නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඓතිහාසික ගොඩනැගිලි සංවර්ධනය කිරීමට නෙදර්ලන්ත රජයේ සහාය

    පෙබරවාරි 11, 2015
    රට තුළ  ඇති ඓතිහාසික ගොඩනැගිලිවල අතීත ප්‍රෞඩත්වය හා පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ ආරක්ෂා වන අයුරින් සංවර්ධනය කිරීමට නෙදර්ලන්ත රජයේ සහාය ලබාදීමට කැමැත්ත පළ කොට ඇත.
     
    මේ බව අණාවරණය වූයේ ශී‍්‍ර ලංකාවේ නෙදර්ලන්ත තානාපති ලොයිස් ඩබ්.එම්. පියෙට් මහතා  සහ නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අතර පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව පැලවත්ත ලක්දිය මැදුරේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණ. 
     
    නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප‍්‍රධාන නගර ආශ‍්‍රිත ව ඇති ඓතිහාසික වැදගත්කමකින් යුත් පෞරාණික ගොඩනැගිලි නව යුගයට ගැළපෙන අයුරින් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විටත් කි‍්‍රයාත්මක කර ඇත. 
     
    එම ව්‍යාපෘතිය සඳහා ආධාර ලබාගැනීම හා නව ආයෝජන අවස්ථා ඇති කිරීමේ අරමුණින් මෙම හමුව සිදු කෙරුණි. 
     
    මෙහිදී නෙදර්ලන්ත තානාපතිවරයා දැනුවත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඹ හා ගාල්ල ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ලන්දේසි සමයේ ඉපැරණි ගොඩනැගිලි නවීන ලෙස සංවර්ධනය කර නව ආයෝජන අවස්ථා බිහි කර ඇති බවයි. ඉදිරියේ දී දිවයින පුරා ප‍්‍රධාන නගරාශ‍්‍රිත ව ඇති මෙවැනි ඓතිහාසික වටිනාකමින් යුත් ගොඩනැගිලි සංරක්ෂණය කර නව ආයෝජන අවස්ථා බිහි කිරීමට ඇති හැකියාව පිළිබඳ ව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියහ. 
     
    ශ්‍රී ලංකාව 1948දී නිදහස ලැබීමට පෙරාතුව වසර 144ක් යටත්විජිතයක් ලෙස පැවැති අතර ඕලන්ද පාලනය යටතේ තිබූ අවස්ථාවේ එරටේ ගෘහ නිර්මාණයන්ට අනුව ඉදිකිරීම් රැසක් ඕලන්ද කොටුවල තවමත් නිරුපද්‍රිතව තිබේ. ඒවායේ පෞරාණික වටිනාකම ආරක්ෂාවන අයරින් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබේ.
     
    නාගරික සංවර්ධන අධිකාරිය මගින් කි‍්‍රයාත්ම කරන ලද මෙම සුවිශේෂී සංවර්ධන ව්‍යපෘතිය පිළිබඳ ව විශේෂ ඇගයීමක් කළ තානාපතිවරයා ඒ සඳහා නෙදර්ලන්ත රජයේ පුර්ණ සහයෝගයත්  නව ආයොජකයන් සොයා ගැනීම සඳහාත් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ද මෙහිදී අමාත්‍යවරයා වෙත සැලකර සිටියේ ය.  
     
    ඒ හා සමගාමීව සිදුකෙරෙන ඓතිහාසික මහනුවර බෝගම්බර බන්ධනාගාර පරිශ‍්‍රයේ හා ඇහැලේපොළ වලව්වේ සංවර්ධන කටයුතු පෞරාණික වටිනාකමට හානි සිදු නොවන අයුරින් සංරක්ෂණය කර ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ද නෙදර්ලන්ත රජයේ පූර්ණ අනුග‍්‍රහය ලබාදෙන බව ද මෙහිදී සඳහන් කෙරුණි.  
     
    ශ‍්‍රී ලංකාවේ සිදුකෙරෙන ඉදිරි සංවර්ධන කටයුතු සඳහා නෙදර්ලන්ත රජයේ අවධානය යොමු කර ඒ පිළිබඳ ව රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට ද මෙහිදී වැඩිදුරටත් තානාපතිවරයා එකඟ විය. 
     
    තවද ත්‍රීකුණාමලයේ ලන්දේසි පාලන සමයේ ඉදිකරණ ලද පෞරාණික වටිනාකමින් යුත් ගොඩනැගිලි අභාවයට යා නොදී රැක ගනිමින් නවීන පහසුකම් සහිත ව ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ඒවා ද සංචාරක ආකර්ෂණීය ස්ථාන බවට පත්කිරීමට කටයුතු කරන බව ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදි.
     
    මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් මුයනුදීන් යන මහත්වරුන් ද, 
    නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya