අප්‍රේල් 18, 2019

tami eng youtube google twitter facebook

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.05.17

    මැයි 18, 2016

    2016.05.17 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ පහත සඳහන් පරිදි වේ.

    නැව් මඟින් සිදු වන දූෂණය වැළැක්වීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතියේ ඇමුණුම් අංක හය (MARPOL 73/78 Annex VI) දරන සන්ධානයට ප්‍රවේශ වීම

    නෞකා මඟින් සිදු වන වායු විමෝචනයන්ගේ අඛණ්ඩ වැඩිවීමක් පෙන්නුම් කරනු ලබන අතර, එකී වායු දූෂණය වැළැක්වීමේ අරමුණින් 'නැව් මඟින් සිදු වන දූෂණය වැළැක්වීම සඳහා වූ අන්තර්ජාතික සම්මුතිය(MARPOL 73/78)' යටතේ වූ, නැව් මඟින් සිදු වන වායු දූෂණය වැළැක්වීම සඳහා වූ 1997 අන්තර්ජාතික සන්ධානය 2005 වසරේ සිට ජාත්‍යන්තර මටිටමින් බලාත්මක වේ. ඇමුණුම් 05කින් සමන්විත වූ මෙම සම්මුතියට 1997 වර්ෂයේදී ශ්‍රී ලංකාව පාර්ශ්වකරුවකු වී ඇත. නැව් මඟින් සිදුවන වායු දූෂණය වැළැක්වීමට අදාළ ජාත්‍යන්තර රෙගුලාසි ස්ථාපිත කිරීම සඳහා එම සම්මුතියට VI වන ඇමුණුම අලුතින් එකතු කර ඇත. මෙරට නෞකා හා වරාය ආශ්‍රිත කටයුතුවල වත්මන් සංවර්ධනය හේතුවෙන් නෞකා මඟින් සිදු කෙරෙන වායු විමෝචනයන්ගේ අහිතකර බලපෑමට ශ්‍රී ලංකාව ලක්ව ඇති අතර, එම වායු විමෝචන අඩු කර එමඟින් සිදු වන සෞඛ්‍යමය හා පාරිසරික බලපෑම් අවම කරගැනීම අවශ්‍ය වේ. ඒ අනුව, නැව් මඟින් සිදු වන වායු දූෂණය වැළක්වීම සඳහා 1997 සන්ධානයට අලුතින් එක් කළ ඇමුණුම් අංක VI (MARPOL 73/78 Annex VI) පිළිගැනීමටත්, එම රෙගුලාසි ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම පිණිස අවශ්‍ය නීති සම්පාදනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම

    ශ්‍රී ලංකාව තුළ සිවිල් ගුවන්සේවා පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ ප්‍රතිපත්තිය අනුව වාණිජමය මගී සේවා සඳහා මෙහෙයුම් ආරම්භ කළ හැකි වන පරිදි මඩකලපුව ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ගුවන්යානා පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත්, ගුවන්යානා ධාවන පථය, ගුවන්යානා බැහැරුම් පථය සහ ගඟන යාත්‍රා අංගණය අලුත්වැඩියා කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් 2015 වර්ෂයේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, එකී වැඩ කොටස්වලින් 80%ක් පමණ දැනටමත් අවසන් කර ඇති අතර, ඉතිරි වැඩ කොටස් සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් නිම කරවා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    තාක්ෂණයේ විද්‍යාව සඳහා වන ආසියානු ආයතනය (Asia Institute for Science of Technology- AIST) ස්ථාපිත කිරීම

     

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා ඉදිරිපත් වන මෙරට සිසුන්ගෙන් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනෙනුයේ 22% කට ආසන්න ප්‍රමාණයක් බැවින් උසස් අධ්‍යාපන අවස්ථා අපේක්ෂාවෙන් සිසුහු විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව විදෙස්ගත වෙති. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නැවත මෙරටට නොපැමිණෙති. එකී පසුබිම තුළ ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට මෙන්ම විදේශීය ශිෂ්‍යයන්ටද අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් විදේශ විනිමය ඉපැයිය හැකි උසස් අධ්‍යාපන ආයතනයක් 'තාක්ෂණයේ විද්‍යාව සඳහා වන ආසියානු ආයතනය' (Asia Institute for Science of Technology- AIST) නමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජනයක් වශයෙන් ස්ථාපිත කිරීමට අදහස් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන හවුල්කරුවකු වන ජපානය මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සැපයීම සඳහා ඉදිරිපත්ව සිටියි. AIST ආයතනය ආශ්‍රිතව 2025 වසර වන විට 'තාක්ෂණ ගම්මානයක්' ස්ථාපනය කිරීමට අපේක්ෂිත අතර, ජපාන කාර්මික හවුල්කරුවන්ට සිය නිෂ්පාදන, පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ආදිය එහි පිහිටුවීමට ඇරුයුම් කෙරෙනු ඇත. නිනිති (NANO) තාක්ෂණය, විදුලි සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, විදුලි සංදේශනය, රොබෝ විද්‍යාව ආදී ක්ෂේත්‍ර ඇතුළත්ව කාර්මික අංශයේ රැකියා වෙළඳපොළ වෙත ප්‍රවිෂ්ට විය හැකි වන පරිදි මෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට විශේෂිත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. බස්නාහිර කලාපීය මහානගර ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට යෝජිත විද්‍යා හා තාක්ෂණ නගරය සඳහා සැලසුම් කර ඇති මාලඹේ ප්‍රදේශයේ අක්කර 100කට ආසන්න භූමිභාගයක් තුළ යෝජිත 'තාක්ෂණයේ විද්‍යාව සඳහා වන ආසියානු ආයතනය (AIST)' ස්ථාපිත කිරීමට හා ජපාන රජය ඇතුළු අනෙකුත් ප්‍රදාන ආයතනවලින් අදාළ තාක්ෂණික හා මූල්‍යමය ආධාර ලබාගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බස්නාහිර කලාපීය මහා නගරයෙහි පුළුල් ප්‍රවාහන කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම

     

    ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් අවම කිරීම සඳහා, විශේෂයෙන්ම බස්නාහිර කලාපය තුළ පවතින රථවාහන තදබදය අඩු කිරීම පිණිස කඩිනම් විසඳුම් ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. එහිදී කෙටිකාලීන මැදිහත්වීම් මෙන්ම මැදිකාලීන හා දිගුකාලීන පදනමින් ක්‍රියාවට නැංවිය යුතු නව තාක්ෂණය හඳුන්වා දීම වැනි අනෙකුත් ප්‍රධාන මැදිහත්වීම්ද සිදු කළ යුතුව ඇත. ඒ අනුව බස්නාහිර කලාපීය මහා නගර සැලැස්ම යටතේ ක්‍රියාවට නැංවීමට නියමිත ප්‍රවාහන සැලැස්ම මඟින් නම්‍යශීලී හා ඒ ඒ ආයතනවලට වෙන්වූ කාර්යාල වේලාවන් හඳුන්වා දීම, රථවාහන ගාල් කිරීම සඳහා අලුතින් ස්ථාන හඳුන්වා දීම, ආලෝක සංඥා පද්ධති යාවත්කාලීන කිරීම, වැඩි ඉඩකඩ සහිතව මංසන්ධි වැඩිදියුණු කිරීම, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා විධිමත් කිරීම, පොදු බස්රථ සේවාව ප්‍රතිව්‍යූහගත කිරීම, බස්රථවල ගුණාත්මකභාවය හා සේවාවන් නවීකරණය හා වැඩිදියුණු කිරීම, බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන ඇති කිරීම, දුම්රිය විද්‍යුත්කරණය හා නවීකරණය, අභ්‍යන්තර ජල මාර්ග ප්‍රවාහනය සඳහා යොදා ගැනීම, මහාමාර්ග වැඩිදියුණු කිරීම වැනි පියවරයන් රාශියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ඒ අනුව, බස්නාහිර කලාපීය මහා නගර වැඩසටහනෙහි ප්‍රවාහන මහා සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහත සඳහන් යෝජිත ක්‍රියාකාරකම්, ව්‍යාපෘති හා ශක්‍යතා අධ්‍යයනයන් අදාළ රේඛීය අමාත්‍යාංශ හා අනෙකුත් ආයතන සමඟ සම්බන්ධ වෙමින් ක්‍රියාක්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ඉදිරි පියවර ගැනීම අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

    බහුදින ධීවර යාත්‍රාවල භාවිත කරන යෙදවුම්වල තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණෙන් නව තාක්ෂණය හඳුන්වා දීම

    - සමුද්‍රීය ධීවර කර්මාන්තය සඳහා ශ්‍රී ලංකා රජය විසින් 1950 දශකයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන සහනාධාර යෝජනා ක්‍රම කාලීන අවශ්‍යතාවන්ට අනුකූලව වෙනස්වීම්වලට භාජනය වී ඇත. ධීවර කර්මාන්තය සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ තාක්ෂණය හඳුන්වා දීම පිණිස 2016 වසර වෙනුවෙන් රුපියල් මිලියන 1,600ක් රජය ‍විසින් වෙන් කර ඇති අතර, එම ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් මෙරට අනන්‍ය ආර්ථික කලාපය තුළ ක්‍රියාත්මක වන බහුදින යාත්‍රා නවීන තාක්ෂණයට අනුව නවීකරණය කිරීම වෙනුවෙන් වැය කෙරෙනු ඇත. අක්වෙරළ ධීවර යාත්‍රා සදහා සම්ප්‍රේෂ-ප්‍රතිචාරකයක් (ට්‍රාන්ස්පොන්ඩරයක්) සවි කිරීම අනිවාර්ය කරමින් 2011 වර්ෂයේදී නියෝග පනවනු ලැබූ අතර, ධීවර යාත්‍රා සඳහා යෝග්‍යතා සහතික නිකුත් කිරීමේදී මෙම උපාංගය සවි කර තිබීම අත්‍යවශ්‍ය වේ. මෙම නියෝග ඵලදායීව ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා ට්‍රාන්ස්පොන්ඩර 2400ක් හා ධීවර කර්මාන්තයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය අනෙකුත් තාක්ෂණික උපකරණ, රජයේ ධීවර සහනාධාර වැඩසටහන යටතේ ධීවරයින් වෙත සැපයීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නිවාස අවශ්‍යතා පිළිබඳ දත්ත රැස් කිරීම

    ශ්‍රී ලංකාවේ මුහුණ දී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන ජාතික නිවාස අවශ්‍යතාව සැපිරීමෙහි ලා ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත දීර්ඝකාලීන වැඩසටහනක් සැකසීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබයි. එහිදී, ශ්‍රී ලංකාවේ නිවාස අවශ්‍යතාව පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන කරන ලද තොරතුරු ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. 2012 ජන හා නිවාස සංගණනය සිදු කර වසර 05 කට ආසන්න කාලයක් ගත වී ඇති හෙයින් වර්තමාන නිවාස අවශ්‍යතාව නිවැරදිව හඳුනාගැනීම පිණිස දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින් නිවාස පිළිබඳව සමීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතුව ඇත. ඒ අනුව, 2025 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සියලු නිවාස අවශ්‍යතාවන් සපුරා ලීමේ අරමුණින් නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලැබීමට නියමිත ජාතික නිවාස වැඩසටහන සැලසුම් කිරීම සඳහා අවශ්‍ය නිවැරදි හා යාවත්කාලීන කරන ලද තොරතුරු/දත්ත ප්‍රාදේශීය මට්ටමින් ලබාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රමුඛ දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටම්වල රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබාගැනීම පිණිස නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මෙගාවොට් 10ක ධාරිතාවෙන් යුත් සූර්ය තාප විදුලි උත්පාදන බලාගාරයක් වව්නියාව ප්‍රදේශයේ ස්ථාපිත කිරීම

     

    ඉහළ යන විදුලිබල ඉල්ලුමට මුහුණ දීම සඳහා පුනර්ජනනීය විදුලිබල ජනනයන් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. වයිඩෙක්සා (ලංකා) පවර් කෝපරේෂන් පෞද්ගලික සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 14.5 ක පමණ ආයෝජනයකින් මෙගාවොට් 10 ක ධාරිතාවකින් යුත් සූර්යතාප විදුලි උත්පාදන ව්‍යාපෘතියක් වව්නියාව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති අතර, එමඟින් ‍වාර්ෂිකව ගිගාවොට් පැය 19 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වව්නියාව, නැඳුන්කුලම, කට්ටාර්සින්නකුලම ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 22 ක පමණ වපසරියකින් යුතු ඉඩමක් එම සමාගම වෙත බදු දීම සඳහා එකී ඉඩම රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත නිදහස් ප්‍රදානයක් ලෙස පැවරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අනුරාධපු‍ර දකුණ අදියර II ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය

    නාච්චදූව, තලාව, රඹෑව, මිහින්තලය, තිරප්පනේ කුඩා නගරය, අනුරාධපුර නගර සභාව තුළ පිහිටි ඇතැම් ප්‍රදේශද, නුවරගම් පළාත මධ්‍යම හා නුවරගම් පළාත නැ‍ඟෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරනු ලබමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත අනුරාධපු‍ර දකුණ අදියර II ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් 280,956 ක් පමණ වන ජනතාවට සෙත සැලසෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2016 සහ 2018 වර්ෂයන්හිදී ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර ආගමික සමුළු සංවිධානය කිරීම

    දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව බහු ආගමික හා බහු වාර්ගික ජනතාව සඳහා අතීතයේ පටන්ම නිවහනක් බවට පත් වූ කලාපයක් වන අතර, වර්තමානය වන විට අන්තවාදී ක්‍රියාකාරකම් නිසා මෙම කලාපයේ සාමයට තර්ජන එල්ල වී ඇත. මෙම පසුබිම තුළ අන්‍ය සංස්කෘතීන් හා අන්‍ය ආගම් සම්බන්ධයෙන් ඉවසනසුලු පසුබිමක් ඇති කිරීම හා ශක්තිමත් කිරීම උදෙසා විවිධ ආගම් අතර ගැඹුරු සංවාදයක් ආරම්භ කර තිරසර ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව දැඩිව ඉස්මතු වී ඇත. ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, විදේශ කටයුතු සහ බුද්ධශාසන අමාත්‍යාංශවල අධීක්ෂණය යටතේ ජාත්‍යන්තර ථෙරවාද බෞද්ධ සම්මේලනයක් 2018 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමටත්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, විදේශ කටයුතු සහ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශවල අධීක්ෂණය යටතේ දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ඉස්ලාම් ධර්මය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අන්තර්ජාතික සමුළුව 2016 වර්ෂයේ නොවැම්බර් මස 17, 18 හා 19 වන දිනවලදී කොළඹදී පැවැත්වීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ආසියානු ආහාර හා කෘෂිකර්ම සහයෝගීතා මුලපිරුම (Asian Food and Agriculture Cooperation Initiative)හෙවත් (AFACI) සංවිධානයේ සිව් වන මහා මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම

    තිරසර කෘෂිකර්මය සහ කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය සඳහා තාක්ෂණික සහයෝගිතාව තුළින් ආසියානු කලාපයේ රටවල ආර්ථික සංවර්ධනයට දායක වීමේ අරමුණින් පිහිටුවා ගන්නා ලද ජාත්‍යන්තර සංවිධානයක් වන ආසියානු ආහාර හා කෘෂිකර්ම සහයෝගීතා මුලපිරුම (Asian Food and Agriculture Cooperation Initiative) වර්තමානයේ සාමාජික රටවල් 14කින් සමන්විත වේ. මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ විවිධ කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා තාක්ෂණික හා මූල්‍යාධාර සපයනු ලබන අතර, දැනට ඒ යටතේ ශ්‍රී ලංකාව තුළ පර්යේෂණ ව්‍යාපෘති 11ක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම සංවිධානයේ වත්මන් සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබන අතර, 2016 මැයි මස 17 සිට 21 දක්වා පැවැත්වීමට නියමිත එහි සිව්වන මහා මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම

    අවුරුදු 08ට අඩු ළමයකු විසින් කරනු ලබන කිසිවක් වරදක් නොවන බව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වේ. එසේ වුවද, ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම අනුව අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව අවුරුදු 12 සිට 14 දක්වා වෙනස් වේ. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන, අපරාධයක වගකීම් දැරීමේ අවම වයස් සීමාව වන අවුරුදු 08 යන්න ඉතා ළාබාල වයස් සීමාවක් බව මනෝ වෛද්‍යවරුන්ගේ සහ අදාළ ක්ෂේත්‍රවල විශේෂඥවරුන්ගේ මතය වේ. ඒ අනුව වයස අවුරුදු 12ට අඩු ළමයකු විසින් වරදක් සිදු කරනු ලැබූ විට, එම වරද සඳහා අදාළ ළමයාට දඬුවම් නොකළ යුතු බවට සහ වයස අවුරුදු 12ට වැඩි එහෙත් අවුරුදු 14ට අඩු ළමයකු සම්බන්ධයෙන් වන විට, චෝදනා කරනු ලැබ ඇති වරද සිදු කිරීම සඳහා ප්‍රමාණවත් චේතනාවක් ඇති කරගැනීමට තරම් මේරූ බුද්ධියක් අදාළ ළමයාට ඇතැයි යන්න මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය වේ නම් පමණක් අදාළ වරද සඳහා දඬුවම් පැමිණවීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රබර් අපනයනය කිරීමේදී අය කරන සෙස් බදු මුදල සංශෝධනය කිරීම

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන ස්වාභාවික රබර් දේශීයව අගය එකතු කිරීමේ කර්මාන්ත විසින් පරිභෝජනය කිරීම දිරිමත් කිරීම සඳහා අමු රබර් වශයෙන් අපනයනය කරනු ලබන රබර් කිලෝවක් සඳහා රුපියල් 15/- ක පමණ සෙස් බදු මුදලක් අය කිරීම සිදු කරනු ලැබේ. දැනට මෙරට නිෂ්පාදනය කරනු ලබන ස්වාභාවික රබර්වලින් 80%ක් දේශීය කර්මාන්තකරුවන් විසින් පරිභෝජනය කරනු ලබන අතර 20%ක පමණ ප්‍රමාණයක් අමු රබර් වශයෙන් අපනයනය කෙරේ. ලෝක වෙළෙඳ පොළේ රබර් මිල පහත යාමට සමගාමීව ශ්‍රී ලංකාව තුළ ද රබර් මිල පහත යාම හේතුවෙන් කුඩා රබර් වතු හිමියන් ඇතුළු වගාකරුවන් මේ වන විට දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර දැනට පවත්නා අඩු මිල තත්ත්වය වසර 2020 පමණ වන තෙක් පවතිනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ. මෙම තත්ත්වය යටතේ රබර් අපනයනකරුවන් සහ දේශීය රබර් භාණ්ඩ නිෂ්පාදකයින් අතර ස්වාභාවික අමු රබර් සඳහා තරඟකාරී තත්ත්වයක් නිර්මාණය කිරීම හරහා රබර් මිල ඉහළ යාමට සැලැස්වීම මඟින් රබර් වගාකරුවන්ට සහන සැලසීමේ අරමුණින් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, අමු රබර් අපනයනයේදී අය කරනු ලබන සෙස් බදු මුදල කිලෝවකට රුපියල් 15/- සිට රුපියල් 4/- දක්වා පහත හෙළීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අයහපත් කාලගුණික තත්ත්වය නිසා දිවයින පුරා උද්ගත වී ඇති හදිසි ආපදා තත්ත්වය සඳහා සහන සැලසීම

    පසුගිය දිනවල දිවයිනට බලපෑ අධික වැසි, සුළං සහ නාය යෑම් තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපෑ ඇත. එම තත්ත්වය හමුවේ 2016-05-16 දින වන විට වාර්තා වී ඇති පරිදි පවුල් 31,062ක සාමාජිකයින් 128,428ක් විපතට පත්ව ඇති අතර, ඒ හේතුවෙන් කිහිපදෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බවට ද වාර්තා වී ඇත. එසේම නිවාස 12ක් සම්පූර්ණ වශයෙන් ද නිවාස 201 ක් අර්ධ වශයෙන් ද හානි වී ඇති බවට වාර්තා වී ඇත. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් දිවයින පුරා ස්ථාපිත කර ඇති සුබසාධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 104ක් වන අතර, එම මධ්‍යස්ථානවල පවුල් 16,968කට අයත් පුද්ගලයෝ 77,265ක් රැඳී සිටිති. එම පිරිස් සඳහා පිසූ ආහාර ඇතුළු අවශ්‍ය පහසුකම් ලබා දීම මේ වන විටත් ආරම්භ කර ඇත.

    2016-04-01 දින සිට ක්‍රියාත්මක වන ස්වාභාවික ආපදා සඳහා වූ ජාතික රක්ෂණාවරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 20ක මුදල් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ලබා දී ඇති අතර, ආපදාවන් පවතින දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම පරිදි සහන ලබා දීමට අවශ්‍ය මුදල් බෙදා දීමේ කටයුතු ද ක්‍රියාත්මක කරමින් පවතී.

    ඒ අනුව, හදිසි ආපදා තත්ත්වයකදී පිසූ ආහාර සඳහා එක් අ‍යෙකුට දෛනිකව දැනට ලබා දෙන රුපියල් 150/-ක මුදල, රුපියල් 225/- දක්වා වැඩි කිරීම‍ටත්, ක්ෂණික ආපදා සහන සේවා සැපයීමේදී රක්ෂණ ක්‍රමය යටතේ දැනට ආවරණය නොවන කාරණා සම්බන්ධයෙන් සහන සැලසීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu