අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ ක්‍රීඩාව දියුණු කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක්

    අගෝස්තු 29, 2014
    උතුරු පළාතේ ක්‍රීඩා සංවර්ධන කටයුතු පුළුල් කර ක්‍රීඩාව ගම් මට්ටමෙන් දියුණු කිරීම සඳහා ආරම්භ කර ඇති පළාත් ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිවලට අමතරව උතුරු පළාතේ යාපනය, මුලතිව්ල වව්නියාව, කිලිනොච්චිය හා මන්නාරම යන දිස්ත්‍රික්කවල පාසල් ක්‍රීඩාංගණ දියුණු කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උතුරු පළාත් ක්‍රීඩා සංවර්ධන විශේෂ රැස්වීමේ දී එකඟ වී ඇත.
     
    යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව උතුරු නැගෙනහිර පළාතේ ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 360ක වියදමකින් ආරම්භ කළ කිලිනොච්චි පළාත් ක්‍රීඩා සංකීර්ණය නිමවීමෙන් පසුව එම පළාතේ ක්‍රීඩා කටයුතුවල ද සීග්‍ර දියුණුවක් ඇතිවෙන බැවින් ග්‍රාම සේවා වසම් මට්ටමේ සිට උතුරු පළාතේ දක්ෂ ක්‍රීඩකයන් හඳුනාගෙන ක්‍රීඩා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ව පුළුල් දැනුමක් ලබා දී ඔවුන්ගේ දක්ෂතා ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙනයාම සඳහා පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
     
    උතුරු පළාතේ පැවති දීර්ඝ කාලීන යුද්ධය හේතුවෙන් පළාතේ ක්‍රීඩා කටයුතු සංවර්ධනය සඳහා ක්‍රීඩා නිලධාරීන්, ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමට නොහැකි වූවත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකටම ක්‍රීඩා නිලධාරීන් හා ක්‍රීඩා පුහුණුකරුවන්ගේ පුරප්පාඩු පිරවීමට කටයුතු කළ අතර පසුගිය කාලපරිච්ඡේදයේදී උතුරු පළාතේ තෝරාගත් පාසල් හා ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණ හා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමට ද කටයුතු කර තිබේ. 
     
    පළාතේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා පළාත් ක්‍රීඩා අමාත්‍යාංශවලට මූල්‍ය ප්‍රතිපාදන අඩු මට්ටමක පවතින බැවින් ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.
     
    විශේෂයෙන් උතුරු පළාතට ආවේණික වූ ක්‍රීඩා ඉසව් හඳුනාගෙන එම ක්‍රීඩා ඉසව් දියුණු කිරීම සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් දියත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන අතර විශේෂයෙන් පාපන්දු, ක්‍රිකට්, කබඩි, ජිම්නාස්ටික්, හොකී, රග්බි, බොක්සිං, මලල ක්‍රීඩා සඳහා දක්ෂ පුහුණුකරුවන් හා පහසුකම් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බව මෙහිදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කළේය.
     
    මෙම අවස්ථාවට උතුරු පළාතේ ක්‍රීඩා අමාත්‍ය ගුරුකුරරාජා, උතුරු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක එස්.එම්. රාජා රණසිංහ, පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂක සත්‍යපාලන්, පළාත් සභා මන්ත්‍රී ආනොල්ඩ්, පළාත් ක්‍රීඩා අමාත්‍ය ලේකම් එස්. සත්‍යසීලන් යන මහත්වරු සහ ක්‍රීඩා නිලධාරීන්, දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්, ක්‍රීඩා පුහුණුකරුවන්  ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya