ජූනි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පංච මහා දැක්මක් මේ අය-වැය තුළින් ඉදිරිපත් කළා Featured

    නොවැම්බර් 02, 2014

    අයවැය යෝජනා දෙවැනි වර කියවීමේදී රජය වෙනුවෙන් අවසන් කථාව කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියයි.


    විශේෂයෙන්ම මේ අය වැය  මේ වර්ෂය සඳහා හුදකලාව ඉදිරිපත් කරපු තනි අය වැයක් ලෙස සලකනවාට වඩා, 2006දී මහින්ද චින්තනයත්, මහින්ද චින්තන ඉදිරි දැක්මත් පදනම් කර ගෙන ඉදිරිපත් කරපු දස අවුරුදු සංවර්ධන සැලැස්ම එක විධියටම ක්‍රියාත්මක කිරීමෙන් 2020 නව උපාය මාර්ග ඔස්සේ කටයුතු කිරීම සඳහා තබපු අඩිතාලමක් ලෙස හඳුන්වන්න කැමතියි. විශේෂයෙන්ම 2005 වසරට පෙර‍ මේ අපේ ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් වුන දේශයක් ලෙස තමයි තිබුණේ. මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අවුරුදු 30ක් තිස්සේ තිබුණු ඒ කුරිරු ත්‍රස්තවාදය නිසා බියෙන් හා සැකයෙන් ජීවත් වුණා. මෙය එක ජාතියකට, එක ආගමකට, එක ප්‍රදේශයකට හෝ එක පන්තියකට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම මේ බිහිසුණු ත්‍රස්තවාදය නිසා භීෂණයෙන් හා බියෙන් ඇලී සිටි යුගයක තමයි ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ.


    ජන ජීවිතයේ, අපේක්ෂා සුන් වෙලා තිබිච්ච යුගයක තමයි ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ. ඒ වාගේම විශේෂයෙන්ම ජාතික සමගිය බිඳ වැටිච්ච වෙලාවක, එක් එක් ජාතීන් අතර ඉතාම කුරිරු ලෙස ඇන කොටා ගන්නා, මිනී මරා ගන්නා තත්ත්වයක තිබිච්ච යුගයක තමයි ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ. ඒ වාගේම විශේෂයෙන්ම 2004 සුනාමිය ඛේදවාචකයෙන් මුළු රටේ මුහුද තීරයෙන් තුනෙන් දෙකකට පමණ බලපාලා, එහි ජීවිත රාශියක් වාගේම දේපළත් විනාශ වෙච්ච අවස්ථාවක තමයි ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ.


    ඒ විතරක් නොවෙයි, මුළු මහත් යටිතල පහසුකම් සියල්ල අඩ පණ වෙලායි තිබුණේ. විශේෂයෙන්ම විදුලිය පැත්තෙන් බැලුවොත් දිනකට පැය අටක,දොළහක  පමණ කාලයක් විදුලිය ඇණ හිටීම් තිබෙන අවස්ථාවක වාගේම ගැමි ජනතාවට විදුලිය එක්තරා සිහිනයක් බවට පත් වෙලා තිබිච්ච යුගයක තමයි, ජනාධිපතිතුමා බලයට පත් වුණේ. ඒ වාගේම අපේ මාර්ග ජාලය කිසියම් ප්‍රතිසංස්කරණ කටයුත්තකට යටත් නොවී තිබුණු යුගයක ඒ වාගේම නව මාර්ග ඉදිකිරීම්, අධිවේගී මාර්ග, ගුවන් පාලම් වැනි දේවල් හුදෙක් වචනවලට පමණක් සීමා වෙලා තිබිච්ච යුගයක තමයි, ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ.


    මාර්ග අවහිරතා, ආරක්ෂක අවදානම් සාමාන්‍ය ජීවිතයේ කොටසක් ලෙස මේ රටේ තිබෙන අවස්ථාවක තමයි, ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ. ඒ වා‍ගේම රාජ්‍ය සේවයට එක්තරා විධියක සීමා කිරීම් පනවලා, විශ්‍රාම වැටුප් ක්‍රමය පවා අහිමි වෙන්න තිබිච්ච යුගයක වාගේම විශේෂයෙන්ම රටේ සියලු සම්පත් කොළඹට සීමා වෙලා තිබුණු යුගයක තමයි, ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ. මේ රටේ සියයට 70කට අධික ජනතාවක් වෙසෙන ග්‍රාමීය ජනතාවට තමන්ගේ යටිතල පහසුකම් -ඒ නගරයට සීමා වෙච්ච පහසුකම්- සියල්ල අහිමි වෙලා තිබෙන අවස්ථාවක තමයි, ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ.


    මේ රටේ ජනතාවට අවශ්‍ය සියලු දේවල් පිට රටින් ගෙනෙන, එහෙම නැත්නම් පිට රටින් නැව එන තුරු බලා‍ ඉන්න, අපේ ගොවියාගේ නිෂ්පාදනවලට නිසි තැනක් -වෙළෙඳ පොළක්- නැතුව, ඒ සඳහා දිරි ගැන්වීමකින් තොරව, "සියලු දේ පිට රටින්" කියන ප්‍රතිපත්තිය මත ක්‍රියා කරන අවස්ථාවක තමයි,අතිගරු ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ. මෙවැනි අවස්ථාවක මේ රට භාර ගන්න කොට තව බොහෝ දේවල් සිද්ධ වෙලා තිබුණා.


    කර්මාන්ත ක්ෂේත්‍රයේ පැරණි ශ්‍රී ලාංකිකයන් තුළත් තිබිච්ච අත් යන්ත්‍ර පේෂ කර්මාන්තයේ සිට දැවැන්ත කර්මාන්ත ශාලා රාශියක් ර‍ටට අහිමි වෙලා තිබිච්ච යුගයක තමයි, ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ. ඒ වාගේම සෞඛ්‍ය, අධ්‍යාපනය වාගේ මානව සම්පත් සියල්ලම ආයෝජනයකින් තොරව කඩාකප්පල් වෙන ස්ථානයක තමයි තිබුණේ. ඒ වාගේම බොහෝ සහනාධාර ජනතාවට අහිමි කරලා තිබෙන යුගයක තමයි, ජනාධිපතිතුමා මේ රට භාර ගත්තේ.


    ජනාධිපතිතුමා මේ දේශයට නව ‍දැක්මක්, නව නායකත්වයක් ලබා දීමට කටයුතු කළා. විශේෂයෙන්ම එතෙක් පැවති ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට "මහින්ද චින්තන" දේශීය විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා, "පුද්ගලයා, පවුල, ගම සහ රට" කියන තේමාව යටතේ ජනාධිපතිතුමා මේ "මහින්ද චින්තන" ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නැඟුවා. මෙහිදී විශේෂයෙන්ම, ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මේ වැඩ පිළිවෙළ තුළ, 2020 දක්වා සහ ඉන් ඔබ්බට ගෙන යාම සඳහා  "පංච මහා දැක්මක්" මේ අය වැය තුළ ඉදිරිපත් කරලා තිබෙනවා.


    ඒ පංච මහා දැක්ම ඉදිරිපත් කරන්නට පෙර, මේ වසර 9ක කාලය තුළ ගෙන ගිය වැඩ පිළිවෙළ ගැන පැහැදිලි කළ යුතුව තිබෙනවා.  විශේෂයෙන්ම,පුද්ගලයා දියුණු කිරීම, ඔවුන්ව ශක්තිමත් කිරීම සඳහා විවිධ වැඩ පිළිවෙළවල් ආරම්භ කර තිබෙන අතර, මවු කුසේ සිටින වෙලාවේ ඉඳලා අවසානය දක්වාම, පුද්ගලයා නඟා සිටුවීමට කටයුතු කරලා තිබෙනවා.


    ළමා හා මාතෘ සායන දියුණු කිරීම තුළින්, ඒ වාගේම -යම් කිසි දරුවෙක් පිළිබඳ අනාගතය සුරක්ෂිත කිරීමට නම්- ඒ දරුවා පිළිසිඳ ගත්ත දවසේ සිට ආරක්ෂා කළ යුතුයි,  කියන වෛද්‍ය මතයක් තිබෙනවා. ඒ මතය උඩ, පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් දීලා, ඔවුන්ට ගමනා ගමන පහසුකම් දීලා, ඒ මවුවරුන් ආරක්ෂා කිරීමට, පවුල් සෞඛ්‍ය සේවය අපි ශක්තිමත් කළා.


    අද ගම්වල තිබෙන ළමා හා මාතෘ සායන, මේ රටේ පමණක් නොව ලෝකයේ ඕනෑම දියුණු රටක තිබෙන පහසුකම් සහිත ස්ථාන බවට පත් කරලා තිබෙනවා.  ඒ වාගේම, ඒ අයට ත්‍රිපෝෂ වැනි ද්‍රව්‍ය ඇතුළත් පෝෂණ මල්ලක් ලබාදීමේ ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ, අනාගතයේදී මේ රට භාර ගන්නට සිටින දරුවන් මවු කුසේ සිට ආරක්ෂා කර ගෙන, විශේෂයෙන්ම මාතෘ හා ළදරු මරණවලින් තොර රටක් බවට මේ රට පත් කරන්නටයි. දැන් අපි ඒ ඉලක්කයට ළඟාවෙමින් තිබෙනවා.


    ළදරුවා ඉපදුනාට පස්සේ ආරක්ෂා කර ගන්නට, දිගටම ඒ සෞඛ්‍ය සේවාවන් සපයමින්, සෞඛ්‍ය සායන පවත්වමින්, ත්‍රිපෝෂ හා පෝෂණ වැඩ සටහන් දියත් කරනවා වාගේම, මෙවර අය වැයෙන් ළදරු කිරි පිටි මිල අඩු කිරීම තුළින්, එය තවත් ශක්තිමත් කරලා තිබෙනවා.


    දරුවන් පූර්ව අධ්‍යාපන ලැබීමේදී, අද ලෝකයේ වාගේම, ශ්‍රී ලංකාවේත් පෙර පාසැල්වලට යන ළමයින් සංඛ්‍යාව එන්න එන්නම වැඩි වී ගෙන යනවා. එය අද අත්‍යවශ්‍ය දෙයක් ලෙස, අධ්‍යාපන විශේෂඥයින් පමණක් නොවෙයි, සෞඛ්‍ය සේවයේ විශේෂඥයින් පවා පිළිගෙන තිබෙනවා.


    පූර්ව පාසල් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා රජය විශාල පියවරවල් රාශියක් අර ගෙන තිබෙනවා. මේ සඳහා රජයට අනුබද්ධ, ප්‍රාදේශීය සභාවලින් පවත්වා ගෙන යන පෙර පාසල් පමණක් නොවෙයි, මුළු මහත් පෞද්ගලික අංශයෙන් ස්වයං රැකියා ලෙස ආරම්භ කර තිබෙන පෙර පාසල්වලට පවා,ඒවා දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන අතර, ඒවායේ ඉගෙන ගන්නා අඩු ආදායම්ලාභී දරුවන්ට දියර කිරි ලබා දීමේ වැඩ සටහන ආරම්භ කරලා, මේ අය වැයෙන් එය තවත් පුළුල් කරලා තිබෙනවා.


    දේශීය කිරි පිටි නිෂ්පාදනය සීමා වෙලා තිබෙනවා කියලා විපක්ෂයෙන් කියනවා අහගෙන හිටියා. නමුත්, නෙස්ලේ ආයතනයත් අද තමුන්ගේ කිරි පිටි සියල්ල නිෂ්පාදනය කරන්නේ දේශීය ගොවියන්ගේ කිරි පාවිච්චි කරලාය කියන එක මම මේ අවස්ථාවේදී ආඩම්බරයෙන් සඳහන් කරනවා.


    ඒ වාගේම පාසල් දරුවන්ට අපි මේ අය වැයෙනුත් විශාල ශක්තියක් ලබා දීලා තිබෙනවා. දීර්ඝ කාලීනව සෑම අය වැයකින්ම ඒ සඳහා අඩි තාලම දමා තිබුණා. විශේෂයෙන්ම 5වන වසරේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රමාණය 25,000 දක්වා වැඩි කිරීමත්, ඒ වාගේම ඒ ශිෂ්‍යාධාරය රුපියල් 1,500 දක්වා වැඩි කිරීමත් මෙවර අය වැයෙන් අපි කළා. ඒ වාගේම ළමා මිතුරු පාසල් 5,000 දියුණු කිරීම තුළින් ගම්වල තිබෙන පාසල් ඇතුළුව විශේෂයෙන්ම ප්‍රාථමික පන්ති පවත්වන පාසල් "ළමා මිතුරු පාසල්" බවට පත් කරන්න අවශ්‍ය පරිසරය සකස් කිරීමට මේ රජය පසු ගිය අවුරුදු දෙක, තුන තුළ ක්‍රියා කළා. ඒ වාගේම වැසී යන පාසල් 1,250ක් වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපති කාර්යාලය මඟින් විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවා ඒ පාසල් දියුණු කිරීමට අවශ්‍ය විශේෂඥ ගුරුවරු ලබා දීම තුළින් ඒ පාසල් අද ඒ තර්ජනයෙන් ඉවත් වෙලා. එදා 9,800 ගණනකට අඩු වෙලා තිබුණු පාසල් සංඛ්‍යාව අද 10,200 ඉක්මවා යන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අද සෑම පාසලකම සිටින සිසුන්ගේ සංඛ්‍යාවට, ගුරුවරුන්ගේ සංඛ්‍යාවට අවශ්‍ය වන වැසිකිළි කැසිකිලි සියල්ල ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව; යුනෙස්කෝ ආයතනයේ ප්‍රමිතීන්ට අනුව අපි සියලු පාසල්වලට ලබා දීලා තිබෙනවා.


    තාක්ෂණය හා විද්‍යාව පදනම් කර ගත් ආර්ථිකයක් බිහි වන කොට එයට අවශ්‍ය මානව සම්පත සපයන්න දරුවන් බිහි කිරීම සඳහා මහින්දෝදය පාසල් 1,000ක් මේ වන කොට රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වාගේම ඊට අනුබද්ධව තවත් තාක්ෂණ විද්‍යාගාර 250ක් සහිත පාසල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් මේ වන කොට ඉදි වෙමින් පවතිනවා. මෙවර අය වැයෙන් ඒ සඳහා අතිරේක ප්‍රතිපාදනත් වෙන් කරලා තිබෙනවා. මොකද, මෙයට මානව සම්පතත් අවශ්‍ය නිසා. ඒ සඳහා පාසල්වලට‍ භෞතික සම්පත් පමණක් සෑහෙන්නේ නැහැ. මානව සම්පතත් අවශ්‍යයි. විද්‍යාව,ගණිතය, ඉංග්‍රීසි වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුරුවරු අවශ්‍යයි. විශේෂයෙන්ම ගම්බද පාසල්වලට. ඒ සඳහා ගුරු සහායකයින් 50,000ක් බඳවා ගැනීමට මේ අය වැයෙන් මුදල් වෙන් කරලා තිබෙනවා.


    රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට, ග්‍රාමීය මට්ටමෙන් සේවය කරන ග්‍රාම සේවක නිලධාරීන්ට, කෘෂි පර්යේෂණ නිලධාරීන්ට, දිවි නැගුම සංවර්ධන නිලධාරීන්ට, ආර්ථික සංවර්ධන නිලධාරි ඇතුළු ක්ෂේත්‍රයේ වැඩ කරන පවුල් සෞඛ්‍ය නිලධාරියන්ට පා පැදි දීම පසු ගිය අය වැයෙන් ක්‍රියාත්මක කළා. මෙවර අය වැයෙන් පාසල් ගුරුවරුන්ටත් යතුරු පැදි ලබා දීමට කටයුතු කිරීම ගුරුවරුන්ට තවත් දිරිගැන්වීමක් වෙනවා.


    ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය ස්ථාපිත කිරීම තුළත් ඒ වාගේම විශේෂයෙන්ම පරිපාලනය විමධ්‍යගත කිරීමෙන් - අපි දන්නවා, සමහර ගුරුවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය ලබා ගන්න බැරුව, ඒ කලාප කාර්යාලයෙන් ඒක සහතිකකර ගැනීමට නොහැකිව විශාල පිරිසක් ඒ වාර්ෂික වැටුප් වර්ධකය නොලැබී ඉන්න අවස්ථා තිබෙනවා. ඒ සියල්ල විමධ්‍යගත කරලා අද විදුහල්පතිවරුන්ට ඒ බලය ලබා දීමට කටයුතු කරලා තිබෙනවා.


    සෑම පාසලකට ක්‍රීඩා උපදේශකයෙක් පත් කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න දරුවෙක් අපේ රටට බිහි කිරීම සඳහා අවශ්‍ය කටයුතු කර තිබෙන අතර, පාසල් දරුවන් වෙනුවෙන් වෑන් රථ සඳහා තිබෙන බද්ද අඩු ‍කරලා ඔවුන්ට ආරක්ෂිතව ගමන් කිරීමට ‍අවශ්‍ය පහසුකම් දෙනවා. ඒ වාගේම විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවලට අලුතින් යන ගුරුවරුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් දියුණු කිරීමටත් මෙවර පළාත් සභා සමඟ විශේෂ ඒකාබද්ධ වැඩ පිළිවෙළක් දියත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා තිබෙනවා.


    ගුරුවරුන්ගේ දැනුම වර්ධනය කර ඔවුන්ගේ සේවාව ඉහළ තත්ත්වයකට ගෙනෙන්න මහරගම අංග සම්පූර්ණ ගුරු අභ්‍යාස විද්‍යාලයක් ඇති කරන්න කටයුතු කිරීමටත්, සියලු ගුරු අධ්‍යාපන වැඩසටහන් නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් මෙවර අය වැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. ඒ විශේෂයෙන්ම කළමනාකරණ හා ව්‍යවසායකත්ව අධ්‍යාපන පීඨයක් ද, තාක්ෂණවේදී විද්‍යා පීඨයක් ද මීපේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ඇති කිරීම මම හිතන්නේ අත්‍යවශ්‍ය කටයුත්තක්. මහින්දෝදය විද්‍යාගාර හා තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීමෙන් එහි නියම ප්‍රයෝජනය ගන්න නම් අපට ඒ සඳහා සුදුසු ගුරුවරු අවශ්‍යයි. එම නිසා ඒ කටයුත්ත ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තිබෙනවා.


    සාමාන්‍ය දරුවා පමණක් නොවෙයි, අද ආබාධිත දරුවන් විශාල පිරිසක් ඕනෑම සමාජයක ජීවත් වෙනවා. පවුලක ආබාධිත දරුවෙක් ඉපදුනොත්, එම දරුවා විශේෂයෙන්ම පවුලේ එදිනෙදා කටයුතු සඳහා බාධාවක් වෙන්න ඉඩ තැබිය යුතු නැහැ, විශේෂයෙන්ම නොසලකා හරින කොටස් පිළිබඳව මෙවර ජනාධිපතිතුමා අවධානය යොමු කරලා මේ ආබාධිත දරුවන් වෙනුවෙන් විශේෂ ගමන් දීමනාවක් ලබා දීලා, ප්‍රවාහන ගාස්තුව රජය විසින් දරා,ඒ සඳහා විශේෂ වරප්‍රසාද දෙනවා වාගේම ඔවුන්ට විශේෂ අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනය සඳහා ඒ තිබෙන පාසල්වලට හා එම පාසල්වල ගුරුවරුන්ට දිරි ගැන්වීමක් ලබා දීමට කටයුතු කිරීම අගය කළ යුතු වෙනවා.


    පිරිවෙන් අධ්‍යාපනය සඳහා මේ අය වැයෙන් පමණක් නොවෙයි, පසු ගිය අය වැය සියල්ලගෙන් වාගේ විශාල සේවාවක් ඉෂ්ට වුනා. එදා, 2006 වර්ෂයේදී 55,292ක් වුණු ශිෂ්‍ය සංඛ්‍යාව 2013 වර්ෂය වෙන කොට 66,435ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ගිය වර්ෂයේ විශේෂයෙන් පළමුවැනි වතාවට සෑම පිරිවෙනකට රුපියල් ලක්ෂ 5ක් ලබා දුන්නා. එම මුදල මේ අය වැයෙන් දෙගුණ කරලා තිබෙනවා. ඒ වාගේම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකට දෙනු ලබන දීමනාව ගිය අය වැයෙන් රුපියල් 15ක් දක්වාත්, අනිකුත් ශිෂ්‍යයන් සඳහා දිනකට රුපියල් පහ බැගිනුත් ලබා දීමට කටයුතු කළ නිසා පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් වෙලා තිබෙනවා.


    සෑම ග්‍රාම නිලධාරි වසමකම නැණසල ඇති කිරීම තුළින්  නව ලෝකයේ ප්‍රවණතාව සඳහා අපේ අනාගත දරුවන් හා සමාජය හුරුපුරුදු කරලා, ඒ දැනුම දියුණු කිරීමට කටයුතු කිරීම අප අගය කරන්න ඕනෑ. අධ්‍යාපනය කියන විෂයයට අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයෙන් පමණක් නොවෙයි, මේ සෑම අංශයකින්ම මුදල් වෙන් කර තිබෙනවා. කාර්මික හා තෘතීයික අධ්‍යාපනය සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ලක්ෂය දක්වා වැඩි කිරීමටත්, ඒ වෙනුවෙන් ශිෂ්‍යත්ව 50,000ක් ලබා දෙන්නත්, එම එක් ශිෂ්‍යයෙකුට මසකට දෙනු ලබන ශිෂ්‍යාධාරය රුපියල් 3,000 දක්වා වැඩි කරන්නත් මෙම අය වැය තුළින්‍ යෝජනා කර තිබෙනවා.


    උසස් අධ්‍යාපනය වෙනුවෙනුත් විශාල මුදල් ප්‍රමාණයක් සෑම අය වැයකින්ම වෙන් කර තිබෙනවා. ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජය උසස් අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කළා; ඒ ප්‍රශ්න විසඳුවා. නේවාසිකාගාර, විවිධ අධ්‍යාපන පීඨ ආදිය සඳහා විටින් විට මුදල් ලබා දීලා, ඒ අංශය ශක්තිමත් කිරීමට කටයුතු කළා. මෙවර අය වැයෙන් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 4,000 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. විශ්වවිද්‍යාලවල නව නේවාසිකාගාර ඉදි කිරීම, නව අධ්‍යාපන පීඨ ආරම්භ කිරීමටත් යෝජනා කර තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු හා තාක්ෂණ පීඨයක්, කැලණිය විශ්වවිද්‍යාලයේ තොරතුරු හා තාක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවමින් විශ්වවිද්‍යාල විෂය ධාරාව පුළුල් කිරීමට අරමුදල් යොදවා තිබෙනවා. සබරගමුව විශ්වවිද්‍යාලයේ පශු සම්පත් හා කෘෂි කාර්මික අංශය, රුහුණ විශ්වවිද්‍යාලයේ සාගර සම්පත්, වෛද්‍ය හා තොරතුරු තාක්ෂණය, දියවැඩියා රෝග පර්යේෂණ අංශය වැනි ඒවා දියුණු කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. පරීක්ෂණ පුළුල් කරලා, සිසුන් සංඛ්‍යාව වැඩි කරලා, විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල දීමනා වැඩි කිරීම තුළින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත සහ භෞතික සම්පත් දියුණු කිරීම සඳහා මෙම අය වැයෙන් ක්‍රියා කර තිබෙනවා.


    කිසිම ආණ්ඩුවකින් අවධානය යොමු නොවුණු පැත්තක් කෙරෙහි මෙවර අය වැය ලේඛනයෙන් අවධානය යොමු කර තිබෙනවා. දරුවෙක් අධ්‍යාපනය අවසන් කරලා රැකියාවකට ගියාට පසුව ඒ අධ්‍යාපනය එතැනින් නතර වන ස්වභාවයක් -එවැනි ප්‍රතිපත්තියක් -  යටතේ තමයි මීට කලින් පැවැති සෑම රජයක් කටයුතු කළේ. නමුත්, ප්‍රථම වතාවට දැනට රැකියාවේ යෙදෙන පිරිසගේ දැනුම හා කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා, ඒ අයට ඉහළට යන්න මඟ සැලසීම සඳහා ලෝකයේ අනික් දියුණු රටවල කරන ක්‍රමවේදයම අනුගමනය කරමින් රජයේ මැදිහත්වීම මෙවර අය වැයෙන් ඉහළින්ම පෙන්නුම් කර තිබෙනවා.

     
    පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන් සඳහා ප්‍රවාහන අධ්‍යාපන ආයතනයක් බිහි කිරීම සහ ඒ කටයුතු දියුණු කිරීම සඳහා දැනට සුළු වශයෙන් තිබෙන අංශය පවා ශක්තිමත් කිරීම කෙරෙහි මේ අය වැය තුළින් අවධානය යොමු කර තිබෙනවා. වැවිලිකරුවන්ට සහ ඉතා කුඩා වතු හිමියන්  පුහුණු කිරීම සඳහා වැවිලි විද්‍යා ආයතනයක් පිහිටුවීමටත් යෝජනා කර තිබෙනවා. එමෙන්ම ධීවර ක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු සඳහා සාගර විශ්වවිද්‍යාලය දියුණු කිරීමටත් කටයුතු සකස් කර තිබෙනවා. විදේශ රැකියාවල නියුතු වීමට උනන්දුවක් දක්වන ජනතාවගේ නිපුණතා තවදුරටත් දියුණු කිරීම සඳහා  සඳහා බදුල්ල, හම්බන්තොට, කුරුණෑගල, වවුනියාව, අම්පාර වැනි දිස්ත්‍රික්කවල වෘත්තිය අධ්‍යාපන ආයතන පහක් දියුණු කිරීම සඳහාත් මෙවර අය වැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.                                                


    ක්‍රීඩා අංශය දියුණු කිරීම සඳහා නවීන ක්‍රීඩාගාර සහිත ක්‍රීඩා පහසුකම් දියුණු කිරීම සහ පුහුණු කටයුතු කිරීමත්, ඒ සඳහා ක්‍රීඩා අධ්‍යාපන ආයතනය දියුණු කිරීම සඳහාත්, විශේෂයෙන්ම ග්‍රාමීය පාසල්වල තරුණ තරුණියන් ඇතුළු සියලු තරුණ තරුණියන් ආසියානු තරණ ක්‍රීඩා උළෙල සඳහා පුහුණු කිරීමේ ද්වීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වාගේ ක්ෂේත්‍ර කෙරෙහිත් මෙවර අය වැයෙන් අවධානය යොමු කරලා තිබෙනවා.


    තලවකැලේ තේ පර්යේෂණාගාරය, අගලවත්ත රබර් පර්යේෂණාගාරය, පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය, ජාතික විද්‍යා මධ්‍යස්ථානය, නැනෝ තාක්ෂණ උද්‍යානය, පරමාණු බලශක්ති ආයතනය සහ ජාතික පර්යේෂණ සභාව වැනි හැම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරමින් විද්‍යාව හා තාක්ෂණ අංශයට මෙවර අය වැයෙන් විශාල අවධානයක් හා මුදල් ප්‍රතිපාදන ලබා දීලා තිබෙනවා. මම මේ ක්ෂේත්‍ර ටික දීර්ඝ වශයෙන් සඳහන් කළේ,අධ්‍යාපනය දියුණු කිරීම තුළින්, විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීම තුළින්  2020 සඳහා, එහෙම නැත්නම් ඉන් ඔබ්බට මේ රට ගෙන යාම සඳහා මේ දේශයේ අවධානය යොමු කිරීම සඳහායි. විශේෂයෙන්ම දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැඟීම සඳහා අවශ්‍ය මානව සම්පත සැපයීම සඳහා මූලික අඩිතාලම සකස් කරලා තිබෙනවා කියන කාරණය මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනෑ.


    සාමය උදා කිරීම තමයි ජනාධිපතිතුමාගේ පළමුවැනි ඉලක්කය වුණේ. ඒ තුළින් රටට අහිමි වෙලා තිබුණු භූමියෙන් තුනෙන් එකක් සහ මහ මුහුදින් තුනෙන් දෙකක් ලැබුණා. වාගේම මේ රටේ සියලු දෙනාට භියක්, සැකයක් නැතිව ජීවත්වීමේ අයිතිය ලැබුණා. ඒ අපේක්ෂාව සඳහා ඒ පළමුවැනි කාලය තුළ, පළමුවැනි වර්ෂ කිහිපය තුළ විශාල ආයෝජනයක් කරන්නට සිදු වුණා. ජනාධිපතිතුමා ඒ ආයෝජන කරන ගමන්ම, මූලික සැලැස්මක් ඇතිව මේ රටේ යටිතල පහසුකම් දියුණු කිරීමේ මූලික පියවර ගත්තා. ත්‍රස්තවාදය පරාජය කරලා ඒ ජයග්‍රහණය ලැබූ වහාම ජනාධිපතිතුමා කිව්වේ මොකක්ද? "දැන් ඉතින් රට හදමු" කියලා. ජනාධිපතිතුමා දැක්කා, මේ රටේ මූලික යටිතල පහසුකම් දියුණු කරන්නේ නැතිව මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ කියලා. ඉන් පසුව ජනාධිපතිතුමා විශාල ලෙස රාජ්‍ය ආයෝජනය වැඩි කළා. එතැනදී පුද්ගලයා, පවුල, ගම සහ රට කියන තේමාව යටතේ ඒ ආයෝජනය කළා.


    ප්‍රථමයෙන්ම පුද්ගලයා දියුණු කිරීම සඳහා දිවි නැඟුම පදනම් කරගෙන, විශේෂයෙන්ම ජීවනෝපාය මාර්ග ප්‍රසාරණය කිරීම සඳහා සෑම අංශයකින්ම කටයුතු කළා. විශේෂයෙන්ම ස්වයං රැකියා ඇති කිරීම, පෞද්ගලික අංශයේ රැකියා ඇති කිරීම, රාජ්‍ය සේවය පුළුල් කිරීම කළා.  විශේෂයෙන්ම 2003 වර්ෂයේ රාජ්‍ය සේවක සංඛ්‍යාව 6,33,729යි. 2014 වර්ෂය වන විට එය 12,98,529 දක්වා වැඩි වෙලා. මෙය සියයට 84.14ක පමණ වැඩිවීමක්. විශේෂයෙන්ම මේ බඳවා ගැනීම් හැම ක්ෂේත්‍රයකම සිද්ධ වුණා. සැලසුම්, පරිපාලන, අධ්‍යාපන පරිපාලන, ඉංජිනේරු, ගණකාධිකාරී, වෛද්‍ය, හෙදි වැනි අංශ. හෙදියන් 28,365ක් පසු ගිය කාලය තුළ රාජ්‍ය සේවයට ඇතුළත් වුණා.  ගුරුවරුන් 1,12,662ක්, සංවර්ධන නිලධාරීන් 88,069ක්,කළමනාකරණ සහකාරවරුන් 20,759ක් ආදී වශයෙන් 5,93,326ක් වැනි විශාල ප්‍රමාණයකින් පසු ගිය කාලය තුළ රාජ්‍ය සේවය වර්ධනය වුනා. ඒ හා සමානව පෞද්ගලික අංශයේත් වැඩිවීම නිසා තමයි අද මේ රටේ සියයට 96.5ක් වැනි ප්‍රමාණයක් රැකියාවල නියුක්ත වන්නේ.


    රැකියා සුරක්ෂිතභාවයත් ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ වන විට අහිමි වෙලා තිබුණු විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත ඇති කරලා,  ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය තව තවත් අංශවලට පුළුල් කිරීම තුළින් රැකියාවල සුරක්ෂිතභාවය ආරක්ෂා කළා. ඒ වාගේම පෞද්ගලික අංශයේ රැකියා බිහි කිරීමට, ඔවුන්ට දිරිගැන්වීම් කිරීම තුළින් කටයුතු කළා.


    පුද්ගලයා ඉලක්ක කළ තවත් දෙයක් තමයි, ආහාර සුරක්ෂිතභාවය. ආහාර සුරක්ෂිතභාවයකින් තොරව රටකට, විශේෂයෙන්ම පවුලකට, පුද්ගලයකුට තමන්ගේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි විවිධ වැඩ පිළිවෙළවල් තුළින් ආහාර සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වාගේම "දිවි නැඟුම" සහ පුද්ගලයා ඉලක්ක කර ගෙන නිවාස ලබා දීම. මෙය වතුවලට මෙන්ම අඩු ආදායම් ලබන නාගරික ජනතාවට, විශේෂයෙන්ම සමෘද්ධිලාභීන්ට, රට විරුවන් ඇතුළු හැම ක්ෂේත්‍රයකට ලබා දීමට කටයුතු කරනවා වාගේ විදුලිය, දුරකථන පහසුකම් සැපයීම තුළින් මේ අංශවල විශාල දියුණුවක් ඇති වෙලා තිබෙනවා.


    වසර 2003 - 2004  යතුරු පැදි තිබුණේ 1,010,344යි. අද  2014 අගෝස්තු වන විට 2,852,180ක් දක්වා යතුරු පැදි ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා.   2005දී  2,527,380ක් වූ මුළු වාහන සංඛ්‍යාව අද වන විට 532,655ක් දක්වා වැඩි වෙලා තිබෙනවා.


    දිවි නැගුම සඳහා අවශ්‍ය කරන ශුද්ධ මූල පහසුකම් සැපයීමට  පුළුල් බැංකු ජාලයක්, එහෙම නැත්නම් ශුද්ධ මූල ආයතන ශක්තිමත් කිරීමට ද කටයුතු කරනවා.   මෙවර අය වැයෙන්  බදු රහිත ඉඩම් ලබා දීමට ගත්ත පියවර නිසා මෙතෙක් කල් ඉඩම් කැබැල්ලක් අහිමි වෙලා  තිබුණු විශාල පිරිසකට ඉඩම් ලැබෙනවා.  මෙතෙක් කල් පිට රට ගොවියාට ගිය, පිට රට ධීවරයාට ගිය මුදල් මේ රටේ ජනතාවට, ගොවියාට, ධීවරයාට නිෂ්පාදකයාට ලැබෙන විධියට ඒවා මෙහි නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කළා.  මේ සඳහා විවිධ දිරි ගැන්වීම්  පසු ගිය කාලය තුළම අපි ලබා දුන්නා.


    ස්වයං රැකියා පුළුල් කිරීම, කාන්තා ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම,  කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා සහතික මිලක් ලබා දීම සහ අළෙවි කටයුතු ප්‍රවර්ධනය කිරීම ද ඒවාගේම ඉදිකිරීම්, සංචාරක, තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රවල රැකියා අවස්ථා පුළුල් කිරීම තුළින් ඉහළ ආදායම් අවස්ථා ලබාදීමට කටයුතු කරලා තිබෙනවා.  හැකි සෑම අවස්ථාවක පාරිභෝගිකයාට හිරිහැරයක් නොවන්න වී කිලෝවක මිල වැඩි කළා.  මෙවර වී කිලෝව රුපියල් 34 ඉඳලා රුපියල් 40ට වැඩි කිරීම තුළ  ග්‍රාමීය ආර්ථිකයට මුදල් සැපයීම තවත් පුළුල් කරලා තිබෙනවා.   ඒ වගේම අල, ලූනු, වියලි මිරිස්,බඩ ඉරිඟු සඳහාත් සහතික මිලක් නියම කිරීමට ද කටයුතු කළා.  මේ සඳහා විවිධ අවස්ථාවල රජය බදු පැනවීම්,  තහනම් කිරීම් ආදිය සිදු කළා. ඒ වාගේම  බීජ, පොහොර, දැනුම ලබා දෙමින් හැම වෙලාවේම මෙතෙක් කල් පිට රටින් ගෙනාපු සියලු දේවල් මෙරට   වගා කර ගැනීම සඳහා දිරි ගැන්වීම් රාශියක් ගොවි ජනතාවට ලබා දීමටත් කටයුතු කළා.


    ග්‍රාමීය ආර්ථිකයට ලැබුණු ආදායම කොපමණද කියලා සඳහන් කිරීම වටිනවා.  2005 දී ගොවියාට රතු ලූනු සඳහා ගොවිපොළේ ලැබුණේ රුපියල් 38.59යි.  අද ඒක රුපියල් 124.27 දක්වා වැඩි වෙලා තිබෙනවා.  මුං ඇට සඳහා එදා ගොවියාට ලැබුණේ රුපියල් 54.09යි. අද රුපියල් 181.52ක් ලැබෙනවා.  එදා උඳු සඳහා රුපියල් 45.49යි ලැබුණේ.  අද උඳු සඳහා රුපියල් 134.88ක ආදායමක්  ගොවියාට ලැබෙනවා. කුරක්කන් සඳහා එදා ගොවියාට ලැබුණේ රුපියල් 30.75යි.  අද රුපියල් 116.04ක් ලැබෙනවා.  රට කජු සඳහා එදා ලැබුණේ රුපියල් 40.73යි.  අද එය 110.93  දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම අර්තාපල් සඳහා ගොවියාට එදා ලැබුණේ රුපියල් 53.23යි.  අද එය රුපියල් 79.25 ක් නැත්නම් රුපියල් 80 දක්වා අර්තාපල්  මිලදී ගැනීමේ කටයුතු  අපි කරනවා.

    ලොකු ලූනු සඳහා එදා ලැබුණේ රුපියල් 30.84යි. අද රුපියල් 86.93යි. එදා වියළි මිරිස් ගොවි පොළේ වික්කේ රුපියල් 95.50යි. අද රුපියල් 190.31යි. සෝයා බෝංචි සඳහා එදා ලැබුණේ රුපියල් 39.67යි. අද රුපියල් 90.32යි. බඩ ඉරිඟු සඳහා එදා ලැබුණේ රුපියල් 20.58යි අද රුපියල් 31.48යි. ඒ කාලසීමාව තුළ හැම ක්ෂේත්‍රයක නිෂ්පාදනය වැඩිවීම තුළ ලැබුණු ආදායම සාපේක්ෂව කියන්න පුළුවන්.


    වී නිෂ්පාදනය වුණු ප්‍රමාණයත්, ගොවි පොළේ මිලත් සලකා බැලුවාම 2006 දී වී ගොවියාට රුපියල් මිලියන 55,127ක් ලැබුණා. අද රුපියල් මිලියන 156,533ක් ලැබෙනවා. වී ගොවියාට ලැබුණු මුදල සියයට 184කින් වැඩි වෙලාය කියන එක අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනෑ. එදා බඩ ඉරිඟුවලින් ගොවියාට ලැබුණේ රුපියල් මිලියන 958යි. අද එය රුපියල් මිලියන 9,050යි. ඒ කියන්නේ සියයට 845කින් බඩ ඉරිඟුවලින් පමණක් ලැබෙන ආදායම වැඩි වෙලා තිබෙනවා. එදා අර්තාපල්වලින් ලැබුණේ රුපියල් මිලියන 3,073යි. අද රුපියල් මිලියන 5,229යි. සියයට 70කින් අර්තාපල්වලින් ගමට ලැබෙන ආදායම වැඩි වෙලා තිබෙනවා. එදා ලොකු ලූනුවලින් ගොවියාට ලැබුණේ රුපියල් මිලියන 1,622යි. අද රුපියල් මිලියන 8,747යි. එය සියයට 439කින් වැඩි වීමක් කියන එක අපි කියන්න ඕනෑ. එදා සෝයා බෝංචිවලින් ගමේ ගොවියාට ගියේ රුපියල් මිලියන 227යි. අද එය රුපියල් මිලියන 1,460යි. ඒ කියන්නේ, සියයට 543කින් වැඩිවීමක්. මේ විධිය උඳු, වියළි මිරිස් යන හැම නිෂ්පාදනයකින් ලැබෙන ආදායම වැඩි වුණා. ගොවි පොළවල් දියුණු කරලා, පොහොර සහනාධාර දීලා, හොඳ බීජ ලබා දීලා, ඒ වාගේම හොඳ දැනුමකුත් ගොවියාට ලබා දුන්නා.


    කුඩා තේ වතු හිමියන්ගේ, රබර් වතු හිමියන්ගේ හා පොල් වතු හිමියන්ගේ ආදායමත් මිලියන ගණනින් ඉහළ ගිහින් තිබෙනවා. එක වරක් රබර් මිල අඩුවුනු වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා සහතික මිල හඳුන්වා දුන්නා. මාස දෙකෙන් රබර්වලට ඊට වැඩිය ඉහළ මිලක් ලැබුණා. ලෝක වෙළෙඳ පොළේ රබර් මිල අඩු වන කොට අනිවාර්යයෙන්ම මේ රටෙත් රබර් මිල අඩු වනවා. අඩු මිලට රබර් ලබා ගන්නා කර්මාන්තකරුවන් ලෝක වෙළෙඳ පොළට ඒ නිෂ්පාදන සපයන කොට අපේ රටේ කර්මාන්තකරුවනුත් දේශීය රබර් පාවිච්චි කරලා ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳ පොළට සපයනවා. එතකොට දේශීය කර්මාන්තකරුවන් තරගකාරීත්වයෙන් පස්සට යනවා. ඒ නිසා රබර් කර්මාන්තයත් ආරක්ෂා කර ගෙන, අනෙක් පැත්තෙන් රබර් වවන්නන් ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සියලු අංශවල අය රැස් වෙලා මේ පිළිබඳව සාකච්ඡාවක් කළා. ඔවුන් ඉල්ලපු එකම දේ තමයි, රබර් කිලෝවකට රුපියල් 300ක සහතික මිලක් දෙන ලෙස. ඒක ජනාධිපතිතුමා මේ අය වැයෙන් ලබා දී තිබෙනවා. එය අවම මිල වන අතර මේ මිල ඉහළ යනවා නම්  අපි ඒක අගය කරනවා.


    මේ අය  වැයේදී කුඩා තේ වතු හිමියන්ට  විශාල දිරි ගැන්වීම් ලබා දුන්නා  වාගේම   අද ඒ කුඩා තේ වතු හිමියන්ගේ ආදායම ඉහළ ගිහින් තිබෙනවා. ඒ සඳහා පස සංරක්ෂණය, ජල සංරක්ෂණය වැනි  දේවල්වලට  ගිය අය  වැයෙන් විශේෂ දිරි ගැන්වීමක් ලබා දුන්නා. ඒ  වාගේම කප්රුක සමිතිවලට පොල් නැවත වගා කිරීම සඳහා දෙන සහන මෙවර  වැඩි කර තිබෙනවා.   ඒ අනුව මේ රටේ තේ, රබර්, පොල් වගාවන් සඳහා සහන දෙනු ලබන  වැඩ පිළිවෙළ හැම වසරකදීම   සිදුවුනා.  නව තාක්ෂණය,  නව ක්‍රමෝපායයන් යොදාගෙන   විශේෂයෙන්ම අපේ ඵලදායීතාව වැඩි කර ගන්න   ක්‍රියා කළ යුතු බව රජය පිළිගත් නිසා තමයි තේ හා රබර් පර්යේෂණාගාරවලට  විශාල මුදලක් ආයෝජනය  කර  තිබෙන්නේ.


    සුළු අපනයන භෝග යනුවෙන් සඳහන් කළත්,  සමහර භෝගවලින්,  විශේෂයෙන්ම  අපේ රටේ කුරුඳු වගාව  ගැන කථා කළොත් ලෝකයේ  නිෂ්පාදනය වන කුරුඳු අතර  හොඳ තත්ත්වයේ කුරුඳුවලින් සියයට 95ක්ම නිෂ්පාදනය වන්නේ ශ්‍රී ලංකාවේයි.  පසුගිය  කාලයේ ඒ සඳහා දිරි ගැන්වීම් රාශියක් කෙරුණා. මෙවර ඒ සඳහා දෙන සහනාධාර   සියයට 25කින්  වැඩි කිරීම  අගය කළ යුතු වෙනවා.


    දේශීය කිරිවලින් ස්වයංපෝෂණය  කිරීමත්  අඛණ්ඩව කරගෙන ආ දෙයක්. ඒ සඳහා පසුගිය  කාලයේදී විවිධ  පියවර ගත්තා. හැකි හැම අවස්ථාවකදීම දේශීය දියර  කිරි සඳහා  ගොවීන්ට දෙන මිල වැඩි කිරීමට කටයුතු  කළා. ඊට අමතරව  හැම වෙලාවේම ගොවීන්ට දැනුම,  තාක්ෂණය, ගව ගාල් ඇති කිරීම, පශු වෛද්‍ය පහසුකම් සැපයීම, ඉහළ  කිරි ප්‍රමාණයක් ලබා දෙන නව ආරයේ කිරි දෙනුන් ලබා දීම  වැනි  දිරි ගැන්වීම් රාශියක් පසුගිය කාලයේදී කළා. මෙවර  කිරි ගොවින්ට  දියර කිරි ලීටරයක් සඳහා ගෙවන මිල රුපියල් 50 සිට 60 දක්වා  වැඩි කිරීම මේ අවස්ථාවේදී අගය කළ යුතු වෙනවා. ගිය අවුරුද්ද වනකොට අපි 2005 ට වඩා සියයට 56කින් අපේ රටේ   දියර කිරි නිෂ්පාදනය වැඩි වී තිබෙන බව සඳහන් කරන්න ඕනෑ. ඒ සඳහා විශේෂයෙන්  මධ්‍යම ප්‍රමාණයේ  කිරි ගොවිපළවල් ඇති කිරීම සඳහා දෙන  ණය, සහන පොලියක් යටතේ ලබා දීමත් ඒ සඳහා  පොල් වතු සහ රබර් වතුවල යටි වගාවක් ලෙස   තෘණ වගාව   තුළින් කිරි ගොවිපළවල් පටන් ගැනීම සඳහා දෙන සහනාධාරය සියයට  25කින් වැඩි කිරීමටත්  මේ අය  වැයෙන්  පියවර ගෙන තිබෙනවා. වසර 2016 වනකොට  මේ රට දේශීය  කිරිවලින් ස්වයංපෝෂිත රටක් බවට  පත් කරන්නට හැකි වේවිය කියා විශ්වාස කරනවා.


    ධීවරයන් සඳහා බෝට්ටු ලබා දීම, නවීන පහසුකම් සපයා දීම, නැංගුරම් පොළවල් සහ ධීවර වරායයන් ඉදි කිරීම,   ධීවර ජනතාවගේ නිවාස සකස් කිරීම  වැනි  කටයුතු සඳහාත් පියවර ගෙන තිබෙනවා. ජනාධිපතිතුමා ධීවර ඇමතිතුමා වශයෙන් සිටි කාලයේ මිරිදිය මත්ස්‍ය වගාව පුළුල් කළ අතර මෙවර අය වැයෙන් මිරිදිය මත්ස්‍ය ගම්මාන 1,000ක් ඇති කිරීමට කටයුතු කර තිබෙනවා. අපේ රටට විශාල ආදායමක් ගෙනෙන ගමන් ගෘහ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වැදගත් අංශයක් තමයි විසිතුරු මත්ස්‍ය වගාව. විසිතුරු මත්ස්‍ය ප්‍රමාණයට සරිලන පරිදි අපට ලොකු වෙළෙඳ පොළක් තිබෙනවා. අද ක්‍රමයෙන් සිංගප්පූරුවෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකාව දෙසට ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙන වෙලාවේ විසිතුරු මත්ස්‍ය වගාවට ගෘහණියන් යොමු කිරීම තුළින් අපට විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා මෙවර අය වැයෙන් දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා.


    කුඩා ව්‍යවසායකයින්ගේ පැත්තටත් මෙවර අය වැයෙන් අවධානය යොමු කර තිබෙනවා. කිසිම කෙනකුගේ අවධානය යොමු නොවුණු මේ රටේ තිබෙන කුඩා පරිමාණයේ ටේලර් සාප්පු, බාබර් සාප්පු, සැලුන් එහෙම නැත්නම් රූපලාවණ්‍ය කටයුතු කරගෙන යන අය කෙරෙහි අවධානය යොමු කර,ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබා දීමටත්, ඔවුන් තවත් දියුණු වනවා නම් ඒ සඳහා ණය පහසුකම් ලබා දීමටත් මෙවර අය වැයෙන් යෝජනා කර තිබෙනවා. විවිධ හිරිහැර, කරදර මැද්දේ පදික වේදිකාවේ වෙළෙඳාම් කළ අය ගැන අවධානය යොමු කරලා, පදික වේදිකාව පදිකයින්ට ලබා දී, පදික වේදිකාවේ වෙළෙඳාම් කළ අයට වෙළෙඳ මධ්‍යස්ථාන ඉදි කිරීමට අවස්ථාව සලසා දීම අගය කරන්න ඕනෑ. මෙය හැම අය වැයකදීම ක්‍රමානුකූලව කළ කාර්යයක්. පසුගිය කාලය තුළ කෝච්චියේ, බස් එකේ ජංගම වෙළදුන් හැටියට කටයුතු කළ අයටත්, නිල ඇඳුමක් දීලා, හැඳුනුම් පතක් දීලා, ඔවුන්ට බඩු ගැනීමට අවශ්‍ය මූල ධනය රජයෙන් සපයා, ඔවුන් පිළිගන්නා පිරිසක් බවට පත් කරන්න කටයුතු කළා. අද ලංකාවේ ඉන්න සියලුම ජංගම වෙළෙඳුන් දිරි ගන්වා, ඔවුන්ගේ රැකියාව පිළිගන්නා රැකියාවක් ලෙස සුරක්ෂිත කර තිබෙනවා.


    මුහුදුකරයේ ඉන්න ඇතැම් කාන්තාවන් කරන නව නිෂ්පාදනයක් තමයි කරවල නිෂ්පාදනය. මෙය මේ රටේ කාලයක් තිස්සේ සාර්ථකව තිබුණු ව්‍යාපාරයක්. එය ක්‍රමයෙන් නැති වෙලා ගිහින් මේ රටට අවශ්‍ය කරවල හා උම්බලකඩ පිට රටින් ගෙන්වීමට සිද්ධ වුනා. නමුත් පසුගිය කාලයේ ඒ කාන්තාවන් ඉදිරිපත් වෙලා මේ කරවල නිෂ්පාදනය ආරම්භ කළා. කරවල නිෂ්පාදන කලාප ඇති කිරීම තුළින් ඔවුන් කෙරෙහිත් අවධානය යොමු කර තිබීම මේ අවස්ථාවේදී අගය කරන්න ඕනෑ.


    රටේ ලී බඩු අපනයනය සඳහා ආධාර දීලා මේ රටට විශේෂයෙන්ම හෝටල් සඳහා සහ අනෙකුත් ඉදි කිරීම් සඳහා පිට රටින් ගෙනෙන ලී බඩු සීමා කරලා ඔවුන් මේ රටේ නිෂ්පාදන කරන ඒවා සඳහා දිරිගැන්වීමක් කර තිබෙනවා. රටේ ගෘහ භාණ්ඩ නිෂ්පාදකයන් ලෝකයේ අනෙක් රටවලට ගිහින් තිබෙන අවස්ථාවක, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි තැන්වල පවා ඔවුන්ගේ නිෂ්පාදන විකුණන වෙලාවක රටට එවැනි දේවල් ගෙන්වීම සුදුසු නැති නිසා මෙවර අය වැයෙන් ලී බඩු නිෂ්පාදකයන් කෙරෙහිත් අවධානය යොමු කර තිබෙනවා.


    මැණික් කර්මාන්තය සඳහා රත්නපුර ස්වර්‍ණාභරණ පුරයක් ඇති කිරීම විශේෂයෙන්ම මැණික් කර්මාන්තය වාගේම ස්වර්‍ණාභරණ කර්මාන්තයත් ඉතාම ඉහළ තත්ත්වයකට ඇවිත් තිබෙනවා. අද ගෙදරක ඉඳගෙන, ලොකු සාප්පුවල නම් තිබුනත් ඇත්ත වශයෙන් ඒ සියලු ස්වර්‍ණාභරණ නිෂ්පාදනය කරන්නේ ගෘහයක් තුළයි. ඒ අය ගිහිල්ලා ඒවා නිෂ්පාදනය කරලා නැවත ඒ සමාගමට දෙනවා. ඒ කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය වෙළඳ පොළ සාදා ගැනීමට විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු වෙන කොට මේ රටට එන සංචාරකයන් සංඛ්‍යාව වැඩි වන කොට ලක්ෂ තුනකට සීමා වූ සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 13 දක්වා වැඩි වන කොට ඒ සංචාරකයන් තුළ කෑමට, කාමරයට විතරක් නොවෙයි, මේ වැනි දේවලට ඔවුන්ගේ මුදල් වියදම් කිරීමට සැලැස්වීම තුළ අපේ ආර්ථිකයට විශාල ශක්තියක් වෙනවා.


    තවත් විශාලතම නව කර්මාන්තශාලා 300ක් ඇති කිරීම සඳහා දිරි ගන්වනවා. අත් යන්ත්‍ර පේශ කර්මාන්තශාලා ගම්වල තිබුණා 10,000කට වඩා. එදා මහිලා සමිතිවලින් කෙරුණු, සමුපකාර සමිතිවලින් කෙරුණු අත් යන්ත්‍ර විතරක් නොවෙයි බලවේග පේශ කර්මාන්තශාලා විතරක් නොවෙයි වේයංගොඩ, තුල්හිරිය, මත්තේගොඩ වැනි මහා පේශ කර්මාන්තශාලා පවා වසා දමා තිබුණා. ඒ සඳහා නව කර්මාන්තශාලා- මොකද, අපේ රටේ ඇඟලුම් කර්මාන්තය දියුණු වුණත් ඒ සඳහා අවශ්‍ය රෙදිවලින් සියයට 98ක් තවමත් පිට රටින් ගෙනෙනවා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශය ඒ ඇඟලුම්කරුවන් සමඟ එකතු වෙලා ක්‍රමානුකූලව මේ රටේ නිෂ්පාදිත රෙදි පිළි උපයෝගි කරගෙන ඉහළ මට්ටමට ඇඟලුම් කර්මාන්තය යොමු කිරීම සඳහා කටයුතු කිරීමට මේ නව කර්මාන්තශාලා ගම් බද ආසනවල හදන්න කටයුතු කරනවා.

    විශේෂයෙන් බදු පුරෝගාමී අංශවල බදු සහනය ලබාදීම තුළින් විශාල ක්ෂේත්‍ර ගණනාවකට ආයෝජනය කරන්න අවස්ථාව ලැබිලා. මේ රටේ නිදහස් වෛද්‍ය ක්‍රමය තිබෙන රටක්. මේ සඳහා අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය බෙහෙත් නිෂ්පාදනය සඳහා අපේ දේශීය කර්මාන්තකරුවන්ට ආයෝජනය දිරිගැන්වීමට රජය කටයුතු කර තිබෙනවා. එවැනි ක්ෂේත්‍රවල මේ ආයෝජනය කිරීම තුළින් ඔවුන්ට එක්තරා දිරිගැන්වීමක් කර තිබෙන බව සඳහන් කරනවා.

    ක්‍රමයෙන් අපේ රාජ්‍ය ප්‍රවාහන සේවය අඩ පණ කරගෙන ගියා. එමගින් ලංගම සම්පූර්ණයෙන් නැති කරන්න කටයුතු කළා. දුම්රිය දෙපාර්තමේන්තුව නැති වෙන්න ඔන්න මෙන්නයි තිබුණේ. ඒ සමඟම ඇති වූ පෞද්ගලික ‍බස් රථ සේවාව දැන් පුළුල් වෙලා තිබෙනවා. එයින් විශාල රැකියා ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. එම නිසා මෙවර පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් ඒ මහජන සේවය තවත් පුළුල් කරන්න ඕනෑ. ඔවුන්ට සහන රාශියක් මෙවර අයවැයෙන් ලබා දීලා තිබෙනවා.


    විදුලි ක්ෂේත්‍රයේ ජනන කටයුතුවලට බලාගාර සඳහා විශාල ආයෝජනයක් කරලා තිබෙනවා. එදා ඒ සැමට විදුලිය සැම විට ලබා දුන්නා. ඒ වාගේම එය සහන මිලට දීමේ කටයුත්ත ගෘහ පාරිභෝගිකයින්ට පමණක් නොවෙයි සියලු කුඩා කර්මාන්ත නැත්නම් ව්‍යවසායකයින්ට එය පුළුල් කරලා සියලු දෙනාටම සියයට 25ක සහ කර්මාන්ත සඳහා සියයට 15කින් අඩු කිරීම තුළින් මේ කුඩා ව්‍යවසායකයින්ට විශාල සහනයක් ලැබිලා එය පාරිභෝගිකයින්ටත් ගලා යෑමට ලබා දෙනවා. කුඩා ව්‍යාපාර සඳහා පළාත් පාලන ආයතනවලින් ගන්නා ලද  බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම තුළින් එවැනි කුඩා ව්‍යවසායකයින්ට විශාල දිරි ගැන්වීමක් ලැබිලා තිබෙනවා.


    පාරිභෝගිකයන්ටත් යහපතක් වෙන එකක් තමයි එකතු වෙන අගය මත බදු සියයට 1කින් අඩු කිරීම  ගැන විශේෂයෙන්ම අගය කරනවා. ඒ වාගේම පොලී සඳහා රඳවා ගැනී‍මේ බද්ද සියයට 2.5 දක්වා අඩු කිරීමත් මේ කුඩා ව්‍යවසායකයින්ට ලබා දීපු සහනයක් බව අපි සඳහන් කරනවා. ඒ වාගේම සංචාරක කුඩා ව්‍යවසායකයින්, ව්‍යාපාර භාණ්ඩ ප්‍රවාහකයින්ටත්, ඒ වාගේම පාසැල් සිසුන්ට ඒ පාසල් වෑන් හා කුඩා බස් රථ සඳහා ද, ඒ වාගේම ලොරි වැනි දේවල්වලට තීරු බදු අඩු කිරීම තුළින් මේ ක්ෂේත්‍රය තුළින් විශාල සහනයක් වෙනවා.


    කුකුල් මස්, බිත්තරවලින් පමණක් නොවෙයි ඒ සඳහා අවශ්‍ය බඩ ඉරිඟු වැනි දේවලුත් දේශීය වශයෙන් වගා කිරීම තුළින් එම මුළු කර්මාන්තයම දේශීය කර්මාන්තයක් කරලා. එදා පිට රටින් ගෙනාපු කුකුල් පැටව් -grand-parent- එහෙම නැත්නම් ඒ පැටව් ප්‍රමාණයත් අද මේ රටේම නිෂ්පාදනය කරලා ඒවාත් රට යවන පුළුවන් අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. ඒ වාගේම අපේ කුකල් මස්, බිත්තර පිට රට යැවීම සඳහාත් අවශ්‍ය පහසුකම් තිබෙනවා. ඒ වාගේම අද වෙළෙඳ පොළේ සහල් මිළේ ඇති වෙලා තිබෙන මේ වෙනස නිසාත්, විශේෂයෙන් බඩ ඉරිඟු මේ වන විට ගොවීන්ගේ ලඟ නැතිව කීප දෙනෙක් අතේ තිබෙන බඩ ඉරිඟුවල මිල ඉහළ දැමීම තුළ කුකුල් ගොවි පොළවල්වලට ද ඇති වෙලා තිබෙන ඒ අපහසුකම් දුරු කිරීම සඳහා බඩ ඉරිඟුවලට රුපියල් 40ක පාලන මිලක් දැමීම අගය කළ යුතු වෙනවා. ඒ තුළින් අපේ මේ කුකුල් ගොවිපොළ කර්මාන්තය දිගටම ගෙන යාමටත් පුළුවන් වනවා.


    පෞද්ගලික අංශයේ රැකියා කිරීම අඩපණ කරන එක දෙයක් තමයි මේ උපයන විට බදු ගෙවීම. මේ තුළින් රාජ්‍ය අංශය කෙරෙහි වැඩි ඇල්මක් දක්වන ගතියක් තිබෙනවා. ඒ සඳහා අද එය රුපියල් සියයට 10කට උපරිමයක් පැවැත්වීම තුළින් ඒ කුඩා ව්‍යවසායකයින්ට පෞද්ගලික අංශයේ රැකියා කරන අය දිරි ගන්වනවා විතරක් නොවෙයි ඒ ක්ෂේත්‍රයේ රැකියා සඳහා තිබෙන ඉල්ලුම වැඩි කිරීමටත් කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ විතරක් නොවෙයි තව ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. පෞද්ගලික ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ට බෙහෙත් සහ ඹෟෂධ නිෂ්පාදනය සඳහා ඉතාම සහන මිලකට ණය ලබා දීම සඳහා කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම පුද්ගලයා, පවුල සහ ග්‍රාමීය ආර්ථිකය ගොඩ නැගීම සඳහා ‍පසුගිය කාලවලින් සපයපු සහන රාශියක් දීලා තිබෙනවා.


    එදා  මහින්ද චින්තනයේ ජනාධිපතිතුමා සඳහන් කරපු  ගම පිළිබඳ සිහිනය අද ක්‍රමයෙන් සැබෑ වෙමින් තිබෙනවා. මහින්ද චින්තනයේ ගම නැඟුම යටතේ මෙසේ සඳහන් වනවා:"මාගේ ජීවිතය විකසිත වූයේ කුරහන් හේන් පිස හමා ආ ගැමි සුවඳිනි. ඒනිසාම සොඳුරු බවින්, සෙනෙහසින් හා සෞන්දර්යයෙන් පිරුණු ගම පිළිබඳ මා දකින සිහිනය 'ගම නැඟුම' ලෙස යථාර්ථයක් බවට පත් කරමි. පසුගිය දශක ගණනාව තුළ අපේ දෑස් ඉදිරිපිටදීම පිරිහීමට ලක් වූ ගම පුනර්ජීවනය කරමි."


    විදුලිය නොමැති සෑම ගමකටම අද විදුලිය ලබා දීලා තිබෙනවා. අද විදුලිය නැති ගම් තිබෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයයි. ඒ ටිකටත් මේ අවුරුද්ද අවසන් වන්නට ඉස්සෙල්ලා විදුලිය ලබා දෙනවා. ඒ වාගේම සෑම ගමකටම පොදු දුරකථන සේවාවක් ලබා දෙන්න යෝජනා කරලා තිබෙනවා. අද සෑම ගෙදරකටම නොවෙයි, හැම පුද්ගලයෙකුටම දුරකථන තිබෙනවා. අද මේ රටේ තිබෙන ජංගම දුරකථන ප්‍රමාණය බැලුවොත් මේ රටේ මුළු ජනගහනයත් ඉක්මවන ප්‍රමාණයට දුරකථන තිබෙනවා.


    හිඟයකින් තොරව පානීය ජලය ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. අය වැයෙත් විශාලතම ආයෝජනයක් සිදු කෙ‍රුණේ පිරිසිදු පානීය ජලය වාගේම නල ජලය සැපයීමටයි. ගම්පහ දිස්ත්‍රික්කයේ බියගමින් ආරම්භ වන කැලණි ගඟෙන් ගන්න වතුර මීගමුව දක්වාම ගෙනි යනවා වාගේම එතැනින් පස්සේ කුරුණෑගල, අනුරාධපුරය, වව්නියාව, මන්නාරම දක්වාත්, කිලිනොච්චියේ ඉරණමඩු ජලාශයේ ජලය යාපනය දක්වාත් ගෙනි යමින් එකට එක පෑහෙන ජල යෝජනාක්‍රම රාශියක් ක්‍රියාත්මක වනවා. අනික් පැත්තෙන් කොළඹ සිට හම්බන්තොට, මොනරාගල, අම්පාර දක්වාත්,මඩකලපුව වැනි ප්‍රදේශවලටත් ලබා දීලා තිබෙනවා. මාවිල්ආරු මහා ගැටුම ඇති වෙච්ච ප්‍රදේශවලටත්,  ඉච්චලම්පත්තුව වැනි ප්‍රදේශවලටත් මුත්තූර් ‍ජල යෝජනා ක්‍රමය ය‍ටතේ ගිය සතියේ සිට ජලය ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. මේ ජල යෝජනා ක්‍රමය මුළු රටම වැලඳගත්ත ජල යෝජනා ක්‍රමයක් බවට පත් කරලා තිබෙනවා. ඒ වාගේම කෙත් බිම් සඳහා වාරි ජලය ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. කිසිම කාලයක නැති විධියට සුළු වාරි මාර්ගයේ ඉඳලා, ඇනිකට් එකේ ඉඳලා, ඇළ වේල්ලේ ඉඳලා, දැදුරුඔය, යාන්ඔය, මොරගහකන්ද වැනි මහා ජල යෝජනා ක්‍රම දක්වාම විහිදුණු වාරි ජලය ලබා දෙන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.


    ග්‍රාමීය ප්‍රවේශ මාර්ග මුළු රටම වැලඳගත්ත මහාමාර්ග ජාලයක් බවට පත් වෙලා තිබෙනවා. ඉදි කරලා තිබෙන්නේ ගුවන් පාලම්, අධිවේගී මාර්ග පමණක් නොවෙයි. විශේෂයෙන්ම ජනතාව ඒ දඬුවලින් ගිය තැන්වලට මේ වන කොට පාලම් 1,210ක් ඉදි කරමින් පවතිනවා. ඒ වාගේ වැල් පාලම් තිබුණු තැන්වලටත් පාලම් ඉදි කරමින් පවතිනවා. විශේෂයෙන් කඳුකරය ආශ්‍රිත ප්‍ර‍දේශවලට පාලම් ඉදිකිරීම ඇතුළුව ප්‍රවාහන පහසුකම් සපයනවා. පළාත් තුනක විශාල යෝජනා ක්‍රම තුළින් අන්තර් ගම්මාන සම්බන්ධ කරන මාර්ග වැඩපිළිවෙළ දියත් වෙනවා.


    ගම නැඟුම යටතේ කළ සෑම කටයුත්තක්ම මේ වෙන කොට,- "සිඟිති උයන" පෙර පාසල, ඒ වාගේම ප්‍රජා ශාලාවට යා වූ ක්‍රීඩා පිටිය, පොදු සුසාන භූමිය වගේ දේවල් විතරක් නොවෙයි ජනාධිපතිතුමා කියපු නැණසල පවා අද ක්‍රියාත්මක කරලා "ගම කේන්ද්‍රීය සංවර්ධනය" සඳහා ගම ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළට මේ අය වැයෙනුත් දායකත්වය ලබා දී තිබෙනවා. අද සෑම මාතෘ සායනයක්ම අලුතින් ඉදි වෙනවා. ඒ වාගේම පෙර පාසල් හා හුදෙකලා පාසල් දියුණු වෙලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි, ගම් කිහිපයක් එකතු වන තැන නාගරික සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ "පුර නැඟුම" තුළින් විශේෂයෙන්ම සති පොළවල්, ඇවිදීම සඳහා ශාරීරික ‍සුවතා මං තීරු, ත්‍රිරෝද රථ නැවතුම් පොළවල් වැනි දේවල් පවා ඉදි කරලා ගම ශක්තිමත් කර තිබෙනවා. ඒ වාගේම ශ්‍රීලංගම හරහා විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රවාහනය සඳහා අඩුවක්ව තිබූ බස් රථ වෙනුවෙන් තනි දොර බස් රථ 500ක් ලබා දීම තුළින් ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රවාහන පහසුකම් ලබා දී තිබෙනවා.


    ගම්වලට මෙතෙක් තර්ජන දෙකක් තිබුණා. මුලින් තිබුණා “කොටින්ගේ” තර්ජනය. දැන් අලින්ගේ තර්ජනයත් ඇවිල්ලා තිබෙනවා. එම තර්ජනයෙන් ගම්මාන ආරක්ෂා කිරීම සඳහාත් අද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ගිය අවුරුද්දේත් ඒ සඳහා මුදල් දීලා විදුලි වැටවල් සහ වෙනත් ජෛවීයවැටවල් සකස් කිරීම සඳහා කටයුතු කළා. ඊට අමතරව අලීන්ගෙන් ගම්වලට සිදුවන හානි වැළැක්වීමට වගේම සිදු වන ජීවිත හා දේපළ හානි සඳහා වන්දි ගෙවීමටත් මේ අය වැයෙන් මුදල් වෙන් කරලා තිබෙන බව සඳහන් කරන්නට ඕනෑ.


    විශේෂයෙන්ම ගම නැඟුම තුළින් කළ විශාල කාර්යයක් තමයි සහභාගීත්ව සංවර්ධනය. නැත්නම් ප්‍රජා නායකත්වය බිහි කිරීම. නැත්නම් ප්‍රජා මූල සංවිධාන ශක්තිමත් කිරීම. අද ගමේ තිබෙන ප්‍රබලතම ප්‍රජා මූල සංවිධානය වෙන්නේ මහ ලොකුවට කියන සිවිල් සමාජ නැත්නම් රාජ්‍ය නොවන සංවිධාන නොවෙයි. ගමේ තිබෙන මරණාධාර සමිතිය, වැඩිහිටි සමිතිය, කාන්තා සමිතිය, ක්‍රීඩා සමිතිය තමයි අද තිබෙන ප්‍රජා සංවිධාන. ඒවා තමයි නියම සිවිල් සංවිධාන. අන්න ඒ සිවිල් සංවිධාන ශක්තිමත් කිරීම සඳහා මෙවර අය වැයෙන් මූල්‍යාධාර සැපයීම තුළින් ඒ ප්‍රජා මූල සංවිධාන ශක්තිමත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. ගම ශක්තිමත් කරනවා වාගේම අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම තුළින් එදා මහින්ද චින්තනයේවත් නොතිබුණු නව අදහසක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ තුළින් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙවර අය වැයෙන් කටයුතු කරලා තිබෙනවා.


    ගම තුළ ජන සභා පිහිටුවලා ඒවා ශක්තිමත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස් කිරීම් තවම සිද්ධ වුණේ නැහැ. දැනට ජනතාවට කිට්ටුම සංවිධානය තමයි ගමේ තිබෙන ප්‍රාදේශීය සභාව; පළාත් පාලන ආයතනය. ඒ පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට කිසිම ආණ්ඩුවකින් නොගත් පියවරයන් රාශියක් අපි අරගෙන තිබෙනවා. එදා කිසිම වැඩක් නැතුව මළ ගෙදරට -ඉළවු ගෙදර- යන එකට පමණක් සීමා වුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමාට අගයක් එකතු කරලා ගමේ සංවර්ධනයට, ජනතාවගේ ජන ජීවිතයට වැඩක් කරන්න පුළුවන් විධියට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි. විශේෂයෙන්ම ගියවර අය වැයෙන් ප්‍රාදේශීය නඩත්තු ඒකක පිහිටුවීම සඳහා යන්ත්‍රෝපකරණ ඇණවුම් කර තිබෙන අතර මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා සියලුම ප්‍රාදේශීය සභාවලට ඒවා ලබා දෙනවා. දැනට මාසයකට ගෙවන මුදල දෙගුණ කිරීමටත් කටයුතු කරලා තිබෙනවා.  ඒ තුළින් ඔවුන්ට අවශ්‍ය සේවාවන් සැපයීම විතරක් නොවෙයි, ඔවුන්ගේ නඩත්තු සේවාවන් සඳහා  සේවක  සංඛ්‍යාවේ අඩුවක් තිබුණා. ඒ සඳහා සේවකයින් බඳවා ගැනීම සඳහා සභාවලට මූල්‍යාධාර දීලා සේවක සංඛ්‍යාව වැඩි කිරීමටත් කටයුතු කරලා තිබෙනවා.  මෙවර අය වැයෙන් පළාත් සභාවලට  විශේෂ අතිරේක මුදල් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා.  රුපියල් මිලියන 7,500ක් ඒ සඳහා වෙන් කර තිබෙනවා. මා හිතනවා උතුරේ ජනතාවත් එහි නියම ප්‍රයෝජන ගනීවි කියා.


    අධ්‍යාපනය වෙනුවෙන් ගුරු නවාතැන් පහසුකම් දෙන්න, පළාත් රෝහල් හා බෙහෙත් ශාලා වැඩිදියුණු කරන්න, පළාත් මට්ටමේ කෘෂිකර්ම, පශු සම්පත්, ධීවර හා කුඩා කර්මාන්ත සඳහා සපයන සේවාවන් ශක්තිමත් කරන්න,  ජීවනෝපාය මාර්ග හා රැකියා වැඩිදියුණු කිරීමට, ප්‍රවාහන,වෙළෙඳපොළ හා සනීපාරක්ෂක පහසුකම් දියුණු කරන්න, අර්ධ නගර සහ ප්‍රධාන නගර දියුණු කරන්න මේ සියලු සේවාවන් සඳහා පළාත් සභාවලට විශාල මුදල් සම්භාරයක් ලබා දෙන්නත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය රජය විසින් ලබා දෙන්නත් කටයුතු කිරීම අගය කරන්න ඕනෑ.


    ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කරගත් වැඩ සඳහා විශාල මුදලක් මේ අය වැයෙන් වාගේම පසු ගිය අය වැය සියල්ලකින්මත් වෙන් කළා.   විශේෂයෙන්ම සෞඛ්‍ය පැත්තෙන් යටිතල පහසුකම් හා සේවා සැපයීමට ඖෂධ, ත්‍රිපෝෂ, පෝෂණ මල්ල, පෝෂණ වැඩසටහන්, පෙර පාසල් සඳහා දියරකිරි ලබාදීම,ආහාර සැපයීම, අධ්‍යාපනයේ යටිතල පහසුකම්, සේවා සැපයීම, පාසල් නිල ඇඳුම්, වාර ප්‍රවේශ පත්‍ර, පාසල් ළමුන් සඳහා පෙළ පොත්, ආබාධිත සිසු දීමනා, 5වසර ශිෂ්‍යත්ව, මහපොළ ශිෂ්‍යාධාර ඒ වාගේම අඩු ආදායම්ලාභී නිවාස, ජනසෙවණ, ජල සම්පාදනය හා සනීපාරක්ෂාව ඒ වාගේම මධ්‍යම හා සුළු වාරි මාර්ග, ග්‍රාමීය විදුලි වැඩසටහන්, පොහොර සහනාධාරය, ගම නැගුම, දිවි නැගුම ඒ වාගේම සමෘද්ධිය නැත්නම් දිවිනැගුම දීමනාව, මහජන ආධාර, ආබාධිත පුද්ගලයින්ගේ දීමනාව, වැඩිහිටි දීමනාව කියන මේ සියල්ලක්ම සඳහා සෑම අය වැයකින්ම වාගේ  මෙවර අය වැයෙනුත් විශාල මුදල් ප්‍රමාණයක් වැඩි කර තිබෙනවා.


    මේ වැඩපිළිවෙළට අමතරව, ‍ 2020න් ඔබ්බට ඉහළ ආදායමක් සහිත ආර්ථිකයක් සඳහා රට යොමු කිරීම සඳහා  අභිමානවත් රැකියාවක්‍, ඉහළ මානව සම්පත් සංවර්ධනයක්, විවිධාංගීකරණය වූ ශක්තිමත් ආර්ථිකයක්, යහ පාලනයෙන් යුත් ශක්තිමත් සාර්ව ආර්ථිකයක්, ජෛව විවිධත්වයෙන් පෝෂණය වූ හරිත පරිසරයක් කියන මේ පංච මහා දැක්ම තුළ තමයි රජය ගමන් කරන්නේ.


    අභිමානවත් රැකියාවක් කිව්වාම පූර්ණ රැකියා නියුක්ත හා දිළිඳුකමින් තොර රටක්, රැකිරක්ෂා නියුක්තිය සියයට 97ක මට්ටමක පවත්වා ගෙන යාම,විශේෂයෙන්ම ඒ තුළ තරුණ රැකියා නියුක්තිය සියයට 95ක තබා ගැනීම, දැනුමෙන් හා නිපුණත්වයෙන් යුත් ශ්‍රම බලකායක් මෙහෙයවන ආර්ථිකයක් කියන තේමාවන් වාගේම විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ ජීවනෝපාය මාර්ග දියුණු කිරීම, දේශගුණික විපර්යාස බෝ නොවන හා ආබාධිත තත්ත්වයෙන් ඔවුන් වළක්වා ගැනීම, සැමට ප්‍රමිතියෙන් යුත් පානීය ජලය, නිවාස, සනීපාරක්ෂාව, විදුලිය, ප්‍රවාහන, පාසල් හා අධ්‍යාපන පහසුකම් පුළුල් වූ සමාජයක් කියන තේමාවන් යටතේ අපි කටයුතු කරනවා. ඉහළ  මානව සම්පත් සංවර්ධන  රටක් හැටියට අපේ රට ඉදිරියට ඇවිත් තිබෙනවා. එදා අපේ රට 2005 වර්ෂයේදී 93 වන ස්ථානයේ තිබිලා  අද 73 වන ස්ථානයට අපේ මානව සම්පත් දර්ශකයේ ඉහළට ඇවිත් තිබෙනවා.


    එදා තිබුණු ඒක පුද්ගල ආදායම අපි ක්‍රමයෙන් වැඩි  කරලා,  අද ඉහළම තත්ත්වයට ඇවිත් තිබෙනවා. 2002 වර්ෂයේදී ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 870යි. අද  ඒකපුද්ගල ආදායම ඇමෙර්කානු ඩොලර්  3,718යි. එදා  සියයට 4ක්ව තිබූ  ආර්ථික වර්ධන වේගය  අද සියයට 7.8 ක් වෙලා තිබෙනවා. ඒ වාගේම   ප්‍රේෂන  -  විදේශ රැකියා කරන අයගේ ප්‍රේෂන   ප්‍රමාණය මිලියන 1977 සිට මිලියන 6999 දක්වා  වැඩි වෙලා තිබෙනවා.  අද  ‍විදේශ රැකියාවලට යන්නේ ගෘහ‍  සේවිකාවන්ට වඩා  උසස්  රැකියා  කරන අය බව ඒකෙන් පේනවා. එදා   රාජ්‍ය  ආයෝජනය  දළ දේශිය නිෂ්පාදනයෙන්  සියයට දෙකයි. අද සියයට 6.9කට වැඩි වී තිබෙනවා. පුද්ගලික අංශයේ ආයෝජන  සියයට 16.7 සිට අද  23.7 දක්වා  වැඩි වී තිබෙනවා.   විදේශ සංචිත - ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ සංචිත ප්‍රමාණයක්  හිමි වන්නේ මේ රජය යටතේයි. 2005 වර්ෂයේදී අපනයන  ඇමෙරිකානු ඩොලර් මිලියන  6347 සිට  මිලියන 11,854 දක්වා  වැඩි වෙලා තිබෙනවා.


    බදුලු දිස්ත්‍රික්කයේ 2005  ජනාධිපති මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ගත් ඡන්ද ප්‍රමාණය 226,582 සිට  197,708 නැත්නම් ඡන්ද 28,874 අඩු වි තිබෙන බව  සඳහන් කරනවා. ඒ අතර, පොදු පෙරමුණ ඡන්ද 192,734 ඉඳලා  209,056ක් එනම් 16,332ක්  වැඩිවෙලා තිබෙනවා. ඒ වගේමයි මොනරාගල දිස්ත්‍රික්කයත්.


    අවසාන වශයෙන් කියන්නට ඕනෑ. එදා ජනාධිපතිතුමා මේ උත්තරීතර සභාවේදී  කිව්ව විදියට, පළමුවත් රට, දෙචනුවත් රට, තුන්වෙනුවත් රට කියන  තේමාව යටතේ මේ රට ඉදිරියට  ගෙන යමට කටයුතු කරනවා. මුදල් අමාතාංශයේ  ලේකම්තුමා ඇතුළු  මේ අය වැය සකස් කිරීමට උදව්වුණු සැමට. එසේම  ජනතාවට, වෘත්තිය සමිති, කාන්තා නියෝජිතයින්, ව්‍යාපාරිකයින්  යන සෑම අංශයකම අයගේ  අදහස් ලබා ගෙන ඒ දීපු අදහස් මේ අය වැයට ඉදිරිපත් කරලා නියම  ජනතා අයවැයක් ඉදිරිපත් කිරීම ගැන  ජනාධිපතිතුමාට ගෞරවය පුද කරමින් නිහඬ වෙනවා.

     

    HC/med

     

    වසර 2015 සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද අය වැය යෝජනාව දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී ඒ පිළිබඳව රජය වෙනුවෙන්  අවසන් කථාවට එක් වෙමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් විසින් 2014 නොවැම්බර් 01වනදා පාර්ලිමේන්තුවේ දී කරන ලද කථාව ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya