ත්‍රිකුණාමල නගර ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රධාන නගරවල සැලසුම් සමාලෝචනය
වර්තමාන රජයේ සංවර්ධන වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධනය සඳහා වන ප්‍රධාන කලාපයක් ලෙස ත්‍රිකුණාමලය හඳුනාගෙන ඇති අතර, එය කෘෂිකාර්මික හා බලශක්ති කේන්ද්‍ර ලෙස සංවර්ධනය කිරීමට හැකියාව ඇත. එමෙන්ම ත්‍රිකුණාමල සංවර්ධන ප්‍රදේශය තුළ නිෂ්පාදන කාර්යයන් හා සංචාරක කර්මාන්තය සඳහා කලාප ස්ථාපිත කිරීමේ හැකියාවද පවතී. අනුරාධපුරය, පොළොන්නරුව, මඩකලපුව හා හිඟුරක්ගොඩ යන නගරද ත්‍රිකුණාමලය සංවර්ධන ක්‍රියාදාමය හා ඒකාබද්ධ කර ගැනීමේ හැකියාවද එම සමාලෝචනයේදී සොයා බලනු ඇත. එබැවින් වෙනස් වන සහ වර්ධනය වන අවශ්‍යතාවන් සඳහා විසඳුම් ලබා දීම ඉලක්ක කර ගනිමින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම පිණිස සහ ත්‍රිකුණාමලය සඳහා සංකල්පීය සැලැස්මක් සහ විස්තරාත්මක මහා සැලැස්මක් සකස් කිරීම පිණිස එම ප්‍රදේශයේ සැලසුම් සමාලෝචනයක් සිදු කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, ත්‍රිකුණාමලය ප්‍රදේශය සම්බන්ධයෙන් සැලසුම් සමාලෝචනයක් සිදු කිරීම සඳහා එවැනි කටයුතු සම්බන්ධයෙන් මනා පළපුරද්දක් සහිත විදේශීය සමාගමක සහාය ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ප්‍රංශයේ සංචාරක නියෝජිත ජාතික සංගමයේ (SNAV) වාර්ෂික සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම
සම්මන්ත්‍රණ හා වෙනත් විවිධ රැස්වීම් (MICE) පැවැත්වීමට යෝග්‍ය ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉහත සඳහන් සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන කාර්යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිගනිමින්, ප්‍රංශයේ සංචාරක නියෝජිත ජාතික සංගමය (Syndicat National des Agences de Voyages - SNAV), සිය වාර්ෂික සම්මේලනය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇත. 'ශ්‍රී ලංකාව' ප්‍රංශ සංචාරකයින් අතර සිත්ගත් ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ද ඉහත සම්මේලනය මෙරට පැවැත්වීම දායක වනු ඇත. ඒ අනුව මෙම සම්මේලනය 2016 ඔක්තෝබර් මස 31 දින සිට නොවැම්බර් මස 02 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් රජය මඟින් සැලසීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය සමඟ එක්ව සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයක් 2016 ජූලි මස 11 දින සිට 14 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
එක්සත් ජාතීන්ගේගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) තාත්ෂණික සහාය ඇතිව සම්පත්දායකයින්, මාධ්‍යවේදීන් ඇතුළු විදේශිකයන් සියයකගේ පමණ සහභාගිත්වයෙන් 'සංචාරය කිරීම: සංවර්ධනය, සාමය සහ සංහිඳියාව සඳහා විපර්යකාරකයක් ලෙස' යන මැයෙන් අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම සඳහා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් පියවර ගනු ලැබ ඇත. රජයේ ප්‍රමුඛ අවධානය යොමු වී ඇති ජාතික සංහිඳියා ක්‍රියාවලිය ප්‍රායෝගිකව ගෙන හැර දැක්වීමටද එමඟින් අවස්ථාව සැලසෙනු ඇත. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ මහලේකම්වරයා හා නොබෙල් සම්මානලාභී බංග්ලාදේශයේ ආචාර්ය මොහොමඩ් යූනුස් මැතිතුමා ඇතුළු සම්භාවනීය පුද්ගලයින් රැසක් මේ සඳහා සහභාගි වනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණ ජයන්තිය සැමරුම් වැඩසටහනේ ප්‍රධාන අංගයක් ලෙස සංවිධානය කෙරෙන ඉහත අන්තර්ජාතික සම්මේලනය 2016 ජූලි මස 11 දින සිට 14 දින දක්වා කාලය තුළ මඩකලපුව, පාසිකුඩාහිදී පැවැත්වීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
'ආදරණීය ශ්‍රී ලංකා' දේශීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන
සංචාරක ව්‍යාපාරය තුළින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකයට ප්‍රතිලාභ හිමි කර දීම සඳහා දේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඉතා වැදගත් වේ. 2016 මැයි මාසයට යෙදෙන ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව 'ආදරණීය ශ්‍රී ලංකා' යන මැයෙන් දේශීය සංචාරකයින් ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් 'දකිමු, විඳිමු සහ රකිමු' යන තේමාව යටතේ එක් එක් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති, සංචාරක ආකර්ෂණයක් සහිත එහෙත් මේ වන විටත් සංචාරක අවධානයට යොමු නොවූ ස්ථාන, සංස්කෘතික උරුමයන්, ප්‍රදේශයට ආවේණික ආහාර වර්ග යනාදිය පිළිබඳ සංචාරක වාර්තා වැඩසටහන් මාලාවක් සියලුම දිස්ත්‍රික් ආවාරණය වන පරිදි සකස් කිරීමටත්, සංචාරක ප්‍රවර්ධනය සඳහා සමාජ මාධ්‍ය යොදා ගැනීමටත් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සමාජය සඳහා විද්‍යාව හා තාක්ෂණය (STS) සංසදය
ගෝලීය මට්ටමෙන් විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි සිදුව ඇති සංවර්ධයන් තුළින් ශ්‍රී ලංකා සමාජයට අත් කරගත හැකි අවස්ථාවන් සොයා බැලීම, ශ්‍රී ලාංකේය සමාජය තුළ විද්‍යාව හා තාක්ෂණය සඳහා ඇති භූමිකාව සාකච්ඡා කිරීම සහ විද්‍යාව හා තාක්ෂණය ශ්‍රී ලංකා සමාජය තුළ යොදා ගැනීමේදී මුහුණ දීමට සිදුව වන බාධක විශ්ලේෂණය කිරීම යනාදී අරමුණු ඇතිව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන රටවල විද්‍යා හා තාක්ෂණ ගරු අමාත්‍යවරුන්ගේ, නොබෙල් සම්මානලාභීන්ගේ හා අදාළ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානයන්හි ඉහල නිලධාරින්ගේ සහ මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තාක්ෂණවේදීන්ගේ, කර්මාන්තකරුවන්ගේ, නව නිපැයුම්කරුවන්ගේ, විශ්වවිද්‍යාල හා පාසල්වල ඉහළ ශ්‍රේණිවල සිසුන්ගේ සහභාගිත්වයෙන් 'සමාජය සඳහා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ සංසදයක්' 2016 සැප්තැම්බර් 07 දින සිට 10 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජාතික පර්යේෂණ හා සංවර්ධන රාමුව
විද්‍යාව හා තාක්ෂණය යොදා ගැනීම පුළුල්ව අවශ්‍ය වන ප්‍රධාන ක්ෂේත්‍ර 10ක් ලෙස ජලය, ආහාර, පෝෂණය හා කෘෂිකර්මය, නිවාස, පරිසරය, බලශක්තිය, පේෂ කර්මාන්තය, ඛනිජ සම්පත්, මෘදුකාංග හා දැනුම් සේවා, නැඟී එන තාක්ෂණය හා සාම්ප්‍රදායික දැනුම යනාදිය හඳුනාගනු ලැබ ඇත. මෙම ක්ෂේත්‍ර සඳහා විද්‍යා හා තාක්ෂණික විසඳුම් ලබා දීම මඟින් මහජනතාවගේ ජීවන තත්ත්වය නංවා ලීමත්, රටෙහි ආර්ථික සංවර්ධනය කඩිනම් කරවීමත්, ශ්‍රී ලංකාව තුළ දැනුම පාදක වූ ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීමත් අරමුණු කෙරේ. ඒ අනුව අදාළ ක්ෂේත්‍රයන්හි නිපුණතාව ඇති සංවිධාන හා තැනැත්තන්ගේ, ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගේ සහ මහජනතාවගේ සහභාගිත්වය ඇතිව සකස් කරනු ලැබ ඇති, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ හා සංවර්ධන රාමුව, 'ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ හා සංවර්ධන රාමුව' වශයෙන් පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.
දේශීය ආදායම් පනත සරල කිරීම සහ නව්‍යකරණය කිරීම
ශ්‍රී ලංකාව තුළ ආදායම් බදු පැනවීම පිණිස අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දේශීය ආදායම් පනත මඟින් සැලසෙන අතර, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත පැනවීමේ සිට මේ දක්වා වරින් වර සිදු කෙරුණු සංශෝධන හේතුවෙන් එම පනත සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇත. එබැවින් වඩාත් සරල සහ ආයෝජකයින්ගේ ආකර්ෂණයට හේතුවන පරිදි පිළිගත් බදු මූලධර්ම අනුව බදු නීතිය නවීකරණය කිරිම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. ඒ අනුව, 2016 අයවැය මඟින් යෝජනා කරන ලද පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැහැදිලි හා වඩාත් විනිවිද පෙනෙන ආකාරයට සහ නවීන බදු ක්‍රමයක තිබිය යුතු මූලිකාංග සහිතව දේශීය ආදායම් පනත යළි කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අම්පාර දිස්ත්‍රික්කයේ හැඩ ඔය ජලාශය ඉදි කිරීම හා යටිතල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම
අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි පොතුවිල් හා ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටීම හා භෞතික පසුබිම සලකා බැලීමේදී කෘෂිකර්මයට හා සත්ත්ව පාලනයට එම ප්‍රදේශයන්හි ඉතා හොඳ විභවයක් ඇති බව පෙනී ගියද එහි ඉඩම් හා ජලය ජනතාවගේ අභිවෘද්ධියට හේතු වන පරිදි මනාව කළමනාකරණය කර නොමැත. එමෙන්ම, අනෙකුත් ප්‍රදේශ හා සසඳා බලන කල මෙම ප්‍රදේශය පොදු යටිතල පහසුකම් අවම ප්‍රදේශයක් ලෙසද හඳුනා ගත හැකිය. හැඩ ඔය, විල ඔය හා කරඳ ඔය නිම්නයේ ඇති වැව්-අමුණු යටතේ ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 6,500ක පමණ ඉඩම් ප්‍රමාණයක් සාමාන්‍යයෙන් වගා කෙරේ. ඒ අතුරින් හැඩ ඔය දෙපස පිහිටි කුඹුරු ජලයෙන් යටවීම හේතුවෙන් මහ කන්නයේ වී වගා කටයුතු පමා වන අතර, එම වැව්වල ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් යල කන්නයේ ද වගා කටයුතු බොහෝ විට සිදු නොවේ. හැඩ ඔය ගංවතුර පාලනය කරමින් කන්න දෙකම වගා කිරීමට හැකි වන පරිදි පවත්නා වැව් පිරවීමටත්, පොතුවිල්, ලාහුගල, සියඹලාණ්ඩුව හා පානම ප්‍රදේශ සඳහා අඛණ්ඩ පානීය ජල සැපයුමක් තහවුරු කිරීමටත්, අමතර හෙක්ටයාර 5,300කට අවශ්‍ය වාරි ජලය සැපයීමටත් හැකි වන පරිදි හැඩ ඔය හරහා ජලාශයක් ඉදි කිරීමට සහ අදාළ වාරි හා අනෙකුත් යටිතල පහසුකම් නංවා ලීම සඳහා රුපියල් මිලියන 11,000ක පිරිවැයකින් හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.
රාජසන්තක වැලි හා දැව බැහැර කිරීමේ ක්‍රියාවලිය
ආගමික සිද්ධස්ථාන පිළිසකර කිරීමේ කටයුතු සඳහා රාජසන්තක කරන ලද වැලි හා දැව නොමිලේ සහ සහන මිලට ලබා දීම පිණිස වූ අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2013-11-29 සිට 2014-12-31 දක්වා කාලය තුළ ආගමික සිද්ධස්ථාන 146 ක් සඳහා වැලි කියුබ් 1,008 ක් ද, ආගමික සිද්ධස්ථාන 16 ක් සඳහා දැව කියුබික් අඩි 1,043 ක් ද නිකුත් කරනු ලැබ තිබේ. ඉහත සහන කාලය දීර්ඝ කරන ලෙස ආගමික සිද්ධස්ථානවලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර, රජයේ පාසල්, රෝහල් සහ ත්‍රිවිධ හමුදාව වැනි රජයේ ආයතන ද සිය ඉදිකිරීම් සඳහා රාජසන්තක කරන ලද වැලි හා දැව ලබාගැනීම පිණිස ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙම වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කරමින් විවිධ ආගමික සිද්ධස්ථාන හා රාජ්‍ය ආයතනවලට වැලි සහ දැව සහන මිලට ලබා දීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වතු ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව වෙනුවෙන් ඌව හා මධ්‍යම පළාත් තුළ ඉදි කිරීමට යෝජිත නිවාස 4,000ක් සඳහා යටිතල පහසුකම් සලසා ලීම
ඉන්දියානු රජය සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම අනුව ඉන්දියානු රජයේ අධාර යටතේ 2016 - 2019 දක්වා වූ කාලය තුළ ඌව සහ මධ්‍යම පළාතේ නිවාස 4,000ක් ඉදි කිරීමට යෝජිත අතර, එහි පළමු අදියර වශයෙන් 2016 වසර තුළ නිවාස 1,134ක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. එම නිවාස සඳහා පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග, රැඳවුම් බැම්ම, ජලාපවහන පද්ධති වැනි යටිතල පහසුකම් සපයා දීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ.පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2016
2016 යල කන්නය සඳහා මැයි මාසයේ මුල් භාගයේ බෙදා හැරීම පිණිස අවශ්‍ය පොහොර ප්‍රමාණය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයට අයත් සී/ස ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) මඟින් ප්‍රසම්පාදනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ථෙරවාද බුදුදහම හින්දි භාෂාවෙන් ඉගැන්වීම සඳහා ඉන්දියාවේ සාංචිහි පිරිෙවනක් පිහිටුවීම
ථෙරවාද බුදුදහම අතීතයේදී ඉන්දියාව තුළ ප්‍රචලිතව පැවැතියද වර්තමානයේ එය අනුගමනය කිරීම අඩුවෙමින් පවතින අතර ථෙරවාද බුදුදහම ඉගැන්වීම සඳහා මැනවින් ස්ථාපිත වූ පිළිගත් ආයතනයක් ඉන්දියාව තුළ නොමැත. ඒ අනුව ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්ත රජයේ සහයෝගය ඇතිව ථෙරවාද බුදුදහම හින්දි භාෂාවෙන් ඉගැන්වීම සඳහාම වූ ප්‍රධාන පෙළේ පිරිවෙනක් සාංචිහි ස්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමටත්, අතිගරු ජනාධිපතිතුමා විසින් සාංචිහි සිදු කරනු ලැබීමට නියමිත සංචාරය තුළදී ඒ සම්බන්ධයෙන් මධ්‍ය ප්‍රදේශ ප්‍රධාන අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන
පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ලෝකවාසී ජනතාව දැනුවත් කිරීමේ හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය විවිධ පාරිසරික ගැටලුවලට යොමු කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයේ (UNEP) සමාරම්භක දිනය වන ජුනි මස 05 දිනය සෑම වසරකම 'ජගත් පරිසර දිනය' වශයෙන් සමරනු ලැබේ. 'වනජීවී සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු' යන තේමාව යටතේ මෙම වසරේ ජගත් පරිසර දිනය සමරනු ලබන අතර ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය 2016 ජුනි 5 දින මාතලේ දිස්ත්‍රික්කෙය්දී පැවැත්වීමටත්, 2016 මැයි 30 සිට 2016 ජුනි 5 දක්වා ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කර ඊට අදාළ පරිසර සංරක්ෂණ වැඩසටහන් සියලු රාජ්‍ය ආයතනවල, පසල්වල හා පළාත් පාලන ආයතනවල සහභාගිත්වයෙන් සහ පෞද්ගලික හා රාජ්‍ය නොවන අංශයන්හි සක්‍රීය දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ගොවීන් විසින්ම තම බිත්තර වී අවශ්‍යතාවය නිෂ්පාදනය කර සපුරා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීම
ශ්‍රී ලංකාවේ ජනගහනයට ප්‍රමාණවත් පරිදි සහල් සැපයීම සඳහා වාර්ෂිකව වී මෙට්‍රික් ටොන් මිලියන 4.1ක් නිපදවිය යුතු යයි ගණන් බලා ඇත. එක් වර්ෂයකදී යල හා මහ කන්නවල හෙක්ටයාර මිලියන 1.2ක ප්‍රමාණයක වී වගාව සිදු කරනු ලබන අතර, හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4.2ක් පමණ වන අස්වැන්නක් ලැබේ. උසස් ලියාපදිංචි බිත්තර වී ලබා ගෙන ගොවීන් විසින්ම තමන්ට අවශ්‍ය බිත්තර වී නිෂ්පාදනය කරගැනීම මඟින් ඔවුන්ට අවශ්‍ය බීජ වීවල ගුණාත්මකභාවය වැඩි කරගත හැකි අතර, ඒ සඳහා යොදා ගත හැකි අඩු පිරිවැය ක්‍රමයක් ලෙස පැරෂුට් තැටි යොදා ගනිමින් බීජ වී නිෂ්පාදනය කිරීම හඳුනා ගෙන ඇත. එමඟින් වී කිලෝ එකකින් වී කිලෝග්‍රෑම් 100ක් පහසුවෙන් නිපදවා ගත හැකියැයි ඇස්තමේන්තු කර තිබේ. එම ප්‍රමාණය ඊළඟ කන්නයේ අක්කර 2 1/2ක ප්‍රමාණයක් වගා කිරිමට ප්‍රමාණවත් වනු ඇත. සාම්ප්‍රදායික ක්‍රමයට සාපේක්ෂව පැරෂුට් ක්‍රමය නමින් හැඳින්වෙන නව ක්‍රමය යොදා ගනිමින් වී වගාව සිදු කිරීමේදී බිත්තර වී අවශ්‍යතාව 75%කින් අඩු කරගත හැකි වන අතර, මෙම ක්‍රමයට වගා කිරීම මඟින් වල් පැළෑටි මර්ධනය සඳහා කෘෂි රසායන භාවිතය ද අවම කළ හැකි වේ. එමෙන්ම පැළ සිටුවීම සඳහා අවශ්‍ය වන ශ්‍රමය ද 90%කින් පමණ අඩු කරගැනීමට හැකිවනු ඇත. මේ සියලු කරුණු සලකා බලමින් වී වගා කරන දිස්ත්‍රික්කවල ගොවීන් 180,000ක් ඉහත සඳහන් වැඩපිළිවෙළට දායක කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ඔවුන්ට ලබා දීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.