අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2015.05.27

    මැයි 28, 2015

    2015-05-27 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

    01. ජාතික වකුගඩු අරමුදල පිහිටුවීම

    ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නිදන්ගත වකුගඩු රෝගය සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස දැනට වකුගඩු රෝග නිවාරණ අධීක්ෂණ කමිටුවක් පත් කර ඇති අතර ඒ යටතේ අදාළ අනු කමිටුද පිහිටුවා ඇත. මේ සම්බන්ධයෙන් වන සමස්ත ක්‍රියාවලිය ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති වකුගඩු රෝග නිවාරණ සම්බන්ධීකරණ ඒකකය මගින් සම්බන්ධීකරණය කරනු ලබයි. මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සහ රෝග නිවාරණ කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ජාතික සහ අන්තර්ජාතික සිවිල් සංවිධාන හා පුද්ගලයින් ඇතුළත් විවිධ පාර්ශ්ව ‍විසින් යෝජිත අරමුදල සඳහා දායකත්වය දැක්වීමට කැමැත්ත පළ කර ඇති අතර, මේ වන විටත් ඒ සඳහා රුපියල් මිලියන 07ක දායකත්වයක් ලැබී ඇත. නව රජය විසින් ඉදිරිපත් කරන ලද 2015 අයවැය යෝජනා මඟින් යෝජනා කරන ලද ජාතික වකුගඩු අරමුදල ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    02. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය - අදියර 2 (II)

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි මගීන් හැසිරවීමේ වර්තමාන වාර්ෂික ධාරිතාව මිලියන 7.4 සිට 2020 වන විට මිලියන 15 දක්වා ඉහළ නැංවීමට හැකි වන අයුරින් ගුවන් තොටුපළ පුළුල් කිරීම උදෙසා අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට අපේක්ෂිතය. ඒ සඳහා ජපන් යෙන් මිලියන 45,428ක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 48,969 ක) ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මඟින් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමට ජපාන රජය සිය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එම මුදල ලබා ගැනීම සඳහා ජපාන රජය සමඟ ගිවිසුමකට එළඹීමට සහ ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    03. බදුල්ල සිට චෙන්කලාඩි දක්වා A - 5 මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

    රටෙහි නැ‍ඟෙනහිර හා මධ්‍යම පළාත් යා කෙරෙන ප්‍රධාන මාර්ගයක් ලෙස පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි මාර්ගය හඳුනාගෙන ඇත. ඒ අනුව, පේරාදෙණිය සිට බදුල්ල දක්වා මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කර ඇති අතර බදුල්ල සිට චෙන්කලාඩි දක්වා වූ ඉතිරි කි.මී. 151.3 ක මාර්ග කොටස මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය. ඒ සඳහා ඇ.ඩො. මිලියන 60ක ණය මුදලක් සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදලෙන් ලබා ගැනීම පිණිස දැනටමත් අවශ්‍ය කටයුතු කෙරෙමින් පවති. ඊට අමතරව, මෙම ව්‍යාපෘතිය සඳහා තවත් ඇ.ඩො. මිලියන 60ක ණය මුදලක් ලබා ගැනීම පිණිස සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ඒ අනුව, ණය ගිවිසුමකට එළඹීමටත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    04. සාමවාචතිවු - මුනිච්චේනයි මාර්ගයේ තට්ටුතුරෙයි පාලම සහ ප්‍රවේශ මාර්ග ඉදි කිරීම

    යෝජිත ව්‍යාපෘතිය මඟින් සාමවාචතිවු ප්‍රදේශවාසීන්ට මහාමාර්ග, සෞඛ්‍ය හා අධ්‍යාපන ආදී පහසුකම් වෙත ප්‍රවේශවීම හා සම්බන්ධවීම පහසුවනු ඇති අතර, ඒ අනුව, නැදුනතිව්, චුල්ලිමුරිච්චන්තිවු, පුලිච්චාන්කේනි, සාමවාචතීවු හා ආලිම්තිවු වැනි ගම්මානවල වැසියන්ගේ ජීවන තත්ත්වය හා ජීවනෝපායද සංවර්ධනය වනු ඇත. සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ එකඟත්වයද ඇතිව මඩකලපුව - ත්‍රිකුණාමලය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ උපයෝජනය නොකළ ඇ‍.ඩො. 601,581ක මුදලක් මේ සඳහා භාවිත කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.

     

    05. මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ණය මුදලක් ලබා ගැනීම

    මුල් ළමාවිය ගත කරන දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා වැඩිමනත් අරමුදල් ආයෝජනය කිරීමේ වැදගත්කම රජයේ සංවර්ධන උපායමාර්ගයන් විසින් මනාව හඳුනාගෙන ඇති අතර, ඊට අනුකූලව නිසි පෝෂණය, රැකවරණය, ළමාවිය සංවර්ධන කටයුතු සඳහා ප්‍රවේශය හා සපයනු ලබන සේවාවන් වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මඟින් වයස අවුරුදු 0-5 පරාසයේ දරුවන් සඳහා සුරක්ෂිත හා යෝග්‍ය වටපිටාවක් තහවුරු කිරීම රජයේ අරමුණ වී ඇත. එකී පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් ‘මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය 2015-2020’ යෝජනා වී ඇත. ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය කැමැත්ත පළ කර ඇති අතර, ඒ අනුව, එම ආයතනය සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ඇමෙරිකානු ඩොලර් මිලියන 50 කට සමාන වූ විශේෂ හැර ගැණුම් හිමිකම් මුදලක් ණයට ගැනීම පිණිස එම ආයතනය සමඟ මූල්‍ය ගිවිසුමකට එළැඹීමටත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    06. උතුරු සහ නැ‍ඟෙනහිර පළාත් හි පළාත් පාලන සේවාවන් වැඩිදියුණු කිරීමේ (පුරනැඟුම) ව්‍යාපෘතිය

    ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ලෝක බැංකු ණය ආධාරයක් යටතේ 2010-2015 පස් අවුරුදු කාලසීමාව තුළ ක්‍රියාත්මක කෙරෙමින් පවතින පුරනැඟුම ව්‍යාපෘතිය යටතේ උතුරු සහ නැ‍ඟෙනහිර පළාත් හි පළාත් පාලන ආයතන 80ක් ආවරණය කෙරෙමින් ප්‍රාදේශීය සේවාවන් හා ප්‍රාදේශීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදු වේ. මෙම ව්‍යාපෘතිය සඳහා අතිරේක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා අරමුදල් මඟින් සිදු කෙරෙන සංරචකය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ඇ.ඩො. මිලියන 20ක ණය මුදලක් ලබා ගැනීම පිණිස ගිවිසුමකට එළඹීම සඳහාත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    07. ලෝක බැංකුවේ/ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ වාර්ෂික රැස්වීම සඳහා මුදල් ඇමතිතුමාගේ සහභාගිත්වය (2015 අප්‍රේල් මස 15‑18, වොෂින්ටන්)

    ඉහත රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් සහභාගි වී ඇති අතර, එම සංචාර‍යේදී මුදල් ඇමතිතුමා නිල මට්ටමේ සාකච්ඡා කිහිපයකට මෙන්ම ද්විපාර්ශ්වික මට්ටමේ රැස්වීම් කිහිපයකට ද සහභාගි වී ඇත. ලෝක ආර්ථික අභියෝග ජය ගැනීම කෙරෙහි සමුළුවේ අවධානය යොමුවී ඇති අතර, ලෝක වෙළඳපොළේ තෙල් මිලෙහි සිදු වූ අඩුවීම ලෝක ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කළ නමුදු ලෝක ආර්ථිකය තවමත් අවදානම් තත්ත්වයක පවතින බව එහිදී පෙන්වා දෙනු ලැබ ඇත. ඉහත රැස්වීමට සහභාගිවීමට සමගාමීව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින්, මැලේසියාව, ජපානය, සෞදි අරාබිය, කටාර් රාජ්‍යය සහ ඉන්දියාව යන රටවල ගරු මුදල් අමාත්‍යවරුන්ද ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ නිලධාරින්ද හමුවී මුදල් ඇමතිතුමා විසින් සාකච්ඡා පවත්වා ඇත. තවද, ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන, ආර්ථික සංවර්ධන හා ව්‍යාපාරික පරිසර දියුණුව පිළිබඳව එතුමන් විසින් ඇමෙරිකානු වාණිජ මණ්ඩලය හමුවේ කරුණු දක්වා ඇති බව ද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

     

    08. වියළි කලාපීය නාගරික ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය - වව්නියාව - පේරුආරු ජලාශ ඉදි කිරීම හේතුකොට ගෙන ඉඩම් අහිමි වීම මඟින් බලපෑමට ලක් වූ ජනතාව සඳහා විකල්ප ඉඩම් ලබා දීම

    ඉහත ව්‍යාපෘතිය වව්නියාව, මන්නාරම, හලාවත සහ පුත්තලම යන වියළි කළාපීය නගරයන්හි ජලසම්පාදනය සහ සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය යටතේ වවුනියාව - පේරුආරු ජලාශය ඉදි කිරීම හේතුකොට ගෙන ඉඩම් අහිමි වූ, පුද්ගලයින් 88 දෙනෙක් සඳහා ඔවුන් භුක්ති විඳින ලද ඉඩම් වෙනුවෙන් සම්පූර්ණ හිමිකම් සහිත ඔප්පු (Outright Grants) මඟින් විකල්ප ඉඩම් ලබාදීම පිණිස ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මැතිතුමා සහ නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    09. ගුණාත්මක සෞඛ්‍ය සත්කාරය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

    ශ්‍රී ලංකාව තුළ විවිධ මට්ටමේ සෞඛ්‍ය සේවා ආයතන විසින් ලබා දෙනු ලබන රෝගී සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය විවිධ වේ. රෝගී ආරක්ෂාව සහතික කිරීමත්, සෑම ස්තරයකම ප්‍රජාවන්ට සමාන හා ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා ප්‍රවේශ ලබා දීමත් තුළින් රෝගීන් තම ආසන්නයේ ඇති සෞඛ්‍ය සත්කාර ආයතන මඟහැර යාම වළක්වාගත හැකිය. මෙමඟින් ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අඩු වන අතර, ප්‍රාථමික මට්ටමේ සෞඛ්‍ය ආයතනවල සේවා උපයෝගිතාව වැඩි කරගත හැකි වේ. ඒ අනුව, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව තුළ රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ ආරක්ෂාව සහ සත්කාරවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    10. ග්ලයිෆොසෙට් (Glyphosate) වල් නාශකය ආනයනය හා භාවිතය සීමා කිරීම

    දිවයින පුරා නිදන්ගත වකුගඩු රෝගය වැළඳීම කෙරෙහි රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක භාවිතය හේතු කාරක විය හැකි බව මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්‍යාඥයින් විසින් පෙන්වා දී තිබේ. මේ අනුව හඳුනාගත් රසායනික පොහොර හා වල්නාශක වර්ග 4ක් ආනයනය හා භාවිතය රජය විසින් දැනටමත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. ඒවාට අමතරව, ග්ලයිෆොසෙට් වල්නාශකය ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ගනු ලැබ ඇති තීරණය ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    11. මහාමාර්ග අංශයේ දූෂණ විමර්ශන ඒකකයක් පත් කිරීම

    2011‑01‑01 දින සිට 2015‑01‑08 දක්වා වූ කාලපරිච්ඡේදය තුළ රජය විසින් මහාමාර්ග අංශයට විශාල වශයෙන් ආයෝජනය කිරීම් සිදු කර තිබෙන අතර එහිදී පරිපාලන, තාක්ෂණික, මූල්‍ය සහ අනෙකුත් ක්‍රියා පටිපාටිවල රජයට බරපතල අලාභ සිදුවිය හැකි අඩුපාඩු සිදු වී ඇත්දැයි නිශ්චය කිරීමටත්, එසේ සිදු වී ඇත්නම් ඊට වගකිවයුතු තැනැත්තන් අනාවරණය කර ගැනීමටත්, අනාගතයේ එවැනි දෑ ඇති නොවීම පිණිස අදාළ ක්‍රියා පටිපාටීන් වෙනස් කිරීම පිණිස සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන මහාමාර්ග අංශයේ දූෂණ විමර්ශන ඒකකයක් පත් කිරීම පිණිස මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    12. මඩකලපුව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම - දෙවන අදියර

    අබලන්ව අනතුරුදායක තත්ත්වයේ පැවති මඩකලපුව අධිකරණ සංකීර්ණය නැවත ඉදි කිරීමේ කටයුතු මේ වනවිට අවසන්ව ඇත. මෙම අධිකරණ සංකීර්ණයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා තවදුරටත් අවශ්‍ය පහසුකම් සැපයීම පිණිස ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    13. මෑතක නැවත පදිංචි කරන ලද අභ්‍යන්තරිකව අවතැන් වූ ජනතාවට පහසුකම් සලසා ලීමට අවශ්‍ය අමතර මුදල් ප්‍රතිපාදන

    අභ්‍යන්තරිකව අවතැන් වූ සියලු දෙනා සිය මුල් ගම්බිම්වල ආපසු පදිංචි කරවීම රජයේ ප්‍රතිපත්තිය වේ. මෙම පරමාර්ථය මුදුන්පත් කරගැනීම පිණිස යාපනය, ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්කවල ආසන්න වශයෙන් අභ්‍යන්තරිකව අවතැන් වූ පවුල් 2,175 ක් නැවත පදිංචි කරවීම සඳහා පහසුකම් සලසාලීම පිණිස රුපියල් මිලියන 160 ක මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    14. වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර්ජාතික ජාලයේ 12 වන මෙහෙයුම් කමිටු රැස්වීම හා සම්මන්ත්‍රණය

    'වී වගා බිම්වල ජලය හා පරිසර පද්ධති පිළිබඳ අන්තර්ජාතික ජාලය' 2004 වර්ෂයේදී පිහිටුවා ගනු ලැබූ අන්තර් ජාතික සහයෝගිතා සමුළුවක් වන අතර, වී වගා බිම්වල පාරිසරික පද්ධතියේ තිරසාරතාව පිළිබඳව අවධානය යොමු කරවමින් නිසි ජල කළමනාකරණයක් පවත්වා ගැනීම මුලික අරමුණ කර ගත් සංවිධානයක් වේ. මෙම අන්තර් ජාතික ජාලයේ සාමාජික රටවල් 17 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 12 වන මෙහෙයුම් කමිටු රැස්වීම හා සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ සත්කාරත්වයෙන් 2015 නොවැම්බර් මස පැවැත්වීම සඳහා වාරිමාර්ග අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    15. පාසල් සිසුන් සඳහා කිරි වීදුරුවක් ලබාදීම - 2015

    දියර කිරි ප්‍රවර්ධනය කිරීම, කිරි ගොවීන් දිරිමත් කිරීම හා දේශීය ආහාර රටාවන් හුරු කරවීමේ අරමුණ පෙරදැරිව ඉහත ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින් පාසල් ළමුන් සඳහා කිරි පැකට් ලබා දීම සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගම හරහා දියත් කරන ලදී. 2015 වර්ෂයේ නව අයවැය යෝජනා අනුව කිරි ලීටරයක ගැනුම් මිල රුපියල් 70/- දක්වා ඉහළ යාම සැලකිල්ලට ගෙන, අධ්‍යාපන අමාත්‍යාංශය, සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හා සීමා සහිත මිල්කෝ සමාගම අතර පවතින ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම පරිදි මිලි ලීටර් 150ක කිරි පැකට් එකක් රුපියල් 20/-ක සංශෝධිත මිල යටතේ මිල්කෝ සමාගමෙන් මිල දී ගෙන ඉහත ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    16. කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය අධීක්ෂණය සහ වාර්තා කිරීම සඳහා ලේකම්වරුන්ගේ කමිටුවක් පත් කිරීම

    මෙම ව්‍යාපෘතිය සමාලෝචනය කිරීම සඳහා පත් කර ඇති කමිටුවේ නිර්දේශ මත දැනට ඉදි කිරීම් කටයුතු අත්හිටුවනු ලැබ ඇත. මේ යටතේ හඳුනාගෙන ඇති අඩුපාඩු සහ ක්‍රියාවලි නිවැරදි කර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට අවසර ලබාදීමට ඇති හැකියාව සොයා බැලීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් යුතු ඉහළ නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya