අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.03.20 අමාත්‍ය මණ්ඩල තීරණ

    මාර්තු 25, 2014

    සෞඛ්‍ය අමාත්‍යංශයේ රාජකාරි ඉටු කිරිම් සම්බන්ධව මහජනතාව ගෙන් ලද පැමිණිලි පිළිබඳ විමර්ශනය

    මහජනතාව වෙත මනා සෞඛ්‍ය සේවයක් ලබා දීම හා මහජනයාගෙන් විවිධ අවස්ථාවල ලද පැමිණිලි විමර්ශනය සඳහා අවශ්‍ය අවස්ථාවල විමර්ශන මණ්ඩලයන් පත් කිරීමට නිලධාරීන් තෝරා ගැනීම සඳහා දැනට සේවයේ සිටින හා විශ‍්‍රාමික විශේෂඥ වෛද්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන නිලධාරීන් හා ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගෙන් සමන්විත සංචිතයක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

    ”කිතුලක වරුණ ප‍්‍රදර්ශනය හා වෙළෙඳ පොළ” 2014 අපේ‍්‍රල් 01 සිට 06 දක්වා සතිය කිතුල් ප‍්‍රවර්ධන හා පරිභෝජන සතිය ලෙස ප‍්‍රකාශ කිරීම

    කිතුල් නිෂ්පාදන ප‍්‍රචලිත කිරීම සඳහා කිතුලක වරුණ ප‍්‍රදර්ශනය හා වෙළෙඳපොළ සෑම වසරකම සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර පැවැත්වෙයි. කිතුල් අංශයෙන් විදේශ විනිමය ඉපැයීම ශක්තිමත් කිරිම, සහාය දැක්වීම හා දියුණු කිරීම සඳහා සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික කිතුල් සංවර්ධන වැඩ සටහන ක‍්‍රියාත්මක වෙයි. මේ යටතේ කිතුල් පැණි හා හකුරු අපනයනයෙන් ලද ආදායම 2012 රු. මිලියන 58 සිට 2013 රු. මිලියන 68 දක්වා වර්ධනය වී ඇත. අපේ‍්‍රල් 01 සිට 06 දක්වා සතිය කිතුල් ප‍්‍රවර්ධන හා පරිභෝජන සතිය ලෙස නම් කිරිමට හා අදාළ වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීමට සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

    2014 ජනවාරි 06 සිට 07 දක්වා වු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පලස්තීන නිල සංචාරය පිළිබඳ එකඟතා සමාලෝචනය

    පලස්තීන රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ ආරාධනය පරිදි ඉහත නිල සංචාරයේ යෙදුණු ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා පලස්තීන තරුණයන්ගේ හැකියා සංවර්ධනය සඳහා රමාලා නුවර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම ප‍්‍රකාශයට පත් කළේය. මෙහි සංචාරක කර්මාන්තය හෙද සේවය ආදිය පිළිබඳ පුහුණුව ලබා දේ. දෙරට අතර සීමා රහිත සම්බන්ධය වර්ධනය සඳහා ශ‍්‍රී ලංකා පලස්තීන ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීමට ගිවිසුම් අත්සන් තැබිණි. මේ ගිවිසුම අත්සන් කිරීම සඳහා ආවරණ අනුමැතිය ලබා ගැනීමට වැඩ බලන විදේශ කටයුතු අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

    අතිරේක ආහාර බෝග නිෂ්පාදන වැඩ සටහන ක‍්‍රියාත්මක කිරීම

    ”අපි වවමු - රට නඟමු” ව්‍යාපාරය යටතේ ශ‍්‍රී ලංකාව සහලින් ස්වයං පෝෂිත වු අතර වාර්ෂික සහල් නිෂ්පාදනය රටෙහි අවශ්‍යතාවට වඩා වැඩි අගයක් වන මෙට්ටි‍්‍රක් ටොන් මිලියන 04 ඉක්මවතැයි අපේක්ෂා කෙරේ. අතිරේක බෝගවලින් ද ස්වයංපෝෂිත භාවය ඇති කර ගැනීම සඳහා 2014 යල කන්නයේදී අමතර භෝග වගා කිරිමට කුඹුරු ඉඩම්වලින් 35‍% ක් භාවිත කිරීමට හා පොහොර සහනාධාර, සහන පොලී යටතේ ණය ඇතුළු අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට කාෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    නීතිපති දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

    දැනට නීතිපති දෙපාර්තමේන්තුව අවුරුදු 80 පමණ පැරැණි ගොඩනැගිල්ලක පිහිටා ඇති අතර ඒ සඳහා වැඩි ඉඩක් ලබා ගැනීම හා හොඳ පහසුකම් ලබා දීමේ අරමුණින් නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා රු. මිලියන 1182 ක වියදමින් වසර දෙකක කාලයක් ඇතුළත නව ගොඩනැඟිල්ලක් ඉදිකිරිමට හා අදාළ කටයුතු ඉදිරියට කරගෙන යාමට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

    ජනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨය සඳහා ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම

    ශ‍්‍රවණාගාරයක් පුස්තකාලයක් දේශන ශාලා හා පරිපාලන ප‍්‍රදේශයක් සහිත මහල් හයකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරිම මේ ව්‍යාපෘතියට අයත් වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප‍්‍රසම්පාදන කම්ටුවේ නිර්දේශ පරිදි අදාළ කොන්ත‍්‍රාත්තුව අඩුම වියදමක් ඉදිරිපත් කළ ලන්සුකරු වන මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය වෙත භාරදීමට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

    පිටත වටරවුම් මාර්ග ව්‍යාපෘතිය - කෙරවලපිටිය සිට කඩවත දක්වා උතුරු කොටස 11 සිවිල් කටයුතු ඉදිකිරිම් අධීක්ෂණය සඳහා උපදේශන ආයතනයක් තෝරා ගැනීම

    පිටත වටරවුම් මාර්ගය කොට්ටාවෙන් ආරම්භ වී කඩුවෙල කඩවත හරහා කෙරවලපිටිය දක්වා දිවේ. එය දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, යෝජිත උතුරු අධිවේගී මාර්ගය හා අනෙකුත් ප‍්‍රධාන මහා මාර්ග සමඟ සම්බන්ධ වේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉහත කොන්ත‍්‍රාත්තුව පිරිනැමීමට මහාමාර්ග වරාය හා නාවුක අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

    කොරියාවේ ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල් ආධාර මත හැටන් නුවරඑළිය මාර්ගය දියුණු කිරීම - සිවිල් කටයුතු කොන්ත‍්‍රාත්තුවට වෙනස්කම්

    A7 අවිස්සාවේල්ල, හැටන්, නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර් 46.75ක් වන හැටන් නුවරඑළිය කොටස ප‍්‍රතිසංස්කරණය කර දියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක ණය මුදලක් කොරියානු ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදලෙන් රජයට ලැබී ඇත. මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු යටතේ නානුඔය දුම්රිය හරස් මාර්ග ප‍්‍රදේශයේ බිම් මාර්ගයක් ඉදි කිරීමටත්, කොටගල ප‍්‍රදේශයේ උමගක් ඉදිකිරීමටත්, කටයුතු කර ඇත. මෙම කටයුතු සිදු කිරීම සඳහා ව්‍යාපෘතිය නිමා කිරීමේ දිනය 2014.06.01 සිට 2015.03.20 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිතුමා විසින් මහාමාර්ග වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    පොල්ගහවෙල - පොතුහැර - අලව්ව සංකලිත ජල යෝජනා ක‍්‍රමය

    කැබිනට් ප‍්‍රතිසම්පාදන කමිටුව මගින් නිර්දේශිත පරිදි ඉහත කී ජල යෝජනා ක‍්‍රමය සැලසුම් කර ඉදි කිරීම සඳහා ටෙන්ඩර් පිරිනැමීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන ඇමතිවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නව බස රථ 2200ක් මිලදී ගැනීම

    ඉහත කී කරුණ සඳහා කතිකා කිරීමට පත් කරන ලද කැබිනට් අනුකම්ටුවේ නිර්දේශ මත එකක් ඇමරිකානු ඩොලර් 31,100 බැගින් වූ ආසන 42 දොරවල් දෙකේ බස් රථ 800 ක් හා එකක් ඇමරිකානු ඩොලර් 34,100 බැගින් වූ ආසන 54 අර්ධ සුඛෝපබෝගී බස් රථ 1400 ඉන්දියානු අශෝක් ලේලන්ඩ් සමාගමෙන් මිලදී ගැනීමට ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී. මගීන්ට වඩාත් පහසු ප‍්‍රවාහන සේවයක් ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇත.

    බදු හා ආදායම් සම්බන්ධයෙන් මූල්‍ය පැහැර හැරීම් හා ද්විත්ව බදු අය කිරීම් වළක්වාලීම සඳහා ශ‍්‍රී ලංකාව හා සිංගප්පූරු ජනරජය අතර ගිවිසුම

    ඉහත කී ගිවිසුම අත්සන් කිරීමටත්, ඒ සඳහා 2006 අංක 10 දරණ ආදායම් බදු පණතට අවශ්‍ය සංශෝධන ගෙන ඒමටත් මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් අති ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    2014 මාර්තු 16 සිට 22 දක්වා වූ ශ‍්‍රී ලංකා ජල සතිය

    එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තු මස 22 වෙනි දින ලෝක ජල දිනය වශයෙන් ප‍්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව මාර්තු 16 - 22 දක්වා ශ‍්‍රී ලංකා ජල සතිය වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමටත්, ඒ සඳහා වන විශේෂ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරිමටත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන ඇමතිවරයා වශයෙන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    හිටපු LTTE ක‍්‍රියාකාරී එලීලන්ගේ බිරිඳවූ ආනන්දි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කරන ලද කථාව

    LTTE සංවිධානය සඳහා ළමා සොල්දාදුවන් බඳවා ගැනිම සඳහා ක‍්‍රියාකාරීව කටයුතු කළ ආනන්දි සතීසරන් විසින් එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ශ‍්‍රී ලංකා රජයට විරුද්ධවත්, උතුරේ දැනට පවතින තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වැරදි චිත‍්‍රයක් මවා පාමින් කරන ලද ද්වේශ සහගත කථාව පිළිබඳ සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් විශේෂ ලිපියක් මගින් කැබිනට් අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරන ලදී. මැය මෙම කථාව කර ඇත්තේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන දෙකක් සඳහා වූ වෙන් කරන ලද කාලය උපයෝගී කර ගෙනය. මෙම කථාව කර ඇත්තේ රජයේ ප‍්‍රතිරූපය විනාශ කිරීමේ හා ජිනීවා සමුළුවේ රජයට විරුද්ධව ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේ අරමුණ ඇතිවය.

    අමාත්‍යවරුන් විසින් මේ සම්බන්ධව සිය දැඩි අප‍්‍රසාදය ප‍්‍රකාශ කරන ලදී. ශ‍්‍රී ලංකාව හා විදේශවල ඇති තානාපති කාර්යාල මගින් උතුරු ප‍්‍රදේශයේ පවතින සත්‍ය තත්ත්වය ජාත්‍යන්තර ප‍්‍රජාවට පහදා දීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වහා කටයුතු කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාට දන්වන ලදී.

    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya