නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දින 100 කඩිනම් නිවාස සංවර්ධන වැඩසටහනට එතෙරින් අතහිත

    පෙබරවාරි 11, 2015
    නිවාස සංවර්ධනයට අදාළ දින 100 කඩිනම් වැඩසටහනට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු ජාත්‍යන්තර ආයතනවල මෙන් ම විවිධ රාජ්‍යයන්ගේ අනුග්‍රහය ලබාදෙන ලෙස නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් කර ඇති ඉල්ලීමට ධනාත්මකව ප්‍රතිචාර දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක සුබායි නන්දි මතා පවසයි.
     
    ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නිවාස හා සමෘද්ධි අමාත්‍යංශයේ දී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
     
    මෙම සාකච්ඡාවේදී දින 100 ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත නිවාස ලක්ෂයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ව අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරයා දැනුවත් කරන ලදි.
     
    දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන මෙම කඩිනම් නිවාස සංවර්ධන වැඩසටහන  සිය අමාත්‍යංශයේ මඟ පෙන්වීමෙන් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් දියත් කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ යටතේ අවශ්‍යයෙන් ම නිවාස පහසුකම් ලැබිය යුතු තැනැත්තන් සඳහා ප්‍රමුඛතාව හිමිකර දෙන බවද පැවසීය. ඔවුන් තෝරා ගැනීමෙන් පසුව අදාළ නිවාස ඉදිකිරීම සඳහා සුදුසු බිම් කොටස් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දායකත්වයෙන් හඳුනාගැනීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    මෙහිදී අදහස් පළ කළ සුබායි නන්දි මහතා බොහෝ රාජ්‍ය ආයතන විසින් මෙවැනි ජාතික මට්ටමේ නිවාස වැඩසටහන් සංවිධානය කිරීමේදී හා ඒවා ක්‍රියාවට නැංවීමේදී දීර්ඝ කාලයක් ගතවන බවත්, මෙවැනි ක්‍රමාණුකූල හා කඩිනම් නිවාස සංවර්ධන වැඩසටහනක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව තමන් මුල්වරට දැනුවත් වූ බවත් පැවසීය. 
     
    මෙම සාකච්ඡාවට නිවාස හා සමෘද්ධි අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ඒ. තිලකරත්න, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර සම්බන්ධීකාරක රාජේන්ද්‍ර කුමාර් ගනේෂරාජා යන මහත්වරු ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya