නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා යෝජිත දැදුරු ඔය සහ රුවන්වැල්ල ජල සම්පාදන යෝජනා ක්‍රම

    ජනවාරි 01, 2015
    සියලු ජනතාවට සුරක්ෂිත පානීය ජලය සැපයීම යන රජයේ ඉලක්කය ඉටු කරගැනීම උදෙසා කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ජනතාවගේ ජල සම්පාදනය වැඩිදියුණු කිරීමට ඇ.එ.ජ. ඩොලර් මිලියන 78.685ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 10,230ක) සහනදායී ණය ගිවිසුම් දෙකකට එළඹීමට කොරියානු ජනරජය එකඟ වී ඇත.
     
    ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇත. අනාරක්ෂිත භූගත ජලය පරිභෝජනය කිරීම තුළින් නිදන්ගත වකුගඩු රෝගයේ බලපෑමට ලක්වූ ප්‍රදේශ ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව හා පොල්පිතිගම කොට්ඨාස හඳුනාගෙන ඇත. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ ජනතාව වියළි කාලයේදී ජල මූලාශ්‍ර සිඳීයාම හේතුවෙන් පානීය ජලය සපුරාගැනීමේ ගැටලුවට මුහුණ දෙනු ලබයි. එබැවින්, නළ ජල සම්පාදන යෝජනා ක්‍රම ඇති කිරීම මඟින් මහව, පොල්පිතිගම සහ රුවන්වැල්ල ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත පානීය ජල පහසුකම් ලබාදීම අත්‍යවශ්‍ය වන අතර එමඟින් එම ප්‍රදේශයන් හි ජලය මඟින් ඇති වන රෝග ප්‍රමාණය සහ පවත්නා පානීය ජල ගැටලු අවම කිරීමට හැකිවනු ඇත.
     
    ඉහත අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා මූල්‍යාධාර ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය, කොරියානු ජනරජය සමඟ සිදු කරන ලද ද්විපාර්ශවික සාකච්ඡාවන් හි ප්‍රතිඵලයක් වශයෙන් දැදුරු ඔය ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා ඇ.එ.ජ. ඩොලර් මිලියන 58.155ක්ද (ආසන්න වශයෙන් රුපියල් මිලියන 7,560) සහ රුවන්වැල්ල ජල සම්පාදන යෝජනා ක්‍රමය සඳහා ඇ.එ.ජ. ඩොලර් මිලියන 20.530ක් ද (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,670) වශයෙන් සහනදායී ණය, ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා ලබාදීමට කොරියානු අපනයන-ආනයන බැංකුව එකඟතාව පළ කර ඇත.
     
    ඉහත ස‍ඳහන් කරන ලද ණය ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම්, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර  සහ කොරියානු අපනයන-ආනයන බැංකුවේ උප සභාපති යිම් සෙඔන්ග්-හියොග් යන මහත්වරුන් අත්සන් කිරීම පසුගියදා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. මෙම ව්‍යාපෘතීන් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය යටතේ ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ක්‍රියාවට නංවනු ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya