මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේක මහා ප්‍රාග්ධන අය-වැයක් Featured

    නොවැම්බර් 02, 2014

    මේ අය-වැය වංචාවක්, බොරුවක්, හොරකමක්, රැවටිල්ලක්, විජ්ජාවක්, මායාවක් නෙවෙයි මේක මහා ප්‍රාග්ධන අය-වැයක් යැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේ දී පැවසීය.  

     

    විසර්ජන පනත් කෙටුම්පත 2015 දෙවැනි වර කියැවීමේ විවාදයේ හත්වැනි දිනයේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

     

    විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා; “ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රී තුමා කතා කළා නාය යන ඉඩම් ගැන. නාය යන ඉඩම්වල අයට ඔබතුමාලගේ රජයෙනුත් අපේ රජයෙනුත් ඉඩම් දීලා තියෙනවා. මේ විකල්ප ඉඩම් අරගෙනත් මේ අය ආපහු පෙර සිටි ඉඩම්වලට යනවා. පහුගිය දිනවල සිදු වූ ඛේදවාචකයට ගොදුරු වූ අයටත් නිවාස හදලා දීලා තියෙනවා. ඉඩම් දීලා තියෙනවා. ඒ ගිහිල්ලා ආපහු එතැනට ඇවිල්ලා තියෙනවා.  

     

    එතුමා කැසිනෝ ගැන කතා කළා. එක්සත් ජාතික පක්ෂය කාලයේ ලයිෂන් දුන්න කැසිනෝ පහක් ලංකාවේ තියෙනවා. ඒ පහට බද්දක් තමයි මේ අයවැයෙන් දාලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න.

     

    ඊළඟට එතුමා එජාප සහ ප්‍රේමදාස යුගයේ සෞභාග්‍ය ගැන කතා කළා. 1977 සිට 1994 දක්වා  ආර්ථික සංවර්ධන වේගය 4%යි. ආර්ථිකය ගොඩගන්න බැරිවුණා. ඒ වගේ ම මන්ද පෝෂණය, ළදරු මරණ, මාතෘ මරණ ගැන ජාත්‍යන්තර සංවිධාන ප්‍රේමදාස රජයට අවවාද කළා. ඒ ලේඛන මා ළඟ තියෙනවා. ඒ යුගයේ උද්ධමනය එක වෙලාවක 28%ට ගියා. 14%, 15%, 16% ගානේ දිගට ම මුදල් අවප්‍රමාණය වුණා. ඒ නිසා ප්‍රේමදාස හා ජේ.ආර්. යුගය මේ රටේ ආර්ථිකය කඩා වැටුණු උතුරේ සන්නද්ධ කණ්ඩායම් 6ක් හා දකුණේ සන්නද්ධ ජනතා විමුක්ති පෙරමුණ බිහිවුණු යුගයක්. ඒකත් හොඳට ම මතක තියාගන්න එක හොඳයි.

     

    එතුමා නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ, කටුනායක අධිවේගී මාර්ග, මත්තල ගුවන් තොටුපළ ගැන කිව්වා. මේවා අලාභ ලබන බව. මේ සේරම මේ අය කරන්න දැඟලුවා. නොරොච්චෝලේ කරන්න දැඟලුවා. අදාළ ඇමතිවරයා බිෂොප් තුමා පය ගැහුව ම හකුලා ගත්තා. ඉහළ කොත්මලේට ආරාධනා පත්‍ර ගැහුවා. තොන්ඩමන් ඇමතිතුමා කකුල ගැහුවාම ඇඳයට රිංගගත්තා අදාළ ඇමතිතුමා. කටුනායක අධිවේගී මාර්ගයට ගිවිසුම් අත්සන් කළා. වැල්ලවායේ ගුවන් තොටුපළක් හදන්න මුල්ගලකුත් තිබ්බා. මාත් ගියා රනිල් අගමැතිතුමත් එක්ක. මේ කර ගන්න බැරි වෙච්ච ම ඒවට දැන් විරිත්තනවා.
     
    දැන් මිහින් එයාර්, ශ්‍රීලන්කන් එයාර් ගැන කතා කරනවා. පහුගිය කාලේ ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් එක බංකොලොත් වුණා. ආණ්ඩුව මැදිහත් වෙලා තමයි බේරගත්තේ. බ්‍රිටිෂ් එයාර්වේස් එක බංකොලොත් වුණා. ආණ්ඩුව මැදිහත් වෙලා බේරගත්තේ. ඇමරිකාව ප්‍රකාශයට පත් කරන්න ගියා බංකොලොත්භාවය. ඇමෙරිකන් ආණ්ඩුව මැදිහත් වෙලා බොහොම අමාරුවෙන් බේරගත්තා. කිංෆිෂර් බංකොලොත් වෙලා 25000ක් එළියට දැම්මා. ස්විස්එයාර් එක ආණ්ඩුව මැදිහත් වෙලා බේරගත්තේ. අද එයාර්ලංකා, මිහින් එයාර්වලට එහෙම කරලා නැහැ. දැන් අන්තිම ප්‍රාග්ධනය හැටියට ණය ටික දීලා තියෙන්නේ ජනාධිපතිතුමා.

     

    විපක්ෂය පෙන් වු එකක් තමයි මේ අය වැයේ සංඛ්‍යා ලේඛන බොරු. දෙවැනි එක අපිට මේවා කරන්න සල්ලි නැහැ. ඔය දිගටම කිව්වේ ඒක තමයි. තුන මේ ආර්ථිකය බංකොලොත් වෙලා.

     

    පළමුවෙනි කාරණය මම කියන්න කැමතියි කතානායක තුමනි, මේ ව්‍යවහාරික සංඛ්‍යාලේඛනය පිළිබඳ මහාචාර්ය, ශ්‍රී ලංකා සංඛ්‍යාලේඛන විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති සරත් පීරිස් මහතා ලිපියක් ලියලා තියෙනවා ඩේලි නිවුස් පත්තරේට  ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන නිවැරදියි. ඒවා එහෙම වෙනස් කරන්න බැහැ කියලා.

     

    මේ සංඛ්‍යාලේඛන එක්ක අපිට ලෝක කම්කරු සංවිධානය එක්ක සම්බන්ධතා තියෙනවා. 1993 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංගමය, යුරෝපා කොමිසම, ජාත්‍යන්තර කම්කරු සංවිධානය එකතු වෙලා  ‘93 ජාතික ගිණුම් ක්‍රමය‘ කියලා ප්‍රකාශනයක් කරනවා. අපි මේ සියලුම සංඛ්‍යාලේඛන, නියැදි හදන්න ඕන, සියලු දත්ත එකතු කරන්න ඕන, උපකල්පන හදන්න ඕන මේ 93 ලියැවිල්ලට අනුවයි. ලෝකේ හැම රටක ම මධ්‍යම බැංකු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ලොක්යේ තිබෙන කොටස් වෙළෙඳ පොළවල්, ලෝකයේ වෙනත් වාණිජ බැංකු. සියලුම විශාල ව්‍යාපාර මේ සංඛ්‍යාලේඛන ගැන අවධානයෙන් ඉන්නවා.  මේවා වැරැද්දුවොත් අපේ චෙක් එකක් බාරගන්නේ නැහැ. අපේ බිල්පතක් බාරගන්නේ නැහැ. අපේ රටේ සංඛ්‍යාලේඛන එකක් වත් විස්වාස කරන්නේ නැහැ. කවුරුවත් සතයක් වත් ආයෝජනය කරන්නෙත් නැහැ. ඒ නිසා අපේ සංඛ්‍යාලේඛන පිළිබඳ ව ලෝකයේ කිසි ම ආයතනයකින් අද වෙනතුරු සැකයක් පළ කරලා නැහැ. ඒ නිසා මේ සංඛ්‍යාලේඛන ගැන කතා කරන එකෙන් පැහැදිලි වෙන්නේ විපක්ෂය කරන වංචාව, නැත්නම් විපක්ෂයේ තියෙන නොදැනීම.

     

    කතානායක තුමනි, 1975 - 2005 දක්වා ගත්තොත් සාමාන්‍ය විදේශ ආයෝජන ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 100යි. මේක තමයි ඇත්ත කතාව අද අපේ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 1400යි. අපේ මේ සංවර්ධනය ගැන ලෝකය පැහැදීමකින් ඉන්න බව ඒකෙන් ම පැහැදිලි වෙනවා.


    දෙවැනි තර්කය තමයි අපට මේවා කරන්න සල්ලි නැහැ.

     

    පසුගිය මාස හය තුළ අපේ ආර්ථික වර්ධන වේගය 7.7% දක්වා වර්ධනය වෙලා. ජුනි මාසය වන විට ගෙවුම් ශේෂය අතිරික්තයක් වෙලා. මේ වසරේ අපනයන 14.8%කින් වැඩි වුණා. සේවා ආදායම 49.9%කින් වැඩිවෙලා. ප්‍රවාහන අංශයේ ආදායම 16.4%ක්, තොරතුරු තාක්ෂණයේ ආදායම 13.4%කින් වැඩි වුණා.

     

    1948 සිට 2005 දක්වා ගත්තොත් සෑම වසරකම වගේ අපේ රුපියල 8%කින් 01%කින් බහිනවා. අවප්‍රමාණය වූ රුපියල අධිප්‍රමාණය වුණේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. අපේ රුපියල ඩොලරයට සාපේක්ෂකව 0.6%කින් පවුමට සාපේක්ෂකව 1.8%කින්, යෙන් එකට සාපේක්ෂකව 4.5%කින්  යුරෝ එකට සාපේක්ෂකව 9.1%කින් වැඩිවෙලා. මේක තවත් ඉහළ යන්න ගියේ. ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙලා අපේ දේශීය වෙළෙඳ පොළෙන් ඩොලර් මිලියන 985ක් අරගෙන තැන්පත් කළා. එහෙම නොකළා නම් අපේ රුපියල තවත් අධි ප්‍රමාණය වෙනවා. එහෙම වුණා නම් ඒක අපේ ඇඟලුම් කර්මාන්තයට, අපේ අපනයන කර්මාන්තවලට අහිතකර ලෙස බලපානවා.

     

    අපේ රට ආර්ථික වශයෙන් හරි ශක්තිමත්. හරි වේගයෙන් නැගිටිනවා. මේ අය වැය හිඟය රුපියල් බිලියන 521යි. ඒ කියන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 4යි. අපට විදේශ සංචිත තියෙනවා ඩොලර් බිලියන 9.2ක් තිබෙනවා. මේ අය වැය හිඟය පියවන්න බිලියන 4ක් ගත්තත් අපට ඩොලර් බිලියන 5ක සංචිත තියනවා. අපේ බැංකුවල 2005 වනවිට තිබුණ මූල්‍ය ශක්තිය බිලියන 3000යි. අද බිලියන 11000ක් තියෙනවා. අපේ සංචිතවලින් වුණත් අපේ බැංකුවකින් ණයක් ගත්තත් මේ හිඟය පියවගන්න පුළුවන්.

     

    ඊළඟට කියනවා ඉතිහාසයේ කවදාවත් නැති විදියට අපි ණයවෙලා. ඒක ගණන් හදන්නේ කොහොමද?. අපි ගත්ත ණය ප්‍රමාණය අරගෙන රටේ ජනගහනයෙන් බෙදලා. ආර්ථික විද්‍යාවේ එහෙම හොයන සිරිතක් නැහැ. ආර්ථික විද්‍යාවේ ණය ගැන බලන්නේ මේ ණය ගෙවන්න රටේ ආර්ථිකයට පුළුවන් ද කියලා. අපේ රටේ ආදායමට, දළ දේශීය නිෂ්පාදනයට මේ ණය කීයද කියලා. එහෙම බලන කොට 2001 දී එජාපය ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ භාර ගන්න විට ඒකපුද්ගල ණය 99%යි. 2002 ඒකපුද්ගල ණය 102%යි. 2003 ඒකපුද්ගල ණය 104%යි. ආණ්ඩුව පෙරළෙන කොට 2005 ඒකපුද්ගල ණය 106%යි.

     

    ඒ ජනාධිපතිතුමා රට බාරගන්න කොට තිබුණ තත්ත්වය. එතන ඉඳලා අද වෙනකොට කොහොමද? 106% තිබුණ අද ඒකපුද්ගල ණය 78% දක්වා අඩුකර තිබෙනවා. 2016දී එය 65% ගෙනියන්න අපි බලන්නේ.


    අපේ ජනාධිපතිතුමා, ජනාධිපති වෙලා ණයක් ගන්න උත්සාහ කළා කවුරුවත් දුන්නේ නැහැ. එච්එස්බීසී එකට එජාපය ගිහින් පිකට් කළා දෙන්න එපා කියලා. එදා වාණිජ පොලියට මිලියන 5000ක් ගත්තා. අද එහෙම ප්‍රශ්නයක් නැහැ. අද කිසි ම ජාත්‍යන්තර බැංකුවකින් අපි 2%ට වඩා වැඩි පොලියට ණය ගන්නේ නැහැ.
     
    මා තාක්ෂණ විශ්වවිද්‍යාලය හදාගන්න ඩොලර් බිලියන 13ක් ඕන වෙලා තිබුණා. අපි මේක චයිනීස් එක්සිම් බැංකුවෙන් ඉල්ලුවා. 2.5%ට අඩුව දෙන්න බැහැ කිව්වා. ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් අපට ඒ ඩොලර් මිලියන 1400 දුන්නා. අපි 6%ක් ගෙවනවා. හැබැයි ඒක අපේ රටට. ලෝකයේ මූල්‍ය ආයතන අද අපිට 2%ට 2.5% ණය දෙන්න ලෑස්තියි.

     

    රට වේගයෙන් සංවර්ධනය කරා යනවා. අද ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන රටවල් අතර දෙවැනි රට බවට පත්වෙලා තිබෙනවා.

     

    විපක්ෂයේ ඊළඟ තර්කය තමයි අපේ රට බංකොලොත් වෙලා. ගත වූ වසර 9 අපේ දේශීය නිෂ්පාදනය නැතිනම් රටේ ආර්ථිකය හතර ගුණයකින් වැඩි වුණා. අපේ ඒක පුද්ගල ආදායම පස් ගුණයකින් වැඩි වුණා. නිදහසින් පස්සේ හැමදාම බාල්දු වෙච්ච රුපියල අධිප්‍රමාණය වෙන්න පටන් අරන්. අපේ රටේ 15% - 20% අතර තිබුණ දුප්පත්කම 4.6%ට ඇවිල්ලා. උද්ධමනය අද 5%න් පහළ තියාගෙන ඉන්නවා.  විරැකියාව සියයට 4.4කට අඩු වුණා.

     

    මේ මාතෘ මරණ ගැන කිව්වා. මාතෘ මරණ ළදරු මරණ ඒවා වැඩි කාලේ ප්‍රේමදාස යුගයේ අන්තිම කාලේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ගත්තම ඒක හොඳට පේනවා. 2005 ලක්ෂයකට මාතෘ මරණ සංඛ්‍යාව 61යි. දැන් 38යි. 1000කට ගත්තොත් එකකටත් අඩුයි. 2005 දි ළදරු මරණ 16.2යි. අද ඒක 9යි.

     

    රටේ ඒකපුද්ගල ආදායම වැඩි වෙනවා, රටේ නිෂ්පාදනය වැඩි වෙනවා, මිනිසුන්ගේ ආයුෂ වැඩි වෙනවා, සාක්ෂරතාව වැඩිවෙනවා, සමාජ සංවර්ධන දර්ශකය; සෞභාග්‍යතා දර්ශකය අනුව ලෝකයේ අපි 60 වැනි තැන දකුණු ආසියාවේ අපි එක. මානව සංවර්ධන දර්ශකයේ ලෝකයේ අපි 90. දකුණු ආසියාවේ අපි එක.  මේ සියල්ලම ඉහළට යනවා.

     

    මේ අය-වැය ලේඛණය හරහා අතිගරු ජනාධිපතිතුමා කරලා තියෙන්නේ අද ඉපදිච්ච දරුවගේ ඉඳලා වයසකම මනුස්සයාට ශක්තියක් ලබාදීම. ඒ වගේම කෘෂිකාර්මික අංශය සේවා අංශය කර්මාන්ත අංශය වැනි සැම අංශයකම වැඩිවීමක් තියෙනවා. සියලු ගොවිතැන්වල, කර්මාන්තවල නිෂ්පාදන තත්ත්වය ඉහළ දානවා. සියලු සේවාවන්වල ආදායම් මට්ටම් ඉහළ දාන්න කටයුතු කරනවා. සංචාරක කර්මාන්තය දියුණු කරන්න අවශ්‍ය පරිසරය අය-වැයෙන් හදලා තියෙනවා. විදේශ ආයෝජකයෝ මේ රටට ගෙන්න ගන්න අවශ්‍ය පරිසරය සම්පූර්ණයෙන්ම හදලා තියෙනවා. රට වටේ වරායවල් හදනවා. රට ඇතුළේ අධිවේගී මාර්ග ඉදිවෙනවා. රට ඇතුළේ අනෙක් මාර්ග සියල්ල ම වේගයෙන් සංවර්ධනය වෙනවා. අපේ රටේ තියෙන ගංගා ද්‍රෝණි 103ම අද වෙනකොට එක්කෝ මහා වාරි ව්‍යාපෘතියක්, නැත්නම් මහා විදුලිබල ව්‍යාපෘතියක්. නැතිනම් සංවර්ධන ව්‍යාපෘතියක් අද මේවා තුළ ක්‍රියාත්මක වෙනවා. අපේ වැව් අමුණු ටික වේගයෙන් හැදී ගෙන යනවා.

     

    ළදරු අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය, ද්වීතීයක අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, පශ්චාද් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ හැම එකක් ම ඉහළ නංවන්න අවශ්‍ය මුදල් මේ අය-වැය ලේඛනයෙන් හදලා තියෙනවා.

     

    මේ අය-වැය වංචාවක්, බොරුවක්, හොරකමක්, රැවටිල්ලක්, විජ්ජාවක්, මායාවක් නෙවෙයි මේක මහා ප්‍රාග්ධන අය-වැයක්.

     

    සැකසුම - හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya