අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලතල වැඩි කරගන්නා ප්‍රතිපත්තියෙන් මිදී උඩුගං බලා ගිය එකම නායකයා ජනාධිපතිතුමායි

    ජනවාරි 08, 2016

    dg Dr darshaniදූෂණය පිටු දැකීම හා නීතියේ ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීම මගින් රටේ යහපාලනයට අවශ්‍ය මංපෙත් විවර වී තිබෙන බවත් බලයට පත්ව,තවත් බලතල වැඩි කරගන්නා මානසිකත්වයෙන් යුත් පුද්ගල සමූහයක් සිටින රටක, එම ප්‍රතිපත්තියෙන් මිදී උඩුගං බලා ගිය නායකයෙකු සිටින වාතාවරණයක් භුක්ති විඳීමට ඉඩප්‍රස්තාව සැලසී තිබෙන බවත් විධායක ජනාධිපති ධූරයේ බලතල අවම කිරීමේ යෝජනාව ජනාධිපතිවරයා වෙතින්ම පැමිණීම ඊට කදිම නිදසුනක් බවත් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය ප්‍රකාශ කරයි.


    ''මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්'' වර්ෂ පූර්ණ ජාතික සැමරුම සහ ජනපති පදවි ප්‍රාප්තිය සැමරීම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය මේ බව පවස තිබේ.

     


    ''මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්'' වර්ෂ පූර්ණ ජාතික සැමරුම සහ ජනපති පදවි ප්‍රාප්තිය සැමරීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ නිවේදනය මෙසේ ය.

     

    ජාත්‍යන්තර නීති සහ යහපාලන සංකල්ප සියළු රටවලට පොදුවේ බලපායි. එනිසා රටක් ස්වෛරී රාජ්‍යයක් වුවද වර්තමානයේදී කිසිඳු රටක් එම සංකල්පවලින් බැහැර වී පාලනය කළ නොහැකිය.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට 2015 වසරේදී නව යුගයක් උදාවූයේ මෙවන් පසුබිමක් යටතේය. එය සනිටුහන් වූයේ 2015 ජනවාරි මස අට වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකාවේ හය වැනි විධායක ජනාධිපති ලෙස පුරවැසියන් විසින් තෝරා පත් කර ගැනීමත් සමගය.

     

    මෙම කාල පරිච්ඡේදය ලාංකේය පුරවැසියාට අතිශයින් වැදගත් වන්නේ කරුණු රාශියක් පදනම් කරගෙනය. දූෂණය පිටු දැකීම හා නීතියේ ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීම මගින් රටේ යහපාලනයට අවශ්‍ය මංපෙත් විවර වී තිබේ. ජාත්‍යන්තර ලෝකය ඉදිරියේ හුදකලා වී තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය යළි ස්ථාපිත වූ අතර විදේශ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නව මුහුණුවරක් ගෙන ඇත.

     

    බලයට පත්ව, තවත් බලතල වැඩි කරගන්නා මානසිකත්වයෙන් යුත් පුද්ගල සමූහයක් සිටින රටක, එම ප්‍රතිපත්තියෙන් මිදී උඩුගං බලා ගිය නායකයෙකු සිටින වාතාවරණයක් භුක්ති විඳීමට අපට ඉඩප්‍රස්තාව සැලසී තිබේ. විධායක ජනාධිපති ධූරයේ බලතල අවම කිරීමේ යෝජනාව ජනාධිපතිවරයා වෙතින්ම පැමිණීම ඊට කදිම නිදසුනකි.

     

    රටක කාන්තා නායකත්වය, එම රටෙහි අනාගතය වෙනස් කිරීමට දායක කරගත හැකි සාධකයකි. දේශපාලනය සඳහා කාන්තා දායකත්වය 25% කින් වැඩි කිරීමට රජය විසින් පියවර ගෙන ඇත්තේ එබැවිනි.

     

    පරිසරය රැක ගැනීමද දිවි දෙවැනිව කළ යුතු වන්නේ එමගින් අනාගත පරම්පරාවම සුරක්ෂිත කිරීමට පදනම වැටෙන බැවිනි. 27% වන දේශීය වන ගහණය 32% දක්වා වර්ධනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත්තේ එබඳු අනාගත දැක්මක් සහිතවය.මේ සියල්ල සමග සසඳන කල, මාධ්‍ය ක්ෂේත්‍ර‍යේ නව උදාව බෙහෙවින් සැලකිල්ලට ගත යුතුය.  

     

    අතුරුදහන් වීමෙන් වැළකීම, පහරදීම්වලින් වැළකීම හා ප්‍රශ්න කිරීම්වලින් තොර වීම ම මාධ්‍යවේදීන්ට ලැබුණු අපමණ නිදහසකි. තමාට අභිමත අයුරින් අදහස් පළ කිරීමේ අයිතිය ඔවුනට ලැබී ඇත්තේ සාධාරණ සමාජයකට වග කියන්නවුන් බවට පත් කිරීමේ අභිලාෂයද අතැතිවය.

     

    මාධ්‍යවේදීන්ට ලැබෙන සහනද අප්‍රමාණය. නිවසක් තැනීමේ ඔවුන්ගේ සිහිනය සපුරණු වස් දියගම විශාල මාධ්‍ය නගරයක් තැනෙයි. ගමන් බිමන් පහසුව සරිලනු වස් යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙයි. පීඩාවට, රෝගාබාධවලට ලක් වූ මාධ්‍යවේදීන්ගේ දුක් සැප සොයන්නට සුභ සාධන ව්‍යාපෘති මෙන්ම තරුණ ප්‍රජාවගේ මාධ්‍ය සාක්ෂරතාව නංවාලන අදහසින් ඇසිදිසි අරුණ වැනි වැඩසටහන් බිහිවේ.

     

    යහපාලනය අර්ථවත් කිරීමේදී විනිවිද භාවය අතිශයින් වැදගත්ය. ඒ උදෙසා තොරතුරු දැනගැනීමේ පනත නීතිගත කිරීමට විධිවිධාන යොදා තිබේ. මෙයින් තහවුරු වන්නේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියයි.එමගින් සංවර්ධනය වන රටකට වඩා, සංවර්ධිත රටක අභිලාෂ සපුරා ගැනීමේ ප්‍රයත්නයක රජය යෙදී සිටින බව ඉඳුරා පැවසිය හැකිය.

     

    ඉහත සාකච්ඡා කළ නොකළ සියලුම සංවර්ධන කාර්යයන් අදාල කොට ගෙන වගකීමෙන් යුත් මාධ්‍ය සම්ප්‍රදායක් බිහිකිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාරයයි. මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ පනත රටක දියුණුව මනින ප්‍රධානතම සාධකයකි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අවශ්‍ය මනාව දැනුවත් වූ සමාජයක් බිහි කිරීම අපගේ වගකීම වනවා පමණක් නොව, ඒ සඳහා ක්‍රියා මාර්ග ගැනීමද අපගේ ව්‍යායාමයයි.

     

    දැනුමින් සුපෝෂිත, තොරතුරුවලින් සන්නද්ධ, නිදහස් හා නිවහල් ජාතීන්ගෙන් යුක්ත සමාජයක් බිහි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට හැකිවෙතැයි අපේක්ෂා කරන අතර ඒ සඳහා ඇති කාර්යභාරය බෙහෙවින් භාරදූර බවද සනිටුහන් කරනු කැමැත්තෙමි.

    ආචාර්ය දර්ශනී ගුණතිලක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya