යම පළාත් සභාව විසින් සිදු කරන ලද අතර, එම කටයුතු අතරමඟ නතර වීම හේතුවෙන් ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමට නොහැකි වී ඇත. ඒ අනුව මෙම ක්‍රීඩා සංකීර්ණය නොපමාව ප්‍රයෝජන ගැනීමට හැකිවන පරිදි එහි ප්‍රධාන ප්‍රේක්ෂකාගාරයෙහි සංවර්ධන කටයුතු, ඇතුළත මාර්ග, උද්‍යාන අලංකරණ හා අනෙකුත් අමතර වැඩ රුපියල් මිලියන 97.86ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සිදු කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    2016 මැයි මස ඇති වූ ගංවතුර හා නාය යෑම් තුළින් හානිවූ නිවාස නැවත ඉදි කිරීමේ වැඩසටහන

     

     අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති සංඛ්‍යාලේඛන වලට අනුව, මෑතකදී දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ නාය යෑම් හා ගංවතුර අපදාවන්හි බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක 22 ක නිවාස 500 ක් පමණ පූර්ණ වශයෙන් හානියට පත් වී ඇති අතර, නිවාස 4,000 ක් පමණ අර්ධ වශයෙන් හානියට පත් වී ඇත. සම්පූර්ණයෙන් විනාශ වී ඇති නිවාස අලුතින් ඉදි කිරීමටත් අර්ධ වශයෙන් හානියට පත්වී ඇති නිවාස ප්‍රතිසංස්කරණය කිරීමටත් යෝග්‍ය වැඩසටහනක් සැලසුම් කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

     

    මාරවිල - තල්විල වෙරළ තීරයේ වැලි පෝෂණ ව්‍යාපෘතිය (දෙවන අදියර)

     

    ශ්‍රී ලංකාවේ දැනට වඩාත්ම දරුණු වෙරළ ඛාදන තත්ත්වය මාරවිල- තල්විල වෙරළ තීරයෙන් වාර්තා වන අතර එය වසරකට කිලෝ මීටර් දෙකක පමණ වෙරළ ප්‍රදේශයක පැතිරී යයි. මේ හේතුවෙන් මාරවිල - තල්විල වෙරළබඩ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ඉඩම්, දේපළ, වාසස්ථාන හා එදිනෙදා ජීවන තත්ත්වයට බාධා පැමිණෙන අතර ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරික කටයුතුවලට බාධා ‍ඇති වේ. වෙරළ ඛාදනයට විසඳුමක් වශයෙන් කළුගල් මූලික කරගත් දෘඩ ව්‍යූහයන් යෙදීමෙන් එම ස්ථානවල වෙරළ ඛාදනය සඳහා විසඳුම් ලැබෙන නමුත් එයින් ධීවර හා සංචාරක කර්මාන්තය සඳහා අහිතකර බලපෑම් ඇති වේ. ඛාදනය වූ වෙරළට කෘත්‍රීමව වැලි පෝෂණය කිරීම මෙයට තිරසර විසඳුමක් වශයෙන් වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා පුළුල් විද්‍යානුකූල හා තිරසර විසඳුමක් සෙවීම සඳහා පත් කරන ලද විශේෂඥ නිලධාරි කමිටුව විසින් හඳුනාගෙන ලැබ ඇත. ඒ අනුව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ 2016 අයවැය ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් මාරවිල - තල්විල වෙරළ තීරයේ වැලි පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

    පසුගිය දිනවල පැවති ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ගොඩගැසී ඇති කුණු ඉවත් කිරීම

     

    පසුගිය දිනවල පැවති අහයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර ආපදාවට ලක් වූ ප්‍රදේශයන්හි පිහිටි නිවෙස්වල ගෘහ භාණ්ඩ බොහෝ ප්‍රමාණයක් පරිහරණය කළ නොහැකි තත්ත්වයට පත් වී අපද්‍රව්‍ය වශයෙන් නිවෙස්වල හා පොදු ස්ථානවල විශාල ප්‍රමාණයන්ගෙන් ඒකාරාශී වී ඇත. 2016‑05‑30 දින වන විට කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පමණක් තවදුරටත් ඉවත් කිරීමට ඉතිරිව ඇති කසළ ප්‍රමාණය ඉවත් කිරීම සඳහා ට්‍රැක්ටර් ගමන් වාර 470ක් පමණ යෙදවිය යුතු වන බවට ඇස්තමේන්තු කරනු ලැබ ඇත. මෙම එක් රැස් වී ඇති අපද්‍රව්‍ය සෞඛ්‍ය ගැටලුවලට හේතු විය හැකි බැවින් කඩිනමින් ඉවත් කළ යුතුව ඇති නමුත් ඒ සඳහා පළාත් පාලන ආයතන සතුව දැනට පවතින වාහන හා උපකරණ ප්‍රමාණවත් නොවන බව වාර්තා වී ඇත. එබැවින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ එම කසළ ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය වන යන්ත්‍රෝපකරණ කට්ටල 10ක් දින හතක කාලයක් සඳහා යෙදවීම පිණිස ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     

     කොළොන්නාව ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

     

    කොළොන්නාව ප්‍රදේශයේ ජල රැඳවුම් ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන තිබූ වගුරු බිම් බොහෝ ප්‍රමාණයක් අනවසර ගොඩකිරීම් හා අනවසර පදිංචිවීම් නිසා ජලය රැඳවීමට නොහැකි තත්ත්වයකට පත් වී ඇති බැවින් මෙම ප්‍රදේශය ගංවතුර තර්ජනයට ලක් වන බව හඳුනාගෙන ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව සිදු කරන ලද මූලික අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ජලය බැස යාම සඳහා ඇති ඇළ මාර්ග පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් ගංවතුර තත්ත්වය තවදුරටත් තීව්‍රර වන බවයි. ජලය බැස යාම සඳහා පවතින ඇළ මාර්ග නිසි පරිදි නඩත්තු කර පවත්වාගෙන ගොස් තිබුණේ නම් පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පැවති ගංවතුර තත්ත්වය පාලනය කළ හැකිව තිබුණි. මෙම කරුණු සැලකිල්ලට ගෙන ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්ත්වයන් වැළැක්වීමේ අරමුණින් කැලණි ග‍ඟේ පහළ ජල මට්ටම් වලදී ඇළ ඉවුර පිටාර ගැළීම් වැළැක්වීම සඳහා ඇළ මාර්ග හා අනුබද්ධිත ද්විතීයික ඇළ මාර්ග පවිත්‍ර කොට ප්‍රතිසංස්කරණය කිරීම පිණිස කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya