ජූලි 17, 2019
tami eng youtube  twitter facebook
    logo

    බුදු පුත් සුරක්ෂා වැඩසටහන නිමිත්තෙනි- ලක්දිව මහණ උපසම්පදාව සහ පිරිවෙණ අධ්‍යාපනය නඟා සිටුවීම: ඉතිහාසය සහ වර්තමානය

    ජූනි 26, 2019

    හෙට ( ජුනි 26 ) ඇරඹෙන බුදු පුත් සුරක්ෂා වැඩසටහන නිමිත්තෙනි.
    ලක්දිව මහණ උපසම්පදාව සහ පිරිවෙණ අධ්‍යාපනය නඟා සිටුවීම: ඉතිහාසය සහ වර්තමානය


    උඩරට සිංහලේ රාජ්‍යය කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමය වන විට ලක්දිව බුදු සසුන පරිහානියට පත් ව තිබූ බව ඉතිහාස වාර්තාවන්හි දැක්වෙයි. මේ අවදියේදී උපසම්පදාව සම්පූර්ණයෙන් අතුරුදහන්ව පැවතියේ උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ ලක්දිව වාසය නොකළ බැවිනි. සියළු සංඝයා වහන්සේ සාමනේරවරුන් වූහ. ඔවුන් අතරින් කොටසක් ගණින්නාන්සේලා ලෙසත් තවත් කොටසක් සිල්වතුන් ලෙසද බෙදී පවැතිණි. 

    මෙහිදී බුදු සසුන නැවත ස්ථාපිත කිරීමට නම් නැවතත් මහණ උපසම්පදාව ඇති කළ යුතු බවද, බෞද්ධ අධ්‍යාපනය යළි නඟාසිටුවිය යුතු බවද, එවකට සූරියගොඩ උන්නාන්සේ නමින් හැඳින්වුණු සාමනේර නමක්ව සිටි අසරණ සරණ වැලිවිට සරණංකර හිමියෝ කලපනා කළහ.

    බුදු සසුන නගා සිටුවීම සඳහා 'සිල්වත් සමාජය' නම් එකතුවක් ගොඩ නඟා ක්‍රියා කරමින් සිටි සරණංකර හිමියන් වරෙක ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ උදහසට පාත්‍රව ලග්ගල වනන්තරයට පිටුවහල් කොට තිබුණි. එසේ කරන ලද්දේ
    එවක විසූ ගණින්නාන්සේලා විසින් සරනංකර හිමියන් රජිඋට විරුද්ධව රාජ ද්‍රෝහී කටයුතු කරන බවට පැතිරවූ කට කථා හේතුවෙනි.  පසු කාලීනව සරනංකර හිමියන්ගේ නිදෝෂත්වය තේරුම් ගත් රජතුමා නැවතත් ඒ හිමියන් මහනුවරට වැඩම කරවන්නට තීරණය කළේය. මෙහිදී සරණංකර හිමියන් නරේන්ද්‍රසිංහ රජුගෙන් ඉල්ලා සිටින්නේ බෞද්ධ අද්‍යාපනය දුයුණු කිරීම සඳහා පිරිවෙණක් ආරම්භ කිරීමට රාජ අනුග්‍රහය දක්වන ලෙසය. එම ඉල්ලීම ඉටු කරමින් උඩුනුවර ඇම්බැක්කේ දේවාලය සමීපයෙහි නියමකන්ද ප්‍රදේශයේ පිරිවෙණක් ඉදි කරන ලෙස නරේන්ද්‍රසිංහ රජ සිය නිලධාරීන්ට නියෝග කළේය. එමෙන්ම නායක්කර් වංශික තම අග බිසවගේ සහෝදරයා වූ ශ්‍රී විජය රජසිංහ කුමාරයාට රාජ්‍ය පාලනය සහ බෞද්ධ රාජ්‍යයක රජකු විසින් පිළිපැදිය යුතු පිළිවෙත් පිළිබඳව අධ්‍යාපනය ලබා දීමද සරණංකර හිමියන්ට භාර කළේය. 


    ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අභාවයෙන් පසු ඔහුගේ අග බිසවගේ සහෝදරයා වූ නායක්කර් වංශික ශ්‍රී විජය රාජසිංහ උඩරට සිංහලේ රාජධානියෙහි රජ වන්නේය. එයින්, සිරි ලක නායක්කර් රජ පෙළපත ආරම්භ වෙයි. ශ්‍රී විජය
    රාජසිංහ රජතුමාගෙන් සරනංකර හිමියන් ඉල්ලා සිටින්නේ නැවතත් සිරි ලක බෞද්ධ මහණ උපසම්පදාව පිහිටුවීම සඳහා අනුග්‍රහය ලබා දෙන ලෙසය. මේ සඳහා පිරිසිදු ථෙරවාද බුදු සමය පැවතුණු සියම (වර්තමාන තායිලන්තය ) හෝ බුරුමය යන රටවල් වෙතින් උපසම්පදාව ලැබූ භික්ෂූන් වහන්සේ සිරි ලකට වැඩම විය යුතුය. 


    මේ සඳහා අනුග්‍රහය දැක්වීමට ශ්‍රී විජය රාජසිංහ රජතුමා එකඟ වෙයි. ඒ අනුව, එවකට මුහුදුබඩ පළාත්වල පාලනය ගෙන ගිය ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගම සමඟ සාකච්ඡා කොට යාත්‍රාවක් ලබා ගන්නා රජතුමා තම දූත පිරිස
    සියමට යවන්නේ උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේ මෙරට වැඩමවා ලක්දිව මහන උපසම්පදාව ඇති කරනු පිණිසය. 1741 දී මෙම දූත පිරිස 'කොන්ස්ටන්ටයින්' නම් නෞකාවෙන් පිටත්ව ගියත් මහ මුහුදේදී නෞකාව අනතුරට පත්ව මුහුදු බත්වී දූත පිරිස ජීවිතක්ෂයට පත් වෙයි. 


    ඉන් අනතුරුව තවත් දූත පිරිසක් සියමට පිටත් කොට යැවීමට රජු කටයුතු කරයි. විල්බාගෙදර රාළ, මීදෙනියේ රාළ සහ දොරණෑගම රාළ නම් වූ ප්‍රභූවරුන් පිරිසකගේ නායකත්වයෙන්  පිටත්වූ එම දූත පිරිස 1741 මැයි මාසයේදී බතාවිය හරහා සියමට යාමට පිටත් වූහ. මේ අතර ශ්‍රී විජය රාජසිංහ රජු මියගිය බැවින්, උඩරට රජතුමාගේ බල අධිකාරය නොමතිව උපසම්පදා භික්ෂූන් සිරි ලකට වැඩම කිරීමට සියමෙහි බලධාරීන් අකමැති වෙති.


    ඉන් අනතුරුව උඩරට රජ බවට පත්වන්නේ තවත් නායක්කර් වංශිකයකු වන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාය. ඔහු නැවතත් ලන්දේසීන් සමග සාකච්ඡා කොට නෞකාවක් ලබා ගෙන තුන්වන දූත පිරිසක්ද සියමට යවනු ලබයි. එම දූත පිරිස 1751 ජූලි 12 දින සියමට ළඟා වන අතර, තවත් වසර දෙකකට පසුව උපාලි මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් උපසම්පදා ලත් බෞද්ධ භික්ෂූන් වහන්සේ 1753 ජනවාරි 21 දින සියමෙන් පිටත්ව, මැයි 14 දින ත්‍රිකුණාමල වරායෙන් ලක්දිවට ගොඩ බටහ. උන්වනසේ ප්‍රධාන දූත පිරිස මැයි 18 වන දින මහනුවරට සැපත්වූ අතර, මල්වත්තේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථාන්යෙහි නවාතැන් ගත්හ. 


    මල්වතු මහා විහාරයේ උපෝසථාගාරයේදී මහණ උපසම්පදා කර්මය සිදු කරන ලද අතර, පළමුව සියමෙන් පැමිණි සාමනේර භික්ෂූන් වහන්සේ උපසම්පදා කරන ලද අතර, ඉන් අනතුරුව ලංකාවාසී සාමනේරයන් වහන්සේ උපසම්පදා කරන ලදී. පළමුව, එවකට මල්වතු විහාරයේ නායකත්වය දැරූ කොබ්බෑකඩුව උන්නාන්සේද ඉන් අනතුරුව එවකට සූරියගොඩ උන්නාන්සේ යැයි හැඳිනුවුණු වැලිවිට සරණංකර හිමියන්ද සියම් ජාතික උපාලි මහ තෙරුන් වහන්සේ වෙතින් උපසම්පදාව ලැබූහ. මින් අනතුරුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් වැලිවිට සරණංකර හිමියන් ලක්දිව සංඝරාජ ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙයින් ලක්දිව උපසම්පදාව නැවත ප්‍රතිෂ්ඨාපනය වී බුදු සසුනේ පුනරුදය උදා විය.


    එදා ශ්‍රී විජය රාජසිංහ රජතුමන් විසින් සියමට යවන ලද දෙවන දූත පිරිසෙහි නායකත්වය දරන ලද ප්‍රභූන් තිදෙනාගෙන් එක් අයෙකු වන මීදෙණියේ රාළ, වර්තමාන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මී මුත්තෙකු වීමද විශේෂයකි.  බුදු සසුන නඟා සිටුවීම සඳහා පිරිවෙණ අධ්‍යාපනය ස්ථාපිත කිරීමට සරණංකර හිමියන් දැක්වූ උනන්දුව හේතුවෙන් බෞද්ධ අධ්‍යාපනය ප්‍රචලිත විය. පිරිවෙණ අධ්‍යාපනය විධිමත් කොට, එය රජයේ අධ්‍යාපන අමාත්‍යංශය යටත්ට ගැනීම සිදු කරන ලද්දේ 1977 දී පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය විසිනි. එම රජයේ අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද 1980 වසරේදී ඉදිරිපත් කොට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පිරිවෙණ අධ්‍යාපන පනත මගින් පිරිවෙණ අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කිරීමටත්, පිරිවෙණ අධ්‍යාපන මණ්ඩලය පිහිටුවීමටත්, පිරිවෙණ ලියාපදිංචි කිරීම, නඩත්තු කිරීම සහ පාලනය සඳහා කටයුතු කිරීමටත්, පිරිවෙන පුහුණු ආයතන ස්ථාපිත කිරීමටත් පියවර ගනු ලැබිණි. මේ වන විට ශ්‍රී ලංකාවේ රජය විසින් අනුමත කළ පිරිවෙණ 753ක් ක්‍රියාත්මක ව පවතින අතර ඒවායේ ගුරුවරුන් 6,000ක් සේවයේ යොදවා ඇත. ශිෂ්‍යයන් 8,000ක් අධ්‍යාපනය ලබන බව වාර්තා වෙයි. මෙම පිරිවෙන්හි ශිෂ්‍යයන් 60,000 කට අධික පිරිසක් අධ්‍යාපනය ලබති. 

    බෞද්ධ පුනරුදය ඇති කිරීමට මුල්වූ අසරණ සරණ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ ප්‍රධාන අරමුණු දෙකෙන් එකක්ව පැවැති උපසම්පදාව යළි පිහිටුවීමට එවකට සිටි ප්‍රභූවරයෙකු වූ මීදෙණියේ රාළ උපකාරී වූ සේම, උන්වහන්සේගේ අනෙක් ප්‍රධාන අරමුණ වූ බෞද්ධ පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමට මීදෙනියේ රාළ ගේ පරම්පරාවෙන් පැවත එන මී මුණුපුරකු වන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මූලිකත්වය ගැනීම එක්තරා ආකාරයක දෛවෝපගත සිදුවීමකි. 
    --
    “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍ර‍මුඛස්ථානය පිරිනමන්නේය, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම වියයුත්තේය" යනුවෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පණවා ඇති වගකීම ඉටු කිරීමේ පියවරක් ලෙස, බුදු සසුනේ සුරක්ෂිත බව හා පැවැත්ම උදෙසා වූ බද්ධ ශාසන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන “ශාසන සුරක්ෂා” රක්ෂණයේ  සමාරම්භක නිල රාජ්‍ය මහෝත්සවය, ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා ප්‍ර‍මුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන්, ගරු රනිල් වික්‍ර‍සිංහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍ර‍ධානත්වයෙන්, ගරු ගාමිණී ජයවික්‍ර‍ම පෙරේරා බුද්ධ ශාසන අමාත්‍යතුමාගේ මෙහෙයවීම යටතේ අරලියගහ මන්දිරයේ දී 2019 ජුනි මස 26 වන දින පැවැත්වෙන අතර ඒ නිමිත්තෙන් මෙම සටහන සකස් කරන ලද්දේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය විසිනි.  “ශාසන සුරක්ෂා” වැඩපිළිවෙල තුන් වැදෑරුම්ය.

    බුදු පුත් සුරක්ෂා නමින් සියලුම භික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාත්මක වන භික්ෂූ රක්ෂණ යෝජනා ක්‍රමයක් පිහිටුවනු ලැබේ. බුදු පුත් මවුපිය සුරක්ෂා යෝජනා ක්‍රමයෙන් සසුනට තම දරුවෙකු පූජා කළ දුප්පත් දෙමාපියන් ආරක්ෂා කර පවුලේ මූලික අවශ්‍යතාවයන් සපයමින් සැපවත් කිරීම අපේක්ෂිතය.


    බොදු අරම සුරක්ෂා මගින් විහාරස්ථානයකට අවශ්‍ය මූලිකාංග නොමැති විහාරස්ථාන දියුණු කොට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම. භික්ෂූන් වහන්සේට ද දායකයින්ට ද හැකියාවක් නොමැති ආරාම අනාගතය සඳහා සුරක්ෂිත කිරීම සිදු වෙයි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya