නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාදැල් ධීවර කාර්මිකයන් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙනවා - ධීවර රාජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 14, 2015

    මාදැල් ධීවරයන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොදෙන බවත් ඔවුන් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙමින් ජීවන තත්ත්වය උසස් කරන්න කටයුතු කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශ පරිශ්‍රයේදී සමස්ත ලංකා ධීවර හිමියන්ගේ ධීවර සමුපකාර සමිති නියෝජිතයන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

    මාදැල් ඇදීමේ "වින්ච්" තාක්ෂණික මෙවලම් යොදාගැනීම සඳහා පුත්තලම, මන්නාරම, කිලිනොච්චි, යාපනය, මුලතිව්, ත්‍රීකුණාමලය සහ කල්මුණේ දිස්ත්‍රික්කවලට අවසර ලබාදීමට තීරණය වුණා. මාදැල් ධීවර කර්මාන්තය සිදුවන්නේ සුළුපන්න ධීවර කාලසීමාවේදීම නිසා දෙපාර්ශවය අතර ගැටලු ඇති නොවන ලෙස තම ධීවර කටයුතුවල යෙදෙන ලෙස මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

    දැනට මාදැල් බෝට්ටු ක්‍රියාත්මක වන්නේ ධීවරයාගේ ශ්‍රම ශක්තියෙන්. දියරැල් වේගවත් වීම නිසාද, මුහුදේ රළ වැඩි වීම නිසාද තම ශ්‍රම ශක්තියෙන් බෝට්ටුව හසුරුවන ධීවරයාට නිවැරදිව බෝට්ටුව මාදැල් වරායට ගෙන ඒමට නොහැකි වීමෙන් අනතුරු සිදුවිය හැකි බව නියෝජිත මහතුන් ප්‍රකාශ කළහ. ඒඅනුව මෙම අවස්ථාවට සහභාගී වූ නාරා ආයතනයේ නිලධාරී මහත්වරුන් ඇමතු අමාත්‍යවරයා එම අවදානම් කලාප හඳුනාගෙන ඒ පිළිබඳ වාර්තාවක් සපයන ලෙස ප්‍රකාශ කළ අතර, එම හඳුනාගත් ප්‍රදේශවල ධීවර කටයුතු කරන ධීවර බෝට්ටුවල අශ්ව බල 9 හෝ ඊට අඩු ධාරිතාවයක් සහිත එංජින් සවිකර තබාගැනීමට අවසර දෙන ලෙස නිලධාරීන් දැනුවත් කළේය.

    එමෙන්ම දළුව නිර්මල පුර මාදැල් වරායන් 8ට ලබා දී තිබූ මීටර් 320 බලපත්‍ර පිළිබඳව, සාකච්ඡාවේදී අදහස් පැවසූ අතර සමිති නියෝජිතයින් එම සීමාව යාර 450 ලෙස වෙනස් කර බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලීමක් කළහ.

    අමාත්‍යවරයා මේ පිළිබඳ සොයාබැලීම් සිදුකරන ලෙස පැමිණ සිටි නිලධාරීන්ට නියෝග කළ අතර යාර 450 සීමාව සම්බන්ධයේ අතිරේක ගැටලු නොමැති නම් එලෙස බලපත්‍ර වෙනස් කිරීමට කටයුතු යොදන ලෙස ප්‍රකාශ කළේය.

    මෙම හමුවේ දී මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂ බල ප්‍රදේශය පුල්මුඩේ සිට පැමිණෙන කුඩා බෝට්ටු හිමි ධීවරයින් කෝකිලායි සිට පේපාරපිට්ටි දක්වා රාත්‍රී කාලයේදී "ලයිට් කොස්" මඟින් නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තයේ යෙදීම සාකච්ඡාවට බඳුන් වූ අතර අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදාව සමඟ සාකච්ඡා කර වැටලීම් සිදුකරන්නට පියවර ගන්නා බව පැවසුවේය.

    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "සංචාරක කර්මාන්තය නිසා ඉඩකඩම්වල වටිනාකම ඉහළ ගිහිල්ලා. මේ නිසා වෙරළ තීරයේ අනවසර ඉඩකඩම් අල්ලා ගැනීම් සිදුවෙලා තියෙන බව පෙනෙනවා. ධීවර තොටුපොළවල්වලට යන එන මංමාවත් පවා මේ නිසා ඇහිරි ඇති බවට පැමිණිලි එනවා. මේ සම්බන්ධයෙනුත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ධීවර අමාත්‍යාංශය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වෙලා මේ අනවසර අත්පත් කර ගැනීම් නවත්වන්න කටයුතු කළයුතුයි " යැයි පැවසීය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් නිමල් හෙට්ටිආරච්චි, ධීවර කළමනාකාර අධ්‍යක්ෂ නන්දසේන, සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සමුපකාර සමිතිය නියෝජනය කරමින් එම සමිතියේ සම සභාපති නිමල් කුරේරා, ලේකම් ස්ටැන්ලි පිරිස් යන මහත්වරු සහභාගී වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya