නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා සංගමයේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න තවත් සය මසක සහන කාලයක් ඉල්ලුවා

    ජනවාරි 21, 2015
    මෙරට ධීවර කර්මාන්තයට යුරෝපා සංගමයෙන් පනවා ඇති කොන්දේසි ක්‍රියාත්මක කිරීමට තවත් සය මසක සහන කාලයක් ලබාදෙන ලෙස නව රජය ඉල්ලීමක් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ පිළිබඳ කළ සාකච්ඡාවකින් පසු එම ඉල්ලීම යුරෝපා කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර නව රජය කෙරෙහි විශ්වාසය තබමින් එම සහන කාලය අපට හිමිවනු ඇතැයි ද  අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ධීවර රාජ්‍ය අමාත්‍ය ධූරයෙ හි සිය රාජකාරි අරඹමින් අමාත්‍යාංශයේ පැවති උත්සවයේදීය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. "හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ කොමිසමේ කොන්දේසි සපුරාලීමට විශේෂ වැඩ කොටසක් කළා. එහෙත් එතුමාට පසුගිය රජයේ ප්‍රතිපත්ති මෙන්ම ආර්ථික බලපෑම නිසා මේ ගැටලුව නිරාකරණය කරගන්න බැරි වුණා. මේ තත්ත්වය යටතේ ලංකාවේ ධීවර ක්ෂේත්‍රය කඩා නොවැටී තබාගැනීම අපගේ උත්සාහයයි. මෙරට කෙළවල්ලන් අපනයනය පහත වැටුණොත් අනෙක් සෑම මත්ස්‍ය නිෂ්පාදනයක්ම පහත වැටෙනවා. එසේ වූ විට ධීවර ක්ෂේත්‍රයේ කඩාවැටීම සිදුවෙනවා. මේ දේ සිදුනොවීමට වගබලා ගැනීම මගේ අරමුණ. 
     
    මේ අමාත්‍යාංශයේ තිබෙන දියවර දිරිය වැඩසටහන, ධීවර රක්ෂණ ක්‍රමය, ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ඇතුළු සංවර්ධන වැඩසටහන් මා ඉදිරියට ගෙන යනවා. ධීවර අමාත්‍යාංශය අනුබද්ධ ආයතන 07ක සේවකයන් 4,097ක් සිටිනවා. දින 100 වැඩසටහනට අනුව මේ වසර සඳහා වෙන්වී ඇති රුපියල් මිලියන 2,295න් වරායන්, නැංඟුරම් පොළ හා තොටුපොළ ඉදිකරන්න, ධීවර රක්ෂණ විශ්‍රාම වැටුප්, ණය ආධාර, දැල් ආම්පන්න ඇතුළු සංවර්ධන කාර්යයන් රැසක් සිදුකරන්න මා බලාපොරොත්තු වනවා.
     
    මෙරට ධීවර කර්මාන්තයේ ආරම්භකම ක්ෂේත්‍රය වන මාදැල් ධීවර කර්මාන්තය මගේ පවුලටත් ඉතා සම්බන්ධයි. දකුණු පළාතේ හම්බන්තොට දිස්‍ත්‍රික්කයේ මාදැල් කර්මාන්තයේ මූලිකත්ව‍ය ගෙන කටයුතු කළේ මගේ පියාණන් ඇතුළු සැමයි. මා නිරතවන්නේත් ඒ ක්ෂේත්‍රයේයි. අපි සැබෑ ධීවර සාමාජිකයන්. මේ නිසා එම කර්මාන්තය ද සුරැකීමට අප විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා " යැයි පැවසීය.
     
    මේ අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර යන මහත්වරු ද ඇතුළු පිරිසක් එක්වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya