නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තහනම් පන්න ක්‍රමයන්ට එරෙහි ව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න - ධීවර අමාත්‍ය

    පෙබරවාරි 25, 2015
    තහනම් පන්න ක්‍රම උපයෝගී කර ගනිමින් මසුන් මැරීමේ නිරත වන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
     
    1996 අංක 02 දරන ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ බලාත්මක වන නියෝග මාලාවන්ට අනුව තහනම් කරන ලද ධීවර ආම්පන්න සහ ඩයිනමයිට් යොදා මසුන් මැරීම සිදු කරන්නන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර නඩු පැවරිය යුතු අතර ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. එසේ වූවද තහනම් පන්න යොදා ගනිමින් මසුන් මැරීම තවදුරටත් සිදු වන බවට ධීවර අමාත්‍යවරයා වෙත පැමිණිලි ලැබෙමින් පවතී. ඒ අනුව ඒ පිළිබඳ මෙහෙයුම් කටයුතු පුළුල් කරන ලෙසත්, නීති විරෝධී පන්න ක්‍රම උපයෝගී කරගන්නන්ට එරෙහි ව නීතිය දැඩි ව ක්‍රියාත්මක කර නඩු පවරන ලෙසත් අමාත්‍යවරයා, නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඊට අදාළ උපදෙස් සෑම දිස්ත්‍රික්කයකම ධීවර සහකාර අධ්‍යක්ෂවරුන් මඟින් ධීවර පරීක්ෂකවරුන්ට දැනුම් දුන් බව ද ධීවර දෙපාර්තමේන්තුව මෙහිදී සඳහන් කළේය. 
     
    මේ අනුව තල්ලු කරනු ලබන දැල්, වොක්සි දැල් හා තංගුස් දැල් යොදා ගනිමින් මසුන් මැරීමත්, කරමල් දැල් සහ ත්‍රිත්ව දැල් කොරල් සහ ගල්පර මත එළීමත්, ඇවුළුම් ඊතළ හා බිලී භාවිත කර මුහුදු ක්ෂීරපායින් ඇල්ලීම සහ ඩයිනමයිට් යොදා මසුන් මැරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ධීවර දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මෙම නිවේදනයේ සඳහන් පන්න ක්‍රමවලට අමතරව බලපත්‍ර නිකුත් කරනු නොලබන කිසිදු පන්න ක්‍රමයක් මඟින් මසුන් මැරීම ද  නීති විරෝධී බව ධීවර දෙපාර්තමේන්තුව පැවසීය.
     
    එසේම ශ්‍රී ලංකා ජල තීරය තුළ බලපත්‍ර රහිත ව ධීවර මෙහෙයුම් සිදු කරන තැනැත්තන්ට එරෙහි ව නඩු පවරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya