අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජපක්ෂ ආණ්ඩුවේ පශ්චාත් යුදමය ත්‍රස්තවාදය මැඩලීමේ උපක්‍රම අසාර්ථකයි

    ජූනි 24, 2015

    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්  විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මතු කරන ලද ප්‍රශ්නයට 2015 ජූනි 24 දින පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලද ප්‍රකාශය මෙසේ ය.

     

    “ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් “ත්‍රස්තවාදය සහ ගෝලීය ත්‍රස්තවාදයේ රටාවන් පිළිබ රාජ්‍යයන් සම්බන්ධයෙන් වු වාර්තාව අදාළ කොට ගරු විපක්ෂ නායකතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුර දීමට මා කැමැත්තෙමි.

     

    මේ මාසයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳ වාර්තාව ප්‍රකාශයට පත් කරන ලදී. වාර්තාවට අදාළ වන්නේ 2014 වර්ෂයේ කටයුතු වන අතර, එම කාලයේ දී ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ද රාජපක්ෂ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු විය.  එම වාර්තාවට අනුව 2014 වර්ෂයේ දී එල්ටීටීඊයට සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙකු මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. තවද, මෙම වාර්තාවේම 2013 වර්ෂය සඳහා වූ විස්තර අනුව එල්ටීටීඊ සංවිධානයේ සහයෝගිතා ජාලය සක්‍රීය බව ප්‍රකාශ කොට තිබුණි. එකල පැවති රජය තමන් ත්‍රස්තවාදී තර්ජනය සදාකාලයටම මුලිනුපුටා දැමූ බව හඬගා කියද්දී එසේ කටයුතු සිදුවෙමින් පැවති බව වාර්තාවීම පුදුම සහගතය.

     

    එසේ බලද්දී රාජපක්ෂ ආණ්ඩුවේ පශ්චාත් යුදමය ත්‍රස්තවාදය මැඬලීමේ උපක්‍රම අසාර්ථක බව, මෙසේ යුද්ධය හමාරවී වසර 05 කට පසුත් එල්ටීටීඊ සංවිධානයට මූල්‍යමය හා සහයෝගිතා ජාලයක් පවත්වාගෙන යාමට හැකිවීමෙන් පෙනී යයි.

     

    මේ අනුව ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නයට දිය හැකි සරල පිළිතුර නම්, වර්තමාන රජය ජූනි 19 වැනි දින නිකුත් කරන ලද එම වාර්තාව පිළිබඳව හොඳින් දැනුවත් බවයි.

     

    ගරු කථානායකතුමනි,

     

    ඔබතුමා දන්නා පරිදි ත්‍රස්තවාදය මැඬලීමේ ගෝලීය ක්‍රියාදාමයේ දී ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා විසින් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන රාජ්‍යයන් හඳුනාගැනීමත්, ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදුවන රටවල් පිළිබඳ විස්තර ඇතුළත් කිරීමත් මෙම වාර්තාව විසින් මූලිකව සිදුකරනු ලබයි. තවද, පවත්නා නීති රෙගුලාසි අනුව වාර්තාව මඟින් ද්විපාර්ශ්විකව හා බහුපාර්ශ්වික ත්‍රස්ත විරෝධී සහයෝගිතාවයන් පිළිබඳ ගැඹුරු විමර්ශනයක් සිදු කරයි.

     

    ත්‍රස්ත විරෝධී ක්‍රියාදාමයේ සක්‍රීය දායකත්වයක් දරන සියලු රාජ්‍යයන්ට, ජාත්‍යන්තර ආයතනයන්ට සහ ඒජන්සි සඳහා මෙම වාර්ෂික වාර්තාව ඉතා ප්‍රයෝජනවත් බව අප විසින් සැලකිල්ලට ගත යුතුය.

     

    ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් නිවැරදි ලෙස දක්වා ඇති පරිදි යුද්ධය හමාර වී වසර 05 කට පසුව පමණ වුව ද තවමත් ප්‍රචණ්ඩකාරී තර්ජනයන් පවතින බව නොකිවමනාය. මෙහිදී අප විසින් විවාද කළ යුත්තේ 2004 වර්ෂයේ සිට වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාවක් පිළිබඳව වර්තමාන රජය දන්නා නොදන්නා බව නොව රාජපක්ෂ ආණ්ඩුව කාලයේ දී පශ්චාත් යුද ත්‍රස්ත විරෝධී උපක්‍රමයන්  මෙතරම් අවාසනාවන්ත බිඳ වැටීමකට ලක් වූයේ කුමක් නිසාද යන්නය.

     

    ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ අනාගත ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා නව උපක්‍රම සොයාගත යුතු බව ඒ අනුව අප විසින් තේරුම් ගත යුතු වේ.

     

    ගරු කථානායකතුමනි,

     

    අප රජය ඒ සම්බන්ධයෙන් ඇති දැක්ම වෙනත් ස්වරූපයක් ගනී. කුමන ජනවාර්ගික, ආගමික, පාංතික හෝ සංස්කෘතික කණ්ඩායමකට අයත් වුවත්, රාජ්‍යයේ කටයුතු පිළිබඳ විරුද්ධ අදහස් දරන ජනතාවගේ හදවත් සහ සිතුවිලි දිනාගැනීම සඳහා අප විසින් නවමු උපක්‍රම භාවිතා කරමින් සිටිමු. එහිදී අපගේ දේශ සීමාවන් ශක්තිමත්ව පවත්වා ගනිමින් නාවික ආරක්ෂාව නොසැලී තර කරමින් මෘදු බලය හා රාජ්‍යතාන්ත්‍රික හැකියාවන් උපරිම ලෙස යොදා ගැනීම මෙහිදී  සිදුකෙරෙමින් පවතී. ප්‍රචණ්ඩකාරී රැඩිකල් කණ්ඩායම් වෙත ආකර්ශනය වී සිටින ජනතාව ඔවුන්ගෙන් දුරස්කරවා ඔවුන් සඳහා වන පිළිගැනීම අහිමි කිරීම ද, එම කණ්ඩායම් සඳහා ඇති උපකාරක පදනම අහිමි කිරීම මඟින් ඔවුනගේ පැවැත්ම තහවුරු කෙරෙන උපකරණ හා මානසික ප්‍රබෝධය ලබා නොදීම අපගේ ක්‍රමවේදයයි.

     

    ගරු කථානායකතුමනි,

     

    ත්‍රස්තවාදී තර්ජනය කුමන ස්වරූපයෙන් පැවතිය ද  එය මැඬලීමේ ක්‍රියාදාමය අප රජය විසින් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට බැඳී ඇති  බව මෙම ගරු සභාවට දැනුම්දීමට කැමැත්තෙමි. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මෙය වර්තමානයට ද, අනාගතයට ද අදාළ නොබිඳෙන ප්‍රතිපත්තියක් බව මතක් කිරීමට කැමැත්තෙමි. අපගේ ජාතිය පසුගිය ඉතිහාසයේ දශක ගණනාවක් මුළුල්ලේම ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා විශාල අලාභහානිවලට ලක් වූ බව අප සැම දන්නෙමි. වෙළඳ පොළවල්වල, නගර මධ්‍යයේ, දුම්රිය සහ බස්රියවල ද, ආගමික සිද්ධස්ථානවල ද, වාණිජ  කේන්ද්‍රස්ථානවල ද සිදු වූ බෝම්බ පිපිරීම් පිළිබඳ ශෝකී මතකයන් අප සියලු දෙනාගේ හදවත් තුළ නොනැසී පවතී. ගැටුම්වලට මැදි වූ ජාතියක් ලෙස කර ප්‍රචණ්ඩ ක්‍රියාවලට අප සියලු දෙනා කිසියම්ම හෝ ආකාරයකින් ගොදුරු වී තිබේ.

     

    එවැනි ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදී  යුගයකට මේ රට කිසිදා ඇද නොදැමීමේ සුවිශාල වගකීම එක් පක්ෂයකට, එක් ආණ්ඩුවකට හෝ එක් නායකයෙකුට පමණක් සීමා කළ යුතු නොවේ. එය සියලු දෙනාගේ පොදු වගකීමයි.

     

    දිගු තොරතුරු විමසීමකින් අනතුරුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ කොටසක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

     

    දෙමළ ජනතාවගේ ගැටළුව විසඳීමේ දී,  ජාතික යහපත ගැන සිතා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි නායකයන් විසින් සම්මුතියක් ඇති කොට ගෙන එම ජනතාවට භාර ගත හැකි  විසඳුමක් සොයා ගත්තේ නම්, ගැටුමක් නිර්මාණය වීමට හැකියාවක් නොතිබුණි. දෙමළ නායකයින් ද රට බෙදා වෙන්කිරීමේ යාන්ත්‍රණයකට අනුබල දීම ගැන දෙමළ දේශපාලන නායකයින් ද සමසේ වගකිව යුතුය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට අයත් දකුණේ දේශපාලන නායකයන් ජාතික අභිලාශයන් වෙනුවෙන් ක්‍රියා කළේ නම් හා දමිළ ජනතාව සඳහා පිළිගත හැකි විසඳුමක් ලබාදීම සඳහා ඔවුන් අතර ඒකමතිකභාවයක් නිර්මාණය කරගත හැකිව තිබුණේ නම් මෙම ගැටුම වළක්වා ගැනීමට තිබුණි. සන්නද්ධ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීමෙන් සහ සිංහල හා දමිළ ජන දෙකොටසටම එරෙහිව එල්ටීටීඊය විසින් භාවිතා කරන ලද ත්‍රස්ත ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමෙන් වැළකී සිටියා නම් සහ එල්ටීටීඊයට සහ ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහිව ශක්තිමත්ව සහ නොබියව ඉදිරියට පැමිණියේ නම් වළක්වා ගැනීමට හැකියාවක් තිබූ මෙම ගැටුම සඳහා දමිළ නායකයින් ද ඒ හා සමාන ප්‍රමාණයකින්ම වගකිව යුතු වේ. පාර්ශ්ව දෙකෙන් කුමන හෝ පාර්ශ්වයකට සිදු වූ දේ පිළිබඳව සාමූහික වශයෙන් පශ්චාත්තාප වීම පහසු කටයුත්තක් නොවේ. එසේ කළහැකි වන්නේ, මිනිසුන්ට අත් වී ඇති ශෝචනීය තත්ත්වය හමුවේ විචක්ෂණ හා සදාචාර සම්පන්න ස්වයං ඇගයීමක් කිරීමට ඔවුන් සූදානම් වන්නේ නම් පමණි.

     

    ගරු කථානායකතුමනි,

     

    ඔබ විසින් දන්නා පරිදි එක්සත් ජනපදයේ එල්ටීටීඊ සංවිධනය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් ලැයිස්තුවේ තවමත්  පවතී. අතීතයේ දී එල්ටීටීඊ මුදල් සැපයුම සහ සහයෝගිතා ජාලය දුර්වල කිරීම සඳහා මෙරට සමඟ එක්ව කටයුතු කළ එම  රාජ්‍යයන් සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තර කිරීමේ කටයුතු මෙම රජය විසින් සිදුකරමින් පවතී.

     

    1997 දී එල්ටීටීඊ සංවිධානය තහනම් කළ එක්සත් ජනපදය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය (TRO) ද තහනමට ලක් කළ මුල් පෙළේ රාජ්‍යයන්ගෙන් එකකි. එක්සත් ජනපදයේ දී ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වූ එල්ටීටීඊ සැකකරුවන්ට විරුද්ධව ක්‍රියා කිරීම  පිණිස අප දෙරටේ ආරක්ෂක අංශ අතර මනා සහයෝගයක් ක්‍රියාත්මක වෙමින් පවතී. තවද, 2009 දී යුදමය පරාජයට පත් වූ  එල්ටීටීඊ සංවිධානය අඩපණ කිරීම පිණිස මෙම එක්සත් ජනපද තහනම කේන්ද්‍රීය පිටුවහලක් විය. මෙලෙස එක්සත් ජනපදය සහ අනිකුත් රටවල් විසින් සිදු කළ තහනමෙන් ලංකාවේ ත්‍රස්තවාදී කටයුතු සිදුකිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයට අත්‍යවශ්‍ය මූල්‍ය සම්පත් ලැබීම සම්පූර්ණ ඇණ හිටිණි.

     

    ගරු කථානායකතුමනි,

     

    එල්ටීටීඊයට සම්බන්ධ සංවිධාන පිළිබඳ පූර්ව ආරක්ෂක පියවර ගැනීමත්, ඒ පිළිබඳ අවධියෙන් සිටීමත් රජය විසින් සිදුකරන්නේ ද යන්න දැනගැනීමට ගරු විපක්ෂ නායකතුමා කැමැත්තෙන් පසු වේ. තවද, එතුමා රජය විසින් එවැනි සංවිධානවල කටයුතු විභාග කරන්නේ ද යන්නත්  දැනගැනීමට බලාපොරොත්තු වේ.

     

    අපගේ රජයේ ආයතන සියල්ල තමන්ගේ සමාන්තර අනිකුත් රාජ්‍යයන් හි බලධාරීන් සමඟ බුද්ධි අංශ විස්තර බෙදාහදා ගැනීමත්, විශේෂයෙන්ම ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉතා සමීප සහයෝගිතාවයන් පවත්වාගෙන යන බවත් ගරු විපක්ෂ නායකතුමාට මතක් කර දීමට කැමැත්තෙමි. මූල්‍යමය ජාලයන් අඩපණ කිරීමත් මෙම ක්‍රියාදාමයේ ම කොටසකි. එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බලශක්ති සංවිධාන සමඟ රටෙහි නාවික මුහුදු සීමාවන් ආරක්ෂා කර ගැනීම සඳහා හවුල් වැඩ පිළිවෙලක්  පවත්වා ගෙන යයි. දේශ සීමා සහ ආනයන පාලන කටයුතුවල දී, එක්සත් ජනපද වෙරළාරක්ෂක හමුදාව විසින් ලංකාවේ වෙරළාරක්ෂක බලකාය සහ නාවික හමුදා නිලධාරීන් පුහුණු කිරීම නොකඩවා සිදු කෙරේ. රේගු බහාලුම් ආරක්ෂක වැඩසටහන යටතේ අප රජය, එක්සත් ජනපදයේ රේගු හා දේශ සීමා ආරක්ෂක ආයතන සමඟ නොකඩවා සමීප සහයෝගයක් පවත්වා ගෙන යයි.

     

    තවද, යුරෝපා සංගමයේ අධි තාක්ෂණික මගී තොරතුරු පද්ධතිය අයත් ආගමන දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධවී යුරෝපයට සංක්‍රමණය වන ශ්‍රී ලාංකික මගීන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලාංකික ආගමන විගමන නිලධාරීන් වෙත සෘජුව ලබාදීම ද සිදු කෙරෙමින් පවතී.

     

    පරමාණු ත්‍රස්තවාදී කටයුතු නිශ්ක්‍රීය කෙරෙන ගෝලීය සංධානයේ රටවල් 85 අතරට ශ්‍රී ලංකාව ද සක්‍රීය දායකත්වයක් ලබා දෙන බව කිව යුතුය.

    ගරු කථානායකතුමනි,

     

    අප රජය ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව උපරිම ලෙස සුරක්ෂිත කිරීමට දැඩිව බැඳී සිටින බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

     

    දශක ගණනාවක් තිස්සේ ත්‍රස්ත විරෝධී නොසැලෙන ප්‍රතිපත්තියක් ආරක්ෂක සහ බුද්ධි අංශ පිළිබඳ ආයතන ද, මාගේ අමාත්‍යාංශය ද එක්ව ක්‍රියාත්මක කොට ඇති බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. 2006 වසරේ දී මා විදේශ ඇමතිව සිටින කාලය තුළ එල්ටීටීඊ සංවිධානයේ යුරෝපා සංගමයේ තහනම් කිරීම පළමු වතාවට සිදු කරන ලදී. පසුව 2014 දී එම තහනම ඉවත් කරන ලදී. කෙසේවුවද, මෙම අවුරුද්දේ මාර්තු 26 දින යුරෝපා කවුන්සිලයේ අංක 2015/521 තීන්දුව මගින් නැවත වතාවක් එල්ටීටීඊ සංවිධානය තහනම් ගත ලැයිස්තුවට ඇතුළත් කළ බව කීමට කැමැත්තෙමි.

     

    එක්සත් ජනපද ත්‍රස්තවාදය පිළිබඳ වාර්තාවට අනුව එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාන්විත ප්‍රදේශය ලෙස ලංකාව සහ ඉන්දියාව හඳුනාගෙන තිබේ. අප රටවල් දෙකෙහිම එල්ටීටීඊ සංවිධානය තහනම් බව ඔබතුමා දන්නේය.

     

    ගරු කථානායකතුමනි,

     

    කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව ජීවත් වූ ජනතාවක් ජනවාරි 8 වැනි දිනෙන් පසුව සියලු දෙනාහට සත්‍ය ප්‍රතිසන්ධානය, දිගු කාලීන සාමය, ගෞරවණීය සහ සෞභාග්‍යමත් ජීවිතයක් පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇති කරගත්හ. එක්සත් සහ සාමයෙන් පිරි ලංකාවක් පිළිබඳ සිහිනය අතහැර දමා මේ රට අතහැර විදේශගතව සිටි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජනතාව නැවත වතාවක් නොබියව සාමයෙන් පිරි දේශයක එක්සත්ව හා සෞභාග්‍යමත්ව ජීවත්වීමේ නැවුම් බලාපොරොත්තු ඇති කරගෙන තිබේ. කලෙක දී එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ තමන්ගේ කැපවීම ප්‍රකාශ කිරීමට අකමැති වූ ජනතාවක් නැවත වතාවක් තමන්ගේ ස්ථාවරය පිළිබඳ නැවත සිතමින් පසුවෙති.

     

    දෙමළ ජනතාවගේ සුභසාධනය පිළිබඳ අවධානය යොමු කරන පුද්ගලයන් සහ ප්‍රචණ්ඩ බෙදුම්වාදී සැලැස්මක් කරතබා ගත් පුද්ගලයන් අතර පවතින සුවිශාල වෙනස්කම් හඳුනා ගැනීම අපගේ ජාතියට භාර කොට තිබේ. අවතැන්වූවන් සහ රැඳවුම් කඳවුරුවල සිටින්නන් පිළිබඳ තම හඬ නඟන අය ද, ප්‍රචණ්ඩ කටයුතුවලට අනුබල දෙමින් නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකරමින්, ආධාර රැස්කරන්නන් අතර ද පැහැදිලි වෙනස අප විසින් හඳුනාගත යුතුය. මෙම වෙනස හඳුනාගැනීම, මෙරටේ ප්‍රචණ්ඩ අතීතය සදාකාලයටම අමතක කොට යහපත් අනාගතයක් ගොඩ නැගීමේ අඩිතාලම දමා ගැනීම සඳහා වැදගත් වේ.  අපගේ මතය නම්, සියල්ලන් සමඟ සබැඳියාවන් ඇති කොටගෙන  සංවාද ගතවීම තුළින්, විරුද්ධ මත දරන්නන්ට ඇහුම් කන්දීම සහ දුක් ගැනවිලි ඇති අයගේ ප්‍රශ්න විසඳාදීම ප්‍රචණ්ඩත්වයේ මං ඇහිරවීමේ මඟ බවයි.

     

    මේ වසරේ මැයි 19 වැනි දින අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කළ පරිදි,  2009 මැයි මාසයේ දී හමාර වූ යුද්ධයෙන් තුවාල වූ  මේ රටේ ජනතාවගේ හදවත් සහ සිතුවිලි සුවපත් කිරීමට අප අපොහොසත් වී ඇත්තෙමු. එබැවින් අප ජාතියේ ප්‍රධාන අරමුණු ද්විත්වය විය යුත්තේ සංහිඳියාව සහ සංවර්ධනයයි. තුවාල වූ අප රට පුරවැසියන්ගේ හදවත් සහ සිතිවිලි සුවපත් කිරීමට පිළියම් යොදන අතරතුර නොබෙදුනු ශ්‍රී ලංකාවක් සඳහා ඔවුනගේ අධ්‍යාත්මය ගොඩනැගීම අපගේ මූලික අරමුණ වේ. 

     

    ගරු කථානායකතුමනි,

     

    නොබෙදුනු එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා වර්තමානයේ බර තබා කටයුතු කරන්නේ දෙමළ ජනතාවගේ මධ්‍යස්ථ දේශපාලන හඬ සහ සත්‍ය නියෝජනය මේ අවස්ථාවේ දී ලබා දෙන දෙමළ ජාතික සන්ධානයයි. අප සමාජයේ ජීවත්වන රැඩිකල් කණ්ඩායම් මුලිනුපුටා දැමීම සඳහා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය තුළ තවදුරටත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මකවීම සඳහා ඉඩ හසර ලබාදිය යුත්තේ ඔවුනටය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ප්‍රවාහය දේශපාලනයට ගෙන ආවාක් මෙන් දෙමළ ජනතාවට ද තමන්ගේ දුක් ගැනවිලි, තෝරාගත් නියෝජිතයන් හරහා පිළිගත් රාජ්‍ය ව්‍යුහයන් සහ ප්‍රචණ්ඩ විරෝධී මතවාදයන් තුළින් ඉදිරිපත් කිරීමට ඉඩ හසර ලබාදිය යුතුය.

     

    අප රටේ හුදෙකලා සහ රැඩිකල්කරණයට ලක් වන දුක් ගැනවිලි පිරි ජනකොටස් අතරින් මතුවිය හැකි නව ආකාරයේ ත්‍රස්තවාදයන් පිළිබඳ පුරෝකථනය කිරීම හෝ ඔවුන් සම්පූර්ණයෙන් පාලනය කිරීම සමහරවිට අපහසු විය හැක. ඔවුන් කුඩා සහ භූගෝලීයව විසිරී සිටී නම් ඕනෑම හමුදාවකට එවැනි කණ්ඩායම් ඉලක්ක කොට මෙහෙයුම් සිදු කිරීම අපහසු අභියෝගයකි. අපට නොසැලකිලිමත් සැලසුම් හෝ රටේ සියලු ජනතාව ආවරණය නොවන උපක්‍රම මඟින් හා රාජ්‍යතාන්ත්‍රික අසමත්කම් නිසා නැවතත් මේ රටේ ආරක්ෂාව සහ ස්ථාවරභාවය අවදානමකට ලක් කළ නොහැක. ජාත්‍යන්තර නීති පද්ධතිය තුළින් ඇති සහයෝගීතාවය ද, ස්වදේශීය අපරාධ අධිකරණ ක්‍රම වේදය ද යොදා ගැනීම සහ පීඩාවට පත් වූ ජන කොටස් වෙත තවදුරටත් ළඟාවීම මඟින් ප්‍රචණ්ඩත්වයේ මුදුන් මුල් මුලිනුපුටා දැමීම සඳහා කාලය පැමිණ තිබේ. ත්‍රස්තවාදී සංවිධානයන්හි  ජීවනාලිය වන ජනතා හදවත් සහ සිතිවිලි වල ඇති බැඳීම  සදාකාලයටම දුරස්ථ කළ හැකි වන්නේ ඉහත උපක්‍රම මඟිනි.

     

    එබැවින් අප විසින් ගෙන යන විශ්වාසය ගොඩනැගීම, සංහිඳියාව සහ සංවර්ධනය පිළිබඳ ගමනට අප හා එක්වන ලෙස ගරු විපක්ෂනායකතුමාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. මෙරටේ ජීවත් වන සියලුම ජන කොටස්, විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජීවත්වන සුළු ජන කොටස් අතර පවතින සැබෑ දුක් ගැනවිලි සහ  ප්‍රශ්න පිළිබඳව විසඳුම් සෙවිම සඳහා අප හා එක්වන ලෙස ඉල්ලා සිටිමි. ත්‍රස්තවාදයේ බිහිසුණු හිස නැවත කිසිදා නොඑසවීමට ඇති නොවරදින මඟ එය බව මාගේ විශ්වාසයයි.“

     

    MEA/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya