මාර්තු 25, 2019

tami eng youtube google twitter facebook

    පටු ආකල්පයක සිට මිශ්‍ර අධිකරණය දෙස බැලිය යුතු නෑ

    නොවැම්බර් 06, 2015

    මිශ්‍ර අධිකරණය සම්බන්ධයෙන් ඇති සමාජ මතය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලය ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාව ඇසුරින් මෙය සකස් කර ඇත.

    දෙමුහුන් අධිකරණය ගැන කතා කරන විට ජනතා පරමාධිපත්‍ය කියලා සංකල්පයක් තිබෙන බවත් දැනට තිබෙන දේශාපාලනය තුළ පරමාධිපත්‍ය ඉහළ ම පරමාධිපත්‍ය රාජ්‍ය වන බවත් ඒ මහතා පෙන්වා දෙයි. එහිදී රාජ්‍ය තුළ පරමාධිපත්‍ය ප්‍රකාශ වන ආකාර 3ක් තිබෙන අතර එය ව්‍යවස්ථාදායකය, විධායක හා අධිකරණය නම් වේ. මූලික මූල ධර්ම තමයි මෙම භාවිත තුනෙහිම පදනම ජනතා පරමාධිපත්‍ය තුළ පිහිටා තිබීම. ව්‍යවස්ථාදායක බලය අදාළ රාජ්‍යයෙහි බල ප්‍රදේශය වෙනවා. එම බලය ද අවසාන වශයෙන් මහජනයා අතේ පවති. මහජනයාගේ කැමැත්ත අභිමතය එහි තිබෙනවා. එනම් යම්කිසි දෙයක් කිරීමට ඇති පරම බලය ජනතාවට තිබෙන ව්‍යවස්ථාදායකයේ මෙම බලය වක්‍රව හා සෘජුව ක්‍රියාත්මක වෙනවා. ජනමත විචාරයක් තුළ සෘජුව ජනතා බලය ප්‍රකාශ කරන අතර ජනතා නියෝජිතයන් මඟින් වක්‍රව බලය ක්‍රියාත්මක වෙනවා.

     

    විධායක බලය ද දේශපාලන හා පරිපාලනය අනුව ක්‍රියාත්මක වෙනවා. මෙහි දේශපාලන පක්ෂ පත් වන්නේ ජනතා පරමාධිපත්‍ය හරහාය.ඒ අනුව විධායක ජනාධිපතිවරයා ඇමැතිවරුන්, පළාත් සභා නියෝජිතයින් මඟින් මෙම විධායක බලය ද ක්‍රියාත්මක වෙයි.

     

    අධිකරණ බලය ක්‍රියාත්මක වීම මීට වඩා තරමක් වෙනස්. අධිකරණ විනිශ්චයකරු සෘජුව ජනතාව විසින් පත් කරනු ලබන්නේ නැත. නමුත් අවසාන වශයෙන් පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට හා විධායකයට යම් කිසි මැදිහත් වීමක් සිදු කළ හැකිය. ඉහළ අධිකරණ පත් කිරීම් සිදු කරන්නේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා මහජන නියෝජනයෙන් පත් වන කෙනෙකි. විශ්වාසභංග යෝජනා ගෙන එමින් ඒ අය ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තු නියෝජිතයින්ට තිබෙනවා. ඒ අනුව අධිකරණ බලය ද ජනතාවගේ පරමාධිපත්‍ය බලය මුල්කරගෙන ක්‍රියාත්මක වේ.

     

    මේ ආකාරයට රාජ්‍ය බලය තිබෙන ප්‍රධාන අංශ තුනම මූලික වශයෙන් ජනතා පරමාධිපත්‍ය බලය මුල්කරගෙන පවතී. දේශීය යාන්ත්‍රනයක් මේ තුළින් ක්‍රියාත්මක වන අතර රාජ්‍ය බල ප්‍රදේශයේ සිටින පුරවැසියන් එය ක්‍රියාත්මක කරයි. ඒ අනුව අධිකරණය හා පුරවැසියා අතර සෘජු සම්බන්ධතාවයක් ඇති වේ.

    මිශ්‍ර අධිකරණය කියන්නේ දේශීය වශයෙන් මහජනතාවගේ පරමාධිපත්‍යයේ දිගුවක් ලෙස තිබෙන අධිකරණ යාන්ත්‍රණයට අමතරව තව වෙනත් බාහිර සංඝටක එනම් බාහිර විනිශ්චයකාරවරුන් වැනි පිරිසක් බාහිරින් පැමිණීමයි. ඔවුන් ජාත්‍යන්තරව පැමිණෙනවා. එසේ පැමිණ ඇතිකර ගනු ලබන අධිකරණ සම්බන්ධීකරණයක් යම්කිසි යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම මිශ්‍ර අධිකරණයක් ලෙස අදහස් කෙරේ.

    මෙහි ඇති ගැටලුව තමයි ජනතා පරමාධිපති මූලධර්මය උල්ලංඝනය වනවා කියන එක. දැනට ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥයින් අදහස් දක්වා ඇති පරිදි මෙවැනි මිශ්‍ර අධිකරණයට ලංකාවේ ඉඩ නැත. මා දකින ලෙස එය ක්‍රියාත්මක වන ආකාරය අනුව ශ්‍රී ලංකාවේ පදනම් වී තිබෙන මූලධර්ම දෙස බලන විට එයට සාධාරණ තර්කයක් ගොඩනැගිය හැකිය. නමුත් මෙහි තව පැත්තක් තිබෙන මුත් එය ලංකාවේ නිර්වචනය කරන්නේ කිසියම් ආකාරයක පටු විදියටයි. එනම් දේශීය වශයෙන් නමුත්, අප දන්නා පසුගිය දශක ගනනාවක් තුළ එනම් පළමු ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතින්ගේ සංවිධානය, මානව හිමිකම් ගැන ජාත්‍යන්තර ප්‍රඥප්ති ඇති වීම, ජාත්‍යන්තර අපරාධ නීතිය වැනි දේවල් තුළින් පෙනෙන්නේ මූලික මූලාශ්‍ර තිබෙන්නේ ජනතා පරමාධිපත්‍ය තුළ බවයි. ඒ කියන්නේ ජාත්‍යන්තරය යනු යම්කිසි බලයක් යටතේ ක්‍රියාත්මක වන සීමිත පිරිසක් නොවේ. සමස්ත මානව වර්ගයා ලෙස විශ්වයේ කොතැනක මානවයන් හිටියත් ඒ සෑම අයෙකුම නියෝජනය කරන දේවල්. මෙය වර්තමාන දේශපාලන ක්‍රමයේ එක කොටසක්. ජනතා පරමාධිපත්‍ය කියන එක ජාතික සීමාවක් තුළ නිර්වචනය කිරීමට හැකි වන අතර නැතිනම් සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ම නිර්වචනය කළ හැකිය. ලෝකය ජාතික රාජ්‍යයන් බවට බෙදී තිබුණට එතැන තිබෙන්නේ ජාතික රාජ්‍යයට ඉක්මවා ගිය තත්ත්වයක්. මිනිස්සු හැම තැනම නෛතික රාමු හා සංක්‍රමණ නීති විරෝධී නොවන ලෙස සිදු වෙන අතර මනුෂ්‍ය දේශපාලන යථාර්ථය හා බැදුණු චර්යාවන්ට තිබෙන ජාතික රාජ්‍යයන් එහා ගිය භූමිකාවක්. මේ තත්ත්වය තුළ තවදුරටත් පටු විදියට ජනතා පරමාධිපත්‍ය නිර්වචනය කිරීමට අපහසු වෙනවා.

    ඒ වගේම ලෝකයට ම බලපෑම් ඇති කරන ලෝක පරිසර ප්‍රතිපත්තිය ගෙන එන්නේ සමස්ත ලෝකයටම බලපෑම් ඇති කරන නිසා. ඒවාට අදාළ ප්‍රඥප්ති ජාත්‍යන්තර වශයෙන් ගොඩනගා ගෙන ජාත්‍යන්තර වශයෙන් එකඟත්වයන්ට පැමිණ තිබෙනවා. මේ අනුව ජනතා පරමාධිපත්‍ය නිදහස් සංකල්පයක් නොවන අතර වාස්තවික බැඳීමක් තිබෙන තනි මතයක් ද එහි නැත. බලපෑම් ක්ෂේත්‍රය ආවරණය සඳහා ලෝකයේ සන්ධාන වී තිබෙන අතර මූල ධර්ම යථාර්තවාදී හා ප්‍රතිමාණ මූලධර්ම තිබේ. යථාර්ථය අනුව මේවා යළි නිර්වචනය කිරීමට සිදු වී තිබෙනවා. ජාතික රාජ්‍ය ඇති වූයේ ඓතිහාසික සිදු වීම් මත වුවත් අද ඉන් එහාට යාමට අපට සිදු වී ඇත. විශ්වීය වශයෙන් ජනතා පරමාධිපත්‍ය කියන මූලධර්මය මනෝ මූලික පදනමක් නොව වාස්තවික පදනමක් තිබෙන බවයි මා විශ්වාස කරන්නේ.

     

    මිශ්‍ර අධිකරණය ගෙන ඒමට විරුද්ධව තිබෙන මතයට ප්‍රතිවිරුද්ධ මතය ද වන්නේ එයයි.

     

    නීතිය ඓතිහාසික වශයෙන් අවස්ථානුකූලව සාදා තිබෙන අතර සමහර විට කෙනෙකුට පැහැදිලිව එය අවස්ථානුකූලව ගැළපෙන්නේ නැති බව පෙනෙන්නට පුළුවන්. නිදසුනක් ලෙස ලංකාවේ මැතිවරණ නීතිය පෝස්ටර් ගහන්න බෑ. නමුත් එය තේරුමක් නැති නීතියක්.

     

    යම්කිසි අවස්ථාවකදී ගැටුමක් ඇති විට කොයි පැත්තද ගන්නේ කියලා තීරණය කරන්න ඕන. යල් පැනි ගිය නීති ඕන තරම් තියෙනවා. සම්පූර්ණයෙන්ම මේ තත්ත්වය පැත්තට දාන්න එකඟ වෙන්නේ නැහැ. මේ තත්ත්වය දේශීය වශයෙන් විනිර්මුක්ත කිරීමට කැමැති නැහැ. මානව හිමිකම්වලට අදාළව අද යුක්තිය පසඳලීම යන ඒවා ගත්තාම සරණාගතයින් දේශසීමා ඉක්මවා යාම ජාතිකවාදී අයිතියෙන් සීමා කළ හැකි ද යන ප්‍රශ්නය නැගෙනවා. ඒ අනුව ජාතික පදනම මත මනුෂ්‍යාගේ අයිතිය ජාතික වශයෙන් ඉක්මවා ගිය පදනමක් මත නිර්වචනය කිරීමට පදනමක් තිබෙනවා. මේ අනුව මිශ්‍ර අධිකරණ යන සීමාව තුළ අප බැලිය යුක්තේ ඒක ප්‍රතික්ෂේප කරන්න නෙවෙයි. ඒක අපේ නෛතික සීමාවේ තිබෙන සීමාවක් විදියට. අපි ගතයුතු සීමාවක් විදියට. ඒක ප්‍රතික්ෂේප කරන අය ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෛතික මූලධර්මයක් ලෙස ගෙන නොවේ. ඒක ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන මතයක සිට. ඒ අය හිතනවා වෙන බාහිර බලවේගවලට ලංකාවේ කටයුතුවලට ඇගිලි ගැසීමට අයිතියක් නෑ. ඒක ඉතා පටු ආකල්පයක් බවයි මගේ හැගීම වන්නේ.

    එසේම මිශ්‍ර කියන වචනය හෝ වෙනත් වචනයකින් හෝ එම ක්‍රියාවලිය සිදු විය යුතුව තිබෙනවා. වෙන වචනයක් ආවත් විරෝධය එනවා. වචනයක් නැති උනත් ඒ විරෝධය එනවා. ඒ විරෝධය එන්නේ දැනට ලංකාවේ තිබෙන ජාතිවාදි දෘෂ්ටියක් හරහායි. ඒක නිසා හොඳ වචනයක් දැම්මත් ඒක හරියන්නේ නැහැ. ඒ ගොල්ලොත් දන්නවා වචනය වෙනස් කලාට විරුද්ධත්වය වෙනස් වෙන්නේ නෑ. අපි ඒකට අභිමුඛ වෙන්න ඕනි. යථාර්ථයට මුහුණ දිය යුතුයි. හයිබ්‍රිඩ් කියන වචනය නරක වචනයක් නෙවෙයි. එහි පදනම සාකච්ඡා කළ යුතුයි. බල කණ්ඩායම් විසින් හැසිරවීමේ ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඒක ජාත්‍යන්තර අධිකරණය පමණයක් නොව රට අභ්‍යන්තරයේ ඒ ප්‍රශ්නය තියෙනවා. අපි දන්නවා රට අභ්‍යන්තරයේ බල කණ්ඩායම් විසින් අධිකරණය හසුරවනවා. එකත් ජනතා පරමාධිපත්‍යයට පටහැනි ලෙස සිදු වන අතර එතැන දී ජාත්‍යන්තර ද දේශීය ද කියන එක නෑ.

     

    මිශ්‍ර අධිකරණයක් කියන දේට මම සහයෝගය දෙනවා. ඊට පදනම තමයි ජාත්‍යන්තර ස්වභාවය ඒ තුළින් මතු වේවි. අනෙක් එක තමයි සමහර දේවල යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කිරීමට තිබෙන එක කොන්දේසීයක්. ඒ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය අගතිවිරහිතවීමයි. යුද අපරාධවලට අදාළ විභාග කළ යුතුයි කියන කාරණය එන්නේ දෙමළ ජනතාවගෙන්. මෙහි ප්‍රධාන වින්දිතයා දෙමළ ජනතාව. සිංහල ජනයත් සිටිනවා. මෙහි මතභේදාත්මක තත්ත්වය තිබෙන්නේ ලංකාවේ හමුදාව මඟින් කළ කටයුතු සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් දක්නට ලැබීම. මෙම අධිකරණ සම්බන්ධයෙන් සමාජීය වශයෙන් වැඩි බලපෑමක් සිදු කිරීමට හැකියාව තිබෙන්නේ සිංහල සමාජයට. ඒ අනුව දෙමළ සමාජයට ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් දේශීය වශයෙන් සිදු කරනු ලබන තීරණයක් අගතිගාමී නොවේය යන්න කීමට ඇති සහතිකය කුමක් ද යන ප්‍රශ්නය මතු වෙනවා. නමුත් අපට මෙහි ඇති නෛතික ප්‍රතිපාදන පෙන්වා දිය හැකිය. නමුත් පුද්ගලයෝ සියයට සියයක්ම කටයුතු කරන්නේ නෛතික ප්‍රතිපාදන මත නෙවෙයි. ඒ අයට බලපාන සාධක කිහිපයක් මත ඒ අය කටයුතු කරනු ලබයි. ඒ අනුව පුද්ගලික අගතීන් මෙන් බාහිර බලපෑම් තිබෙන්න පුළුවන්. ඒ බාහිර බලපෑම් දේශපාලන හෝ මහජන බලපෑම් වෙන්න පුළුවන්. නිදහසුක් ලෙස අධිකරණ විනිශ්චයකාරවරයෙකු තීරණයක් දී ගෙදර ගිය විට මට කුමක් වෙයිද යන ප්‍රශ්නය පැන නගිනවා. අසල්වැසියන්ගෙන් රටවැසියන්ගෙන් මොන බලපෑම් එයිද? ඒක ඔහු ගේ මනසේ ක්‍රියා කරනවා. මනුෂ්‍යා සෑම විටම තමාගේ ආරක්ෂාව ගැන හිතනවා. ඒ සාධක බැහැර කළ හැකි දෙයක් නෙවෙයි. මේ අනුව සිංහල සමාජයට අධිකරණය හරහා බලපෑමක් සිදු කළ හැකි නිසා මේ වැනි කාරණා ප්‍රශ්න කරුණු අනුව නියම විදියට සාධාරණයක් සිදු වන්නේ ද යන්න පිළිබඳ වින්දිතයින්ගෙන් බහුතරයක් වූ දෙමළ සමාජයට ප්‍රශ්නයක් මතු කරන්න සාධාරණ පදනමක් තිබෙනවා. එතකොට මෙවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක තිබෙන සුජාත භාවය , විශ්වසනීයත්ව ප්‍රශ්නයට ලක් වීමෙන් එය වැඩක් නැති දෙයක් බවට පත් වෙනවා.

     

    මේ අනුව බාහිර පාර්ශවයක මැදිහත්වීම අවශ්‍යයයි. එතකොට එම කාරණා දෙක අතර සාකච්ඡාවක් තිබීම වැදගත් වෙනවා. මෙහිදී දෙමළ සමාජයේ විශ්වසනීත්වය පමණක් ප්‍රමාණවත් නොවන අතර මේ සඳහා සිංහල සමාජයේ විශ්වසනීයත්වයත් අවශ්‍යයයි. මෙහිදී ප්‍රශ්නය සමනය කිරීම සඳහා මිශ්‍ර අධිකරණය සුදුසු ක්‍රියාමාර්ගය බව වැඩිදුරටත් සඳහන් කළ හැකි බව මගේ මතය වන බව තවදුරටත් ප්‍රකාශ කරනවා.

     

    සාකච්ඡා කළේ- ප්‍රදීපා දිසානායක

     

    මේ සඳහා විද්වත් අදහස් ඵල කිරීමට ඔබටත් අවස්ථාව ලබා දිය හැකි අතර ඔබගේ අනන්‍යතාවය සඳහන් කර ස්වයං නිර්මාණ ලිපි This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ලිපිනයට යොමු කරන්න.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu