මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2015.04.08

    අප්‍රේල් 09, 2015
     2015 - 04 - 08 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළඹුණු තීරණ
     
    ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) මඟින් හඳුන්වා දී ඇති විශේෂ ගමන් බලපත්‍රය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම
     
    ශ්‍රී ලංකාව ද සාමාජිකත්වය දරන ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානය (International Criminal Police Organization) මඟින් ජාත්‍යන්තර පොලීසියේ නිල රාජකාරිවලට අදාළව දේශ සීමා ඉක්මවා යන විමර්ශන කටයුතු ආදිය සඳහා විදෙස් ගමන්වල නිරත වන ජාත්‍යන්තර පොලීසියේ නිලධාරින්ට සහ නීතිය බලගන්වන නිලධාරින්ට කඩිනමින් වීසා ලබාගැනීමට හැකි වන පරිදි විශේෂ ගමන් බලපත්‍රයක් හඳුන්වා දී ඇත. දැනට මැලේසියාව, මාලදිවයින, පාකිස්තානය, නේපාලය, ඇ‍ෆ්ගනිස්ථානය, ලාඕසය, පිලිපීනය හා සිංගප්පූරුව වැනි ආසියානු රටවල් කිහිපයක් ද ඇතුළු ව ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානයේ සාමාජික රටවල් 72ක් මෙම විශේෂ ගමන් බලපත්‍රය පිළිගැනීමට ලක් කර ඇත. ඒ අනුව, ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානයේ ඉල්ලීම පරිදි එම විශේෂ ගමන් බලපත්‍රය පිළිගැනීමට අදාළව ගිවිසුමකට එළඹීමටත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබීම පිණිස පොලිස්පතිවරයාට බලය පැවරීමටත් මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වතු සේවකයන්ට ඉඩම් අයිතිය සමඟ සැබෑ නිවසක හිමිකාරිත්වය ලබා දීම සඳහා දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම
     
    රජයේ දින 100 වැඩසටහන මඟින් වතුකරයේ ජනතාව දැනට ජීවත්වන දුෂ්කර‍ ලයින් කාමර ජීවිතයෙන් මුදවා ගෙන ඔවුන්ට ඉඩම් අයිතිය සමඟ සැබෑ නිවසක හිමිකාරිත්වය ලබා දීමට පියවර ගන්නා බව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, අදාළ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව පරිදි එකී කාර්යය සඳහා අනුගමනය කළ යුතු බවට හඳුනාගත් පියවර ක්‍රියාත්මක කිරීමටත් වතු සේවකයන්ට පර්චස් 07 ක ඉඩම් කොටසක් ලබාදීමටත් ඒ සඳහා බැංකුවක් විසින් පිළිගත හැකි නීතිමය ලියවිල්ලක් ලබා දීමටත් විවිධ ආයතන විසින් ඉදිකර ප්‍රතිලාභීන්ට ලබා දෙන ලද එහෙත් පසුව නීති විරෝධි ලෙස තෙවන පාර්ශ්වයන්ට පවරා දුන් නිවාස නැවත භාර ගෙන එම නිවාස වන්දි ලබා දීමකින් තොරව වතු කම්කරු නිවාස සමුපකාර සමිතිවලට පවරා දීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පිළිකා වැළැක්වීමේ සහ පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
     
    මෑතකාලීනව ‍ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධාන රෝගයක් ලෙස පිළිකා රෝගය හඳුනා ගෙන ඇති අතර 1985 වසරේ දී පුද්ගලයන් 100,000 කට 37.6 ක් වූ පිළිකා රෝගීන් සංඛ්‍යාව 2005 වසර වන විට පුද්ගලයන් 100,000 කට 74.2 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගය ඉහළ යාමේ නැඹුරුවක් පෙන්නුම් කරයි. පියයුරු, මුඛය, ගලනාලය, ගැබ්ගෙල, පෙණහලු, තයිරොයිඩ්, මහා අන්ත්‍රය, අධෝ මාර්ගය, වසා ග්‍රන්ථි හා ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා සහ ලියුකේමියාව ශ්‍රී ලංකාව තුළ බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ග 10 වේ. පිළිකා පාලනය කිරීම සහ වැළැක්වීම බෝ නොවන රෝග වැළැක්වීමේ පුළුල් සංකල්පයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය සැලැස්ම - 2007-2016 මඟින් හඳුනාගෙන ඇත. ඒ අනුව, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ, පිළිකා මඟින් රෝගීවීම හේතු කොටගෙන මහජනතාවට ඇති වන ගැහැට අවම කිරීම සඳහා වන සියලු ක්‍රියාමාර්ග ඇතුළත් ශ්‍රී ලංකාවේ පිළිකා රෝගයට ගොදුරුවීම වැළැක්වීමේ හා පාලනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රමෝපායික සැලැස්ම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
     
    ලොව පුරා පවතින රෝග තත්ත්වයන් සඳහා ප්‍රධාන වශයෙන් දායක වන කරුණක් ලෙස මද්‍යසාර භාවිතය හඳුනාගෙන ඇති අතර පහළ සහ පහළ මැදි ආදායම් රටවලින් වාර්තා වන අකල් මරණ සහ ආබාධයන් සඳහා හේතු වන ප්‍රමුඛත ම අවදානම් සාධකය ලෙසද එය ලැයිස්තුගත කර ඇත. වාර්තා වන පරිදි ශ්‍රී ලංකාව තුළ පිරිමින් අතර සිරෝසීස් මරණ අනුපාතය 100,000 කට 33.4 ක් වන අතර එය ඒ පිළිබඳව ලොව ඉහළතම අනුපාතයද වේ. රටෙහි පවතින ඉහළ සිය දිවි නසා‍ගැනීම් සහ සිතාමතා සිදු කරගැනෙන ස්වයං හිංසනයන් සමඟ මද්‍යසාර දැඩිව බැඳී පවතියි. තවද පවුල් තුළ දක්නට ලැබෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සඳහා ද මෙය හේතුකාරකයක් වේ. එසේම මද්‍යසාර භාවිතය සහ ශ්‍රී ලංකාවේ පවතින දුප්පත්කම අතර සංකීර්ණ සබඳතාවක් ද පවතියි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සහ ජාතික මානසික සෞඛ්‍ය කමිටුව ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් මද්‍යාසාර පාලනය පිළිබඳ ඵලදායී ජාතික ප්‍රතිපත්තියක් තිබීමේ 
    අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර, ඒ අනුව, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ, ශ්‍රී ලංකාවේ මද්‍යාසාර භාවිතය පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අඩු වරප්‍රසාද සහිත දරුවන් සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ හදවත් සැත්කම් සිදු කිරීමේ විශේෂ වැඩසටහන
     
    උපතේ දී ම හෘදයේ දක්නට ලැබෙන ව්‍යූහමය ගැටලු ‘සහජ හෘද දෝෂ’ ලෙස හැඳින්වෙන අතර ශ්‍රී ලංකාව තුළ මේ වන විට වසරකට දරුවන් 2500 - 3000 ක් පමණ සහජ හෘද රෝග සහිතව උපත ලබන බවට ඇස්තමේන්තු කර ඇත. ඔවුන් අතරින් 2000 කට පමණ ශල්‍යකර්ම සිදු කළ යුතු වේ. මේ වන විට වාර්ෂිකව රෝගී දරුවන් 900ක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මෙවැනි ශල්‍යකර්මවලට භාජනය වන අතර එවන් ශල්‍යකර්ම සුළු සංඛ්‍යාවක් පමණක් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ත්, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී ත් සිදු කෙරේ. දැනට, රෝගී දරුවන් දහස් ගණනක් ශල්‍යකර්ම සඳහා වන පොරොත්තු ලේඛනවල සිටින අතර ඔවුන් අතරින් බොහෝ දෙනෙකු ශල්‍යකර්ම සිදු කිරීමට පෙරම මරණයට පත්වීම හෝ නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි සංකූලතාවලට ලක්වීම හෝ සිදු වේ. ඒ අනුව, දැනට හදවත් සැත්කම් සඳහා වන දීර්ඝ පොරොත්තු ලේඛනවල සිටින රෝගී දරුවන්ට අදාළ සැත්කම් කඩිනමින් සිදු කරගැනීම සඳහා ගත හැකි වඩාත්ම ඵලදායී පියවර වන රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ රොටරි සමාජය 
    හා අනුබද්ධ සංවිධානයක් වන “ගිෆ්ට් ඔෆ් ලයිෆ් ඉන්ටනැෂනල්” සංවිධානයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුව හදවත් සැත්කම් සිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    37 වන දුරස්ථ ගෝචර ග්‍රහණය (Remote Sensing) පිළිබඳ ආසියානු සමුළුව 2016 ඔක්තෝබර් - නොවැම්බර් මාස තුළ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබා දීම
     
    භූමිය මැනීම හා සිතියම්කරණය සඳහා නවත ම තාක්ෂණය යොදා ගැනීමට අදාළව පැවැත්වෙන ‘දුරස්ථ ගෝචර ග්‍රහණය පිළිබඳ ආසියානු සමුළුව’, දුරස්ථ ගෝචර ග්‍රහණය පිළිබඳ ආසියානු සංවිධානය සහ එම සමුළුවේ සත්කාරකත්වය දරන රට විසින් වාර්ෂික ව සංවිධානය කෙරෙන වැදගත් සමුළුවකි. එම සමුළුව දුරස්ථ ගෝචර ග්‍රහණ තාක්ෂණය (Remote Sensing Technology)සහ එහි භාවිතය වැඩිදියුණු කිරීම සඳහා ආසියා - පැසි‍ෆික් කලාපයෙහි රටවල්වල මාරුවෙන් මාරුවට පවත්වනු ලැබේ. ඒ අනුව, 37 වන දුරස්ථ ගෝචර ග්‍රහණය පිළිබඳ ආසියානු 
    සමුළුව 2016 ඔක්තෝබර් - නොවැම්බර් මාස තුළදී ශ්‍රී ලංකාවේ පැවත්වීම පිණිස ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    හම්බන්තොට වරායේ දෙවන අදියර සඳහා ඉඩම් පවරා ගැනීම
     
    හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ඉඩම් හෙක්ටයාර 491.5 ක් පමණ පවරා ගැනීම සඳහා හඳුනාගෙන ඇති අතර එම ඉඩම් වරාය සංවර්ධන කටයුතු සඳහා මෙන් ම වරාය ආශ්‍රිත කර්මාන්ත ඇති කිරීම සඳහා ද යොදාගැනීමට නියමිතය. පවරා ගැනීමට නියමිත එම ඉඩම්වල පවුල් 400 ක් පමණ දැනට පංදිචිව සිටින අතර ඔවුන්ට විකල්ප ඉඩම් හා වන්දි මුදල් ලබා දීම පිණිස වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාවට භූ‍ගෝලීය දර්ශකවල (Geographical Indications of Sri Lanka)ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම
     
    ශ්‍රී ලංකාවට පමණක් ම ආවේණික නිෂ්පාදන ලෙස පිළිගෙන ඇති ලංකා තේ, පිරිසිදු ලංකා තේ, ශ්‍රී ලංකා තේ, පිරිසිදු ශ්‍රී ලංකා තේ, ලංකා කුරුඳු, පිරිසිදු ලංකා කුරුඳු, ශ්‍රී ලංකා කුරුඳු, පිරිසිදු ශ්‍රී ලංකා කුරුඳු ආදියෙහි නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමත් එකී වෙළෙඳනාම ව්‍යාජ ලෙස යොදා ගැනීම නිසා රටට අත්වන අවාසිදායක තත්ත්වයන් මගහැරවීම සඳහාත් 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ අවශ්‍ය නියෝග නිකුත් කිරීමටත්, අදාළ සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලිබල ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා ලබා ගැනීම
     
    මෙම ව්‍යාපෘතිය සඳහා පත් කරනු ලැබ ඇති ව්‍යාපෘති කමිටුවේ නිර්දේශ පරිදි බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලිබල ව්‍යාපෘතියේ උපදේශක සේවා කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාල පරිශ්‍රයේ ඉදි කිරීමට යෝජිත රියැදුරු පුහුණු ධාවනපථය හා රථ නැවතුම
     
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන රියැදුරු බලපත්‍ර සඳහා ප්‍රායෝගික පරීක්ෂණ දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වනු ලබන අතර කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය වේරහැර කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරේ. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා මාසයකට අයදුම්පත් 10,000ක් පමණ වේරහැර කාර්යාලයට ලැබෙන අතර, දැනට එම ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ රියැදුරු පුහුණු පරීක්ෂාව මහාමාර්ගයේ දී සිදු කරනු ලැබේ. මෙම ප්‍රායෝගික පරීක්ෂණය මහාමාර්ගයේ පැවත්වීම ඉතා දුෂ්කර කටයුත්තක් වන අතර ඒ සඳහා ලෝකයේ අනෙක් රටවල් විසින් ඒ සඳහා වෙනත් දියුණු ක්‍රම භාවිත කරනු ලබයි. ඒ අනුව, රියැදුරු ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ධාවන පථයක් ඉදි කිරීම කඩිනමින් ඉටුකළ යුතු ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනා ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ භූතාන රාජකීය ආණ්ඩුව අතර ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම
     
    ඉහත අවබෝධතා ගිවිසුම මඟින් විදේශ ලේකම්වරුන්ගේ මට්ටමින් වඩාත් විධිමත් ආකාරයෙන් කොළඹ සහ තිම්පු අතර නිරන්තර ද්විපාර්ශ්වික උපදේශනයන් සඳහා යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අපේක්ෂා කෙරෙන අතර එහිදී දේශපාලනික, ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපනික සහයෝගිතාව ඇතුළුව අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු, කලාපීය හා අන්තර්ජාතික ගැටලු ආදිය පිළිබඳ ව අදහස් හුවමාරු කර ගැනෙනු ඇත. ඒ අනුව, භූතාන අග්‍රාමාත්‍ය ට්ෂෙරින්ග් ටොබ්ගේ මහතාගේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ භූතාන රාජකීය ආණ්ඩුව අතර ඉහත අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    විශ්වවිද්‍යාලයන්හි මහපොළ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර මුදල් ඉහළ නැංවීම
     
    මහපොළ ශිෂ්‍යත්වය 2015-07-01 දින සිට මාසයකට රුපියල් 5,000/- ක් දක්වා වැඩි කිරීමට 2015 අයවැය මඟින් යෝජනා කෙරුණු අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට ගැටලුවලින් තොරව අධ්‍යයන කටයුතුවල නිරත වීමට හැකි පරිසරයක් ගොඩනැඟීමේ අරමුණින් එම යෝජනාව 2015-05-01 දින සිට ක්‍රියාත්මක කිරීමටත් ශිෂ්‍යාධාර මුදලද එදින සිට රුපියල් 2,000/- සිට රුපියල් 2,500/- දක්වා වැඩි කිරීමටත් උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය සරත් අමුණුගම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තයට බහාලු දොඹකර මිල දී ගැනීම
     
    දකුණු කොළඹ වරාය තුළ ‘නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තය’(ECT) නමින් වරාය අධිකාරිය සතු බහාලු පර්යන්තයක් ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු ආරම්භ කර ඇත. එහි සිවිල් වැඩ නිමවීමත් සමඟ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බහාලු මෙහෙයුම් කරන දොඹකර මිල දී ගැනීමට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය
     
    අපවත් වී වදාළ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය කීර්ති ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අනුපමේය ආගමික, ශාසනික, සංස්කෘතික හා සාමාජීය මෙහෙවරක් ඉටු කළ ශ්‍රේෂ්ඨ ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් වන අතර, උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමටත් ආදාහන පූජෝත්සවය පැවැත්වෙන 2015 අප්‍රේල් මස 12 වන ඉරු දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාතික සමඟිය සඳහා කාර්යාංශයක් පිහිටුවීම
     
    ශ්‍රී ලාංකික අනන්‍යතාව සුරකිමින් සෑම පුරවැසියෙකුටම ආර්ථික, සමා‍ජයීය, සංස්කෘතික හා දේශපාලනික ක්ෂේත්‍රයන්හි සම අවස්ථා උදාකරලීම සහතික කිරී‍මේ දැක්මද සෑම ජන කොටසක් ම අන්‍යෝන්‍ය සහජීවනයෙන් හා සමඟියෙන් ජීවත් වෙමින් විවිධත්වයට ගරු කරන සමාජයක් බිහි කිරීමේ මෙහෙවරද පෙරදැරිව ශ්‍රී ලංකාව තුළ සාමකාමී හා කිසිදු ජන කොටසක් ප්‍රධාන සමාජ ප්‍රවාහයෙන් කොන් නොවූ (inclusive) සමාජයක් ගොඩනැඟීමේ අරමුණින් ජාතික සමඟිය සඳහා වන කාර්යාලයක් පිහිටුවීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya