මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.03.30

    මාර්තු 31, 2016

    2016.03.30 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් පරිදි වේ.


    ජාතික සමඟිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය විසින් දිස්ත්‍රික්ක මට්ටමින් ද්විභාෂා/ත්‍රිභාෂා හැකියාවන් සහිත සම්පත්දායකයින්ගේ දත්ත සංචිතයක් ස්ථාපිත කිරීම

    සෑම පුරවැසියෙකුටම තම මව්බසින් රජය සමඟ කටයුතු කිරීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇත. මෙම අයිතිය ක්‍රියාවට නැංවීම පිණිස රජය විසින් වරින්වර නොයෙකුත් පියවර ගෙන තිබුණද තවමත් රාජ්‍ය ආයතනවල සිංහල /දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා දෙකකින් (ද්විභාෂා) හෝ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා තුනෙන්ම (ත්‍රෛභාෂා) කටයුතු කිරීමට හැකි නිලධාරින්ගේ සැලකිය යුතු ඌනතාවක් පවතියි. මෙම ගැටලුවට අන්තර්කාලීන විසඳුමක් වශයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් ද්විභාෂා/ත්‍රෛභාෂා ප්‍රවීණතාව සහිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇතුළත් දත්ත සංචිතයක් ස්ථාපිත කිරීමටත්, එම දත්ත සංචිතයේ‍ තොරතුරු සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන සහ මහජනතාව වෙත විවෘත කිරීමටත්, අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුන්ගේ සේවය රාජ්‍ය ආයතන වෙත ලබාගැනීමටත්, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ත්‍රිවිධ හමුදාවන්හි මානව සම්පත ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීම

     

    අවුරුදු 22 ක සේවා කාලය සම්පූර්ණ වීම මත හෝ එකම නිලයක රැඳී සිටිය හැකි උපරිම කාලය ඉක්මවීම මත ත්‍රිවිධ හමුදාවට අයත් තාක්ෂණික හා වෘත්තීය සුදුසුකම් / අත්දැකීම් සහිත, විවිධ නිලවලට අයත් නිලධාරින් රාශියක් වාර්ෂිකව හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට සිදු වේ. මෙම නිලධාරින් අතුරින් සැලකිය යුතු පිරිසක් ඉං‍ජිනේරු, මිනින්දෝරු, වෛද්‍ය, හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා, තාක්ෂණික, ක්‍රීඩා ආදී විවිධ වෘත්තීය හා තාක්ෂණික නිපුණතාවලින් හෙබි අයවලුන් වන අතර, ඔවුන් විශ්‍රාම ගන්නා වයස සාමාන්‍යයෙන් වයස අවුරුදු 42 - 45 පමණ වන අතර, ඒ වන විට ඔවුහු තවදුරටත් මනා ලෙස රාජකාරි කළ හැකි මානසික හා කායික සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන පුද්ගලයෝ වෙති. මෙම මානව සම්පත ජාතික සංවර්ධනය සඳහා වඩාත් ඵලදායිව දායක කරගැනීමේ අරමුණින් හා රාජ්‍ය සේවය තුළ දක්නට ලැබෙන තාක්ෂණික හා වෘත්තීය නිපුණතාවන්ගෙන් හෙබි පුද්ගලයින්ගේ හිඟයට පිළියමක් වශයෙන් වෘත්තීය හා සුදුසුකම් ලත් සන්නද්ධ සේවා විශ්‍රාමික නිලධාරින්ගේ සංචිතයක් ආරක්ෂක අමාත්‍යංශය විසින් පවත්වා‍ ගෙන යාමටත්, එම සංචිතයෙහි ලියාපදිංචි විශ්‍රාමික නිලධාරින්ගේ සේවය අවශ්‍ය අවස්ථාවන්හිදී රාජ්‍ය ආයතන වෙත කොන්ත්‍රාත් පදනමින් ලබාගැනීමට අවස්ථාව සැලසීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    විදේශ නිලධාරින් හට ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා පුහුණු අවස්ථා ලබා දීම

     

     2007 වර්ෂයේ ආරම්භ කරන ලද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය දිවයිනේ ඇති උසස්ම යුද පුහුණු අභ්‍යාස ආයතනය වේ. සුහදත්වය ප්‍රකාශ කිරීමක් ලෙස 2009 වසරේ සිට වෙනත් විදේශ රටවල් වෙත මෙම විද්‍යාලයේ පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව දෙනු ලැබේ. මෙ  මඟින්     ශ්‍රී ලංකාවට හිමිවන කීර්තිනාමය, විදේශ විනිමය, දැනුම හා අත්දැකීම් හුවමාරුව යන කරුණු සලකා 2017 වර්ෂයේදී විදේශ නිලධාරින් සඳහා ගෙවීම් පදනම මත පුහුණු අවස්ථා 10ක් ද ගෙවීම් පදනමින් තොරව පුහුණු අවස්ථා 22ක් ද ලබා දීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ එම ජිවී විශේෂ පාලනය හා කළමනාකරණය සඳහා උපායමාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම

    - මෙරටට ආවේණික නොවූ ඇතැම් ආක්‍රමණශීලී පැළෑටි හා ජීවී විශේෂ හඳුන්වා දීම හා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වාභාවික හා කෘෂි - පාරිසරික පද්ධතිවලට මෙන්ම ඒවා ආශ්‍රිත ආර්ථික කටයුතුවලටද දැඩි බලපෑමක් එල්ල වී ඇත. මෙම තත්ත්වය වැළැක්වීමට අදාළ කරගත හැකි යම් යම් අණපනත් තිබුණද මේ නිසා සිදු වන පාරිසරික, ආර්ථික හා සමාජයීය හානිය සලකා බලන විට ශ්‍රී ලංකාව තුළ ආක්‍රමණශීලී ආගන්තුක පැළෑටි හා ජීවී විශේෂ ව්‍යාප්ත වීම පාලනය කිරීම හෝ වැළැක්වීම සඳහා මැනවින් සකස් කරන ලද ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව පෙනී‍ ගොස් ඇත. ඒ අනුව, ආක්‍රමණශීලී ආගන්තුක පැළෑටි හා ජීවී විශේෂ ව්‍යාප්ත වීම පාලනය කිරීම හා ඒවායින් ජෛව විවිධත්වයට, පරිසර පද්ධතිවලට, ආර්ථිකයට හා සමාජයට ඇති කරන හානිය අවම කිරීම සඳහා සියලු පාර්ශ්වවල හා ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ගේ සහභාගිත්වය ඇතිව සකස් කරන ලද, ආක්‍රමණශීලී ආගන්තුක ජීවී විශේෂ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ ඊට අදාළ උපායමාර්ග හා ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

     

    ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් රජයේ සේවකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සැපයෙන අග්‍රහාර ප්‍රතිලාභ සංශෝධනය කිරීම

     

    වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිනෙන් දින ඉහළ යන වියදම සැලැකිල්ලට ගනිමින්, ජාතික රක්ෂණ භාර අරමුදල විසින් කළමනාකරණය කරනු ලබන 'අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය' මඟින් රජයේ සේවකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පිරිනමනු ලබන සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් නි‍ර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශ අනුව විශ්‍රාමික රජයේ සේවකයින්ද ඇතුළත් වන පරිදි වඩාත් නම්‍යශීලී සහ ඉහළ ප්‍රතිලාභ ලැබෙන පරිදි 'අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය ' ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාතික රක්ෂණ භාර අරමුදල විසින් ජාතික කෘෂිකාර්මික ණය සුරැකුම් යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීම

    ගංවතුර, නියඟ සහ අනෙකුත් ස්වාභාවික ව්‍යසනයන් හේතුවෙන් සිය වගාවන්ට හානි සිදුවීමෙන් තමන් ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකි වන අවස්ථාවන්හිදී පැනනඟින අවදානම් වෙනුවෙන් ගොවීන්ට සහ බැංකු හා කෘෂිකාර්මික ණය සපයන මූල්‍ය ආයතනවලට ආවරණයක් ලබා දීම සඳහාත්, අපහසුවකින් තොරව ඊළඟ කන්නයේදී ගොවීන්ට ණය ලබාගැනීමේ පහසුකම් සැලසීම සඳහාත් ජාතික කෘෂිකාර්මික ණය සුරැකුම් යෝජනා ක්‍රමයක් ඇති කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා 'ඩිජිටල් අලෙවිකරණ' උපායමාර්ග යොදා ගැනීම

    - 2009 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ වඩාත්ම ශීඝ්‍රයෙන් දියුණු වන ක්ෂේත්‍රය බවට සංචාරක කර්මාන්තය පත්ව ඇත. 'ගූගල්' (Google) ආයතනය විසින් සිදු කරන ලද මෑතකාලීන සමීක්ෂණයකට අනුව ලොව සංචාරකයින්ගේ 50%කට වඩා වැඩි සංඛ්‍යාවකට තමන්ගේ ඊළඟ සංචාරක ස්ථානය හෝ එහිදී ලැගුම් ගත යුතු ස්ථාන පිළිබඳව කිසිදු අදහසක් නොමැතිව කටයුතු කරන බව හෙළි වී ඇත. මේ වන විට ලෝක ජනගහනයෙන් 40%කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය භාවිත කරනු ලබන අතර, සංචාරකයන්ට සිය සංචාරක ගමනාත්තයන් පිළිබඳ තීරණ ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමේදී හා සංචාරක ගමනාන්තයන් ප්‍රචලිත කිරීමේදී අන්තර්ජාලය මාධ්‍ය කොට ගත් ඩිජිටල් හා සමාජ මාධ්‍ය අලෙවිකරණයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හඳුනාගත් වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් උපායාත්මක ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් 2016 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'විරුසර' වරප්‍රසාද කාඩ්පත ලබා දී ඇති ආබාධිත රණවිරුවන් සඳහා සහනදායී දුම්රිය ගාස්තු අය කිරීම

    ආබාධිත රණවිරුවන් සඳහා විශේෂ සහන සලසා දීමේ රජයේ වැඩපිළිවෙ‍ෙළහි එක් අංගයක් ලෙස හඳුන්වා දෙනු ලැබ ඇති 'විරුසර' වරප්‍රසාද කාඩ්පත මඟින් ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් රජයේ හා ඇතැම් පෞද්ගලික ආයතනවලින් සේවාවන් ලබාගැනීමේදී එම සේවාවන් සඳහා සහන සලසා ගැනීමේ වරප්‍රසාදය ඔවුනට සලසා දී ඇත. මෙම සහන තවදුරටත් පුළුල් කරමින් 'විරුසර' වරප්‍රසාද කාඩ්පත හිමි ආබාධිත රණවිරුවන්ට දුම්රිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් වටිනාකමින් 50%ක් පමණක් ගෙවා දුම්රියෙන් ගමන් කිරීමට අවස්ථාව සලසා දිම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) යටතේ, මහාද්වීපික තටකය පිළිබඳව ශ්‍රී ලංකාව විසින් මහාද්වීපික තටකයේ සීමා පිළිබඳ කොමිෂන් සභාව වෙත (CLCS) කරුණු ඉදිරිපත් කිරීමට අදාළ කාර්යභාරය සඳහා වි‍ශේෂඥ කමිටුවක් පත් කිරීම

     

    බෙංගාල බොක්කේ දකුණු කොටසෙහි පිහිටි රාජ්‍යයන්හි මහාද්වීපික සීමාවල බාහිර මායිම් ස්ථාපනය කිරීමට අදාළ කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් මහාද්වීපික තටකයේ සීමා පිළිබඳ කොමිෂන් සභාව වෙත සිය කරුණු දැක්වීම 2009 වර්ෂයේදී සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ එම කරුණු දැක්වීම කොමිෂන් සභාව විසින් 2017 - 2022 අතර කාලපරිච්ඡේදය තුළදී සැලකිල්ලට ගැනීමේ හැකියාවක් පවතී. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබ ඇති කරුණු තහවුරු කිරීමටත්, ඒ සම්බන්ධයෙන් අනෙකුත් රටවල් විසින් ඉදිරිපත් කරනු ලැබිය හැකි ප්‍රතිවිරුද්ධ අදහස්වලට සාර්ථකව මුහුණ දිමටත් ජාත්‍යන්තර කීර්තියට පත්, ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ජාතික විද්‍යා මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම

    ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන යෝජිත ජාතික විද්‍යා මධ්‍යස්ථානය හෝමාගම මාහේන ප්‍රදේශයේ පිහිටි, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක ස්ථාපනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.

    ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ජාතික පර්යේෂණ සභාව ස්ථාපනය කිරීම

    ශ්‍රී ලංකාව තුළ විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීමට සහ ඒ පිළිබඳ නැඹුරුවක් ජනතාව තුළ ඇති කිරීමේ අරමුණින් දැනට පවතින ජාතික පර්යේෂණ සභාව, ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා කෙටුම්පත් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම සහ චීන ජාතික ස්වාභාවික විද්‍යා පදනම අතර එළඹීමට නියමිත අවබෝධතා ගිවිසුම

    ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම (NSF) සහ චීනයේ ජාතික ස්වාභාවික විද්‍යා පදනම (NSFC) අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් සම්පාදනය කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම, ගරු අග්‍රාමාත්‍යතුමාගේ චීන නිල සංචාරය අතරතුරදී අත්සන් තැබීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    විදුලි ඉල්ලුම් කළමනාකරණය, විදුලිබලය කාර්යක්ෂම භාවිතය සහ සංරක්ෂණය පිළිබඳ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම

     අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කිරීම ගැන මහජනතාව දැනුවත් කිරීම, විදුලි උපකරණ සහ තාක්ෂණය භාවිත කිරීම සහ විවිධ ආර්ථික හා සමාජ චාර්යාවන් වෙනස් කිරීම මඟින් විදුලිය සඳහා වන ඉල්ලුම අඩු කිරීම තුළින් ඉදිරි වසර 05 තුළදී ගිගාවොට් පැය 1,000 ක පමණ බලශක්ති ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව පුරෝකථනය කර ඇති අතර, එමගින් ඉදිරි වසර 05 සඳහා අලුතින් ආරම්භ කළ යුතු මෙගාවොට් 500 ක පමණ ධාරිතාවකින් යුත් විදුලිබලාගාර ඉදි කිරීමේ අවශ්‍යතාව මඟහරවා ගත හැකිය. ඒ අනුව, විදුලිය කාර්යක්ෂමව භාවිතය සහ සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල සහභාගිත්වයෙන් සැලසුම් කර ඇති අතර, එම වැඩසටහන ගෘහස්ථ, වාණිජ, කර්මාන්ත මෙන්ම රාජ්‍ය අංශයේ පුළුල් දායකත්වයක් සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් සහ ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    1917 අංක 9 දරන භාර ආඥා පනත සංශෝධනය කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත

    මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් සම්පාදනය කිරීමේ අවදානම අවම කිරීම පිණිස වන ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරාලීම සඳහා භාර ආඥාපනතෙහි විෂයපථය පුළුල් කර සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරියක් පිහිටුවීම සඳහා වූ කාර්යසාධක බලකාය

     

    වතු වැවිලි ප්‍රජාවෙහි සමාජ හා සංස්කෘතික අවශ්‍යතාවන් සංවර්ධනය කිරීම පිණිස යටිතල පහසුකම් සැපයීමේ සහ නිවාස සංවර්ධනය කිරීම මඟින් නව ගම්මාන හා නගර ස්ථාපිත කිරීමේ ප්‍රධාන කාර්යභාරය කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවරී ඇත. වතු වැවිලි ප්‍රජාවේ සමාජ සංවර්ධනය සඳහා වන ජාතික සැලැස්මක් (2016-2020) එම අමාත්‍යාංශය විසින් දියත් කරනු ලැබ ඇති අතර, එකී සැලැස්මෙහි ඇතුළත් අරමුණු හා ඉලක්ක නියමිත කාලසීමාව තුළ ළඟා කරගැනීමට සහ අමාත්‍යාංශය වෙත පැවරී ඇති කර්තව්‍යයන් හා වගකීම් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාවට නැංවීම පිණිස අධිකාරියක් පිහිටුවීමට යෝජනා වී ඇත. ඒ අනුව, 'කඳුරට නව ගම්මාන සංවර්ධන අධිකාරිය' පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදන කිරීමට කාර්යසාධක බලකායක් පත් කිරීම පිණිස කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය යූ.පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ලිහිසි තෙල් හා ස්නේහක ප්‍රසම්පාදනය කරගැනීම

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ සඳහා ලිහිසි තෙල් හා ස්නේහක ප්‍රසම්පාදනය කරගැනීම පිණිස වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරුවන් වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල ටයර් සඳහා පෙර සවි හා පිරිසැකසුම් සේවා ලබා ගැනීම ප්‍රසම්පාදනය කිරීම

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල ටයර් සඳහා පෙරසවි හා පිරිසැකසුම් සේවා (Pre - curing & Rebuilding Services), අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරුවන් වෙතින් ලබාගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට මාදුරුගොඩ දක්වා B 157 (නැ‍ඟෙනහිර) මාර්ගය පුනරුත්ථාපනය කිරීම

     

    දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන ජාතික මහාමාර්ගයන්හි ධාරිතාව වැඩිදියුණු කිරීම පිණිස වන දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය සඳහා ඇ‍ෙමරිකන් ඩොලර් මිලියන 75ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. ඒ අනුව, එම ව්‍යාපෘතිය යටතේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට මාදුරුගොඩ දක්වා B 157 (නැ‍ඟෙනහිර) මාර්ගයේ කිලෝමීටර 10ක් පමණ වූ මාර්ග කොටස වසර 05ක කාර්යසාධන පාදක නඩත්තුව ද ඇතුළත්ව පුනරුත්ථාපනය කර වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද ලංසුකරු වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    බොරතෙල් සහ පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන සැලැස්ම - 2016

    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ 2016 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන සැලැස්ම, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2016 අයවැය යෝජනා අනුව පොහොර මිල දී ගැනීමට ගොවීන්ට මුදල් ලබා දීම

    මීට පෙර ක්‍රියාත්මක වූ පොහොර සහනාධාර වැඩසටහන වෙනුවට, 2016 අයවැය යෝජනා අනුව ගොවීන්ට අවශ්‍ය පොහොර තම අවශ්‍යතාව පරිදි විවෘත වෙළඳපොළෙන් මිල දී ගැනීමට හැකි වන පරිදි දිවයින පුරා විසිරී සිටින දශ ලක්ෂයක් පමණ ගොවීන්‍ට 2016 යල කන්නය වෙනුවෙන් හෙක්ටයාරයට රුපියල් 25,000/- බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර දෙකක් දක්වා මුදලින් ලබා දීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා වන එකඟතාවයන් පිළිබඳ ගිවිසුම අපරානුමත කිරීම

    ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ එකඟතාවන් පිළිබඳ ගිවිසුමට 2015 ජනවාරි මස 29 දින අත්සන් තබමින් ශ්‍රී ලංකාව එම බැංකුවේ පාර්ශ්වකරුවකු වන ලදී. එම ගිවිසුම අපරානුමත කිරීම සඳහා සහ ශ්‍රී ලංකාව තුළ නීතියක් වශයෙන් බලාත්මක කිරීම සඳහා සකස් කරන ලද ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකු ගිවිසුම (අපරානුමත කිරීමේ) පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කොට අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය ගරු රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මෑතකදී සිදුවූ විදුලිය බිඳ වැටීම් සහ බාධාවකින් තොරව විදුලිය සැපයීම

     

    මෑතකදී සිදුවූ විදුලිය බිඳවැටීම් පිළිබඳව සහ ඉදිරියේදී බාධාවකින් තොරව විදුලිය ලබා දීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පහත සඳහන් තීරණවලට එළඹෙන ලදී.

    (i) රටපුරා එකවර විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් සහ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් සී.මාලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති වාර්තාවල නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම.

    (ii) ඉදිරි දිනවල ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොලැබුණහොත් පැනනැගිය හැකි විදුලිය උත්පාදන සීමාවන්ට මුහුණ දීමට හැකිවන පරිදි අත්‍යවශ්‍ය වන විදුලිබල ප්‍රමාණය පමණක් පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya