අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.04.26

    අප්‍රේල් 27, 2016

    2016 .04.26 වැනි දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.

     

     

    ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන

    මෙම වැඩසටහන ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) එක්ව මූල්‍යනය කරනු ලබන පස් අවුරුදු වැඩසටහනකි. ගොවීන්ගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා දීම, ගොවිබිම ඵලදායීතාව ඉහළ නැංවීම හා ගොවිපොළ නිෂ්පාදන සඳහා අගය එකතු කිරීම යනාදිය මඟින් ග්‍රාමීය කුඩා ගොවිපොළ හිමියන්ගේ සහ විශේෂයෙන්ම ඉඩම් නොමැති තරුණ තරුණියන්ගේ ආදායම 20% - 30% කින් ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ. මෙම වැඩසටහන යටතේ පෞද්ගලික අංශය සමඟ එක්ව කෘෂි නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘති 06 ක් ආරම්භ කර ඇති අතර, එමඟින් ග්‍රාමීය කෘෂි නිෂ්පාදකයින් 5,648 කගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට සෘජුව දායක වී ඇත. එසේම කුඩා පරිමාණයේ ණය පහසුකම් ලබා දීම මඟින් ග්‍රාමීය ව්‍යවසායකයින් 2,710 කට සිය නිෂ්පාදන කටයුතු වැඩිදියුණු කරගැනීමටද අවස්ථාව සලසා දී ඇත. මෙම වැඩසටහන යටතේ වන ප්‍රතිලාභ තවදුරටත් ඉහළ නැංවෙන පරිදි ගොවිපොළ නිෂ්පාදනයන් වැඩිදියුණු කරගැනීමටත්, අඩු ආදායම්ලාභී පවුල්වල තරුණතරුණියන්ට ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා දීමට හා ඔවුන්ට කුඩා පරිමාණයේ ණය පහසුවෙන් ලබා දීම සඳහාත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඡන්ද විමසීමකට හෝ ජනමත විචාරණයකදී අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ප්‍රතිපත්ති

    දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) ව්‍යවස්ථාව ප්‍රකාරව ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් නිදහස්ව සහ සාධාරණව පැවැත්වීම සහතික කිරීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබ ඇති, විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ආයතන හා ක්‍රියාකාරීන් විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/මෙහෙයුම් ප්‍රතිපත්ති (Guidelines) ඇතුළත් අංක 1955/19 දරන 2016-02-25 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අපද්‍රව්‍ය කළමනාකරණ බලගැන්වීම සඳහා 'එක්ස්පෝ 2012 යෙවුෂු කොරියා පදනම' (YEOSU Korea Foundation) සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම

    රටක ධීවර, වරාය හා සංචාරක ක්ෂේත්‍රයෙහි සංවර්ධනයට මෙන්ම සමාජ - ආර්ථික දියුණුවට බලපාන වැදගත් සම්පතක් වශයෙන් සමුද්‍රීය පරිසරය සැලකිය හැකිය. සමුද්‍රීය හා වෙරළ පද්ධතීන් ආශ්‍රිතව සිදුවන මනුෂ්‍ය ක්‍රියාකාරකම් මඟින් පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය හේතුවෙන් අධික වියදමක් දරා එම පරිසරය යථාවත් කළ යුතු වේ. ඇතැම් විට යථාවත් කළ නොහැකි ආකාරයේ පාරිසරික හානියක් ද සමුද්‍රීය පරිසරයට සිදු වේ. සමුද්‍රීය පරිසරයට එක් කෙරෙන අපද්‍රව්‍යවලින් 60% - 80% අතර ප්‍රමාණයක් ප්ලාස්ටික් බවට හඳුනාගනු ලැබ ඇති අතර, සමුද්‍රීය අපද්‍රව්‍ය මුදා හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පසු වනුයේ ලොව පස්වන ස්ථානයෙහි ය. දකුණු කොරියාවේ සාගර හා ධීවර අමාත්‍යාංශයේ මූල්‍යාධාර මත 2012 වසරේදී ස්ථාපිත කරන ලද 'එක්ස්පෝ 2012 යෙවුෂු කොරියා පදනම' (YEOSU Korea Foundation) ලෝක සමුද්‍ර පරිසරයේ තිරසර සංවර්ධනයට දායක වීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය ධාරිතා වර්ධනය පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සහයෝගය ලබා දීම සඳහා ඉහත සඳහන් පදනම එකඟ වී ඇති අතර, ඒ සඳහා එකී පදනම හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා 2016 වර්ෂය සඳහා තිරසර සංවර්ධනය පිළිබඳ ආසියා - පැසිෆික් සාකච්ඡා මණ්ඩපයේ සභාපති ධුරයට තේරී පත් වීම සහ එස්.බී.දිසානායක මැතිතුමා එහි උපසභාපති ධුරයකට තේරී පත්වීම

    එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය කොමිසම (ESCAP) විසින් සංවිධානය කරන ලද තිරසර සංවර්ධනය පිළිබඳ ආසියා පැසිෆික් සාකච්ඡා මණ්ඩපය (APFSD 2016) 2016 අප්‍රේල් මස 03 දින සිට 05 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්විණි. තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සඳහා වන කලාපීය ගමන් මඟ පිළිබඳවත්, පසු විපරම් කිරීම හා ක්‍රියාවලි සමාලෝචනය කිරීම ඇතුළුව තිරසර සංවර්ධනය පිළිබඳ ආසියා - පැසිෆික් සාකච්ඡා මණ්ඩපය ස්ථාපනය කිරීම හා ක්‍රියාවට නැංවීම පිළිබඳවත් මූලික එකඟතාවකට එහිදී එළඹ තිබේ. 2016 වර්ෂය සඳහා තිරසර සංවර්ධනය පිළිබඳ ආසියා - පැසිෆික් සාකච්ඡා මණ්ඩපයේ සභාපති ධුරයට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා තෝරා පත් කර ගනු ලැබ ඇති බවත්, සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධනය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා එහි උපසභාපති ධුරයකට තෝරා පත් කර ගනු ලැබ ඇති බවත්, අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

     ඉතියෝපියාවේ අඩීස් අබාබාහි තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීම

    අප්‍රිකානු කලාපයේ පිහිටි ‍ස්වෛරී රාජ්‍යයන් 54න් රාජ්‍යයන් 38ක් සමඟ ශ්‍රී ලංකාව විසින් දැනට නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන යනු ලබන අතර, ඒ අතරින් නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ක්‍රියාත්මක වන්නේ අප්‍රිකානු රටවල් 04ක පමණි. දළ දේශීය නිෂ්පාදිතය අනුව නැ‍ඟෙනහිර හා මධ්‍යම අප්‍රිකාවේ විශාලතම ආර්ථිකය හිමි රට වන ඉතියෝපියාව සමඟ වෙළඳ හා ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමේ අරමුණින් සහ අප්‍රිකානු සංගමයට (African Union) අයත් රටවල් සමඟ සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමේ අරමුණින් එම සංගමයේ මූලස්ථානය පිහිටා ඇති ඉතියෝපියාවේ අඩීස් අබාබාහි තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය

    චීන සංවර්ධන බැංකුවේ සහනදායී අරමුදල් සහ දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලබන කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය

    චීන සංවර්ධන බැංකුවේ සහනදායි අරමුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලබන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කර ඇති පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     2016 සැප්තැම්බර් 5 - 9 දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාව සඳහා වන කලාපීය කමිටුවේ 69 වන සැසිවාරයෙහි සත්කාරකත්වය දැරීම

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කමිටුව (WHO - SEARO) 1948 දී ස්ථාපනය කරන ලද අතර, ලෝක ජනගහනයෙන් 1/4කට නිවහන වන අග්නිදිග ආසියානු කලාපයේ පවතින සෞඛ්‍ය ගැටලු හා ප්‍රතිපත්තිමය විකල්ප සඳහා නායකත්වය ද තාක්ෂණික සහාය ද එමඟින් ලබා දෙනු ලැබේ. ශ්‍රී ලංකාව මෙම කමිටුව සමඟ සමීපව කටයුතු කරන අතර, ශ්‍රී ලංකාව විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය ලොවට විදහාපාමින් එහි 69 වන සැසිවාරය 2016 සැප්තැම්බර් මස 5 සිට 9 දක්වා දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැක්වීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

    ධීවර පනතේ සඳහන් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී බලයලත් නිලධාරින්ට සිදු වන බාධා කිරීම් සඳහා වන දඬුවම් ඉහළ නැංවීමේ යෝජනාව

    යුරෝපා සංගමය විසින් පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනමට හේතු වූ අවාසිදායක තත්ත්වයන් මහහරවා ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස නීතිවිරෝධී ක්‍රම භාවිත කිරීම, නියාමනය නොකළ සහ වාර්තා නොකරන ලද ධීවර කටයුතු සඳහා වන දඬුවම් අන්තර්ජාතික සම්මතයන්ට අනුකූල වන සේ සහ අදාළ නීති කඩකිරීම්වල බරපතළ ස්වභාවයට ගැළපෙන ලෙස වැඩි කරනු ලැබ ඇත. එකී දඬුවම්වල දැඩි ස්වභාවය නිසා වැටලීම් සහ අත්අඩංගුවට ගැනීමේ කටයුතුවල නිරත නාවික හමුදාවේ සහ පොලීසියේ නිලධාරින්ද ඇතුළු ධීවර හා ජලජ සම්පත් පනත ක්‍රියාත්මක කිරීමේ කටයුතුවල නිරත වන බලයලත් නිලධාරින්ට බාධා කිරීම්වලටත් තර්ජනයන්ටත් විශාල වශයෙන් මුහුණ දීමට සිදුව තිබේ. ධීවර හා ජලජ සම්පත් පනත ක්‍රියාත්මක කිරීමේ බලයලත් නිලධාරින් විසින් එකී බලතල ක්‍රියාත්මක කිරීමේදී ඔවුනට බාධා කිරීම් සම්බන්ධයෙන් වන දැනට පවතින රුපියල් 25,000/-ක දඩ මුදල වෙනුවට රුපියල් 50,000/- අවම දඩ මුදලකින් ආරම්භව අදාළ යාත්‍රාවේ දිග අනුව බලපවත්වන ආකාරයට දඩ මුදල ඉහළ නැංවීමට හැකි වන පරිදි ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීමටත්, වෙරළාරක්ෂක බලකායේ නිලධාරින් ද පනත ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් නිලධාරින් වශයෙන් පිළිගැනීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නේවාසිකාගාර ඉදි කිරීමේ කඩිනම් ව්‍යාපෘතිය යටතේ නේවාසිකාගාර ඉදි කිරීම

    2016 අයවැය යෝජනා අනුව සියලුම විශ්වවිද්‍යාල සිසුසිසුවියන්ට නේවාසික පහසුකම් සැලසීම රජයේ වගකීම කොට සලකනු ලබන අතර, එම කාර්යය 2018 වසර වන විට ක්‍රියාත්මක කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින නේවාසිකාර 60 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර 2016 වර්ෂයේ මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂිත අතර ඒ සමඟ ජාතික විශ්වවිද්‍යාලයන්හි සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතන‍යෙහි නේවාසික පහසුකම් සැලසිය යුතු සිසුන් සංඛ්‍යාවෙන් 62% කට පමණ නේවාසික පහසුකම් සැලසීමට හැකියාව ලැබනු ඇත. ඉදිරියේදී බඳවාගැනීමට නියමිත තාක්ෂණ විෂය ධාරාවේ සිසුන්ගේ නේවාසික ගැටලුව විසඳීමද ඇතුළුව පොදුවේ විශ්වවිද්‍යාලවල පවතින උග්‍රතම ප්‍රශ්නය වන නේවාසික පහසුකම් සපයා ගැනීමේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණින් 2016 අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් ජාතික විශ්වවිද්‍යාල හා උසස් තාක්ෂණ ආයතන සිසු සිසුවියන් සඳහා නේවාසිකාගාර 16 ඉදි කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සාන්ද්‍ර මොනොක්ලෝනල් පියුරිෆයිඩ් හා ඩිටර්ජන් ට්‍රීටඩ් ඩ්‍රයිඩ් ෆැක්ටර් VIII ෆැක්ෂන් 200 අයියූ-350 අයියූ වයල්ස් 27,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

     
    හිමෝෆිලියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන ඉහත ඖෂධය මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් (හියුමන්) එන්නත් බීපී,1000 අයියූ/මිලි ලීටර් 10, වයල්ස් 950,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

    දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන ඉහත ඖෂධය මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාතික සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාල සංවර්ධන සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම

     ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) විසින් සපයනු ලබන ණය ආධාර යටතේ ජාතික සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාල සංවර්ධන සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. එම ව්‍යාපෘතිය යටතේ දෙහිවල, ගල්කිස්ස හා බත්තරමුල්ල ප්‍රදේශවල 11 kV භූගත විදුලිය බෙදාහැරීම සංවර්ධනය කිරීමේ සහ 400 kV සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදි කිරීමේ යෝජනා ක්‍රම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්‍ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ, 'තෝරාගත් ගංඟා ද්‍රෝණි සඳහා ද්‍රෝණි ආයෝජන සැලසුම් සංවර්ධන උපදේශක සේවාවක්' ක්‍රියාත්මක කිරී‍මේ කටයුතු ආරම්භ කිරීම

     
    දේශගුණික තත්ත්වයන් වෙනස්වීම නිසා සිදු විය හැකි ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම පිණිස අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ‍මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. ඒ අනුව ව්‍යාපෘතියේ පළමු සං‍රචකය යටතේ ගංවතුරින් හා නියඟයෙන් අනාගතයේදී සිදු විය හැකි ආපදා තත්ත්වයන් හඳුනාගෙන ඒවා අවම කරගැනීම සඳහාත් ප්‍රමුඛතාව අනුව තෝරාගත් ගංගා ද්‍රෝණි 10 ක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරනු ලබයි. එසේම ව්‍යාපෘතියේ දෙවන සංරචකය යටතේ මෑතදී ගංවතුර හා නායයාම් හේතුවෙන් හානි වූ වාරිමාර්ග හා ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, නායයෑමේ අවදානම් සහිත පාසල් ගොඩනැඟිලි පිහිටා ඇති භූමි ආරක්ෂක බැමි යොදා පිළිසකර කිරීමටත් යෝජිතය. ඒ අනුව ව්‍යාපෘතියේ පළමු සංරචකයේ කටයුතු සඳහා වන උපදේශක සේවාව සැපයීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    2017 වර්ෂය වෙනුවෙන් නොමිලේ බෙදාහරිනු ලබන පාසල් පෙළපොත් විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව මුද්‍රණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම

     
    2017 වර්ෂයේ පාසල් සිසුන් සඳහා නොමිලේ බෙදා දීමට නියමිත පෙළපොත් අතුරින් 30%ක ප්‍රමාණයක් මුද්‍රණය කිරීම පිණිස වන ටෙන්ඩරය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත පැවරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළි නඟා සිටුවීම

     'එයාර් සිලෝන් ලිමිටඩ්' නමින් 1947 දී ප්‍රථමයෙන් ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සේවාව ඉන් අනතුරුව 1979 දී වගකීමෙන් සීමිත සමාගමක් ලෙස 'එයාර් ලංකා ලිමිටඩ්' නමින් සංස්ථාගත කරන ලදී. 1998 දී එමිරේට්ස් ගුවන් සමාගම සමඟ එළඹි දස අවුරුදු කළමනාකරණ ගිවිසුම අනුව එයාර් ලංකා ලිමිටඩ් ගුවන් සමාගමේ කොටස්වලින් 40%ක් එකී සමාගම වෙත පවරා දෙන ලද අතර, එම කාලවකවානුවේදී 'එයාර් ලංකා' ආයතනය, 'ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්' යනුවෙන් නැවත නම් කරන ලදී. එමිරේට්ස් ගුවන් සමාගම විසින් කළමනාකරණය කරන ලද 1998 -2008 කාලවකවානුව තුළ දී සමස්තයක් වශයෙන් ලාභ ලබමින් රජයට බදු ‍ගෙවමින් එම ආයතනය ක්‍රියාත්මක විය. ඉන් අනතුරුව, 2010 දී එම ආයතනයේ මෙහෙයුම් කටයුතු යළි රජයට පවරා ගත් අතර දුර්වල කළමනාකරණය ඇතුළු බොහෝ හේතූන් මත අඛණ්ඩව මෙහෙයුම් අලාභ ලබමින් ක්‍රියාත්මක වේ. මුදල් අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබ ඇති ඇගයීම්වලට අනුව 2015‑12‑31 දිනට ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්හි සමස්ත වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 461ක් පමණ වේ. ශ්‍රී ලංකන් ගුවන්‍ සේවය වර්තමානයේ මුහුණ පා සිටින මූල්‍ය අර්බුදයෙන් මුදවා ගෙන එය යළි නඟා සිටුවීමේ අරමුණින් එහි මෙහෙයුම් කටයුතු භාර දීම සඳහා සුදුසු කොටස්කරුවකු සහභාගි කර ගත යුතුව ඇත. එසේ කළ හැකි වනු පිණිස ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමේ සියලු වගකීම් ශ්‍රී ලංකා රජය විසින් භාර ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     

    ත්‍රිවිධ සන්නද්ධ හමුදා සේවා පුද්ගලයින්ගේ වැටුප් සංශෝධනය

    රජයේ සේවකයින් සඳහා ඔවුන්ගේ මූලික වැටුපට අමතරව ලබා දුන් විශේෂ දීමනා සහ රුපියල් 10,000/-ක් වූ අන්තර් දීමනාව අදියර වශයෙන් මූලික වැටුපට එකතු කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණය පරිදි අංක 03/2016 දරන 2016‑02‑25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කරන ලදී. එසේම ඊට සමගාමීව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු සමාගම්වල නිලධාරින්ගේ වැටුප් සංශෝධනය කිරීමට අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් ද මේ වන විට නිකුත් කරනු ලැබ ඇත. එකී වැටුප් සංශෝධනයන්ට සමගාමීව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැටුප් සංශෝධනය කිරීම පිණිස ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි සකස් කරනු ලැබ ඇති චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya