සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය සහ මත්ස්‍ය අපනයන සමාගම්වල නිලධාරීන් හා නියෝජිතයන් ධීවර අමාත්‍යංශයේ දී අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ මෙම උපදෙස් නිකුත් කෙරිණ. ධීවර සංස්ථාව මඟින් මිලදී ගන්නා මත්ස්‍ය තොගවල ගුණාත්මකභාවය අනුව වර්ග කර ඒවා වැඩි මිලකට මිල දී ගැනීමට මෙහි දී මත්ස්‍ය අපනයන සමාගම් නියෝජිතයෝ එකඟත්වය පළ කළහ.
විදෙස් සමාගම්වලට අයත් ධීවර යාත්‍රා මඟින් සිදු කරන ධීවර මෙහෙයුම් සම්බන්ධයෙන් ද මෙහිදී එකඟතාවක් ඇති කර ගැනිණි. ධීවර නියෝජිතයන් පැවසුවේ යුරෝපා කොමිසමේ හා ඉන්දීය සාගර කලාපයීය ටූනා කොමිසමේ නිර්නායක අනුව විධිමත් ලෙස ධීවර මෙහෙයුම්වල නිරත වන එවැනි විදෙස් යාත්‍රා සම්බන්ධයෙන් තමන්ගේ විරෝධයක් නොමැති බවයි. එම නිර්නායකයන්ට අනුව අදාළ යාත්‍රා කටයුතු කරන්නේ ද යන්න නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
යුරෝපයට ශ්‍රී ලංකාවෙන් මසුන් අපනයනය කිරීමට පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් දැනට ගෙන යනු ලබන ක්‍රියාමාර්ග ද අමාත්‍යවරයා විසින් මෙහිදී ධීවර නියෝජිතයන්ට පැහැදිලි කරන ලදී. ඒ අනුව කඩිනමින් එම තහනම ඉවත් කර ගැනීමට රජය කැපවීමෙන් ක්‍රියාකරන බව ද ජෝසප් මයිකල් පෙරේරා මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.
NDH