නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද
  • SocialShare:

 2026 ජනවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද ආරම්භ වන අතර, පාර්ලිමේන්තුව අද(06) සිට ලබන 09 වැනිදා දක්වා රැස් වෙයි.

අද(06) පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ අංක 2371/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ අංක 2428/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගැනීමට නියමිතය. ඉන්පසු ‍ප.ව 3.30 සිට ප.ව 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ 2025.12.28 දිනැති අංක 2468/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ප්‍රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී තිබේ.

තවද මෙදින ප.ව 5.30ට න්‍යාය පුස්තක අංක 3හි දින නියමයක් නොමැතිව සඳහන් කර ඇති පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයාබලා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ස්ථාපිත කිරීමට අදාළ යෝජනා සම්මතය ද අනුමතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

හෙට(07) පෙ.ව 9.30 පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද පෙ.ව 10.30 - පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් නියමිත වී තිබේ. ඉන්පසු ප.ව 5.00 ‍ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමටත් මෙහිදී තීරණය වී ඇත.

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර තිබේ.