දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී වගා හානියට පත් වූ ගොවීන් වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කරන ඉදිරි පියවර සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (29) ගොවිජන මන්දිරයේ දී පැවැත්විණ. ඒ අවස්ථාවේදී මේ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙවර කන්නයේ වගා කටයුතු සාර්ථකව සිදු කළ ද අධික වර්ෂාව නිසා අස්වැන්න විනාශ වීමෙන් අපේක්ෂිත අස්වැන්න අඩු විය හැකි බැවින් සිදු වූ වගාවට වන්දි ලබාදෙන අතරම ඊළඟ කන්නය සඳහා ගොවීන් වෙනුවෙන් සහනාධාර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. විශේෂයෙන් බිත්තර වී නොමිලේ ලබාදීම සහ අනෙකුත් බීජ රජයේ සහනාධාර ක‍්‍රමය යටතේ කඩිනමින් ගොවීන් වෙත ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඊට අමතරව ගංවතුර තත්ත්වය පහවීමෙන් අනතුරුව නැවත කුඹුරු සකස් කිරීම සඳහා වන්දි ලබාදීමටත් අමාත්‍යාංශය කටයුතු කරන බව අමාත්‍යතුමා මෙහිදී සඳහන් කළේය. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු පෙන්වා දුන්නේ වී ගොවිතැනට සාපේක්ෂව අතිරේක බෝග වගාවට සිදුව ඇති හානිය අවම මට්ටමක පවතින බවයි.
ඊළඟ කන්නයේ වගාව සඳහා ප‍්‍රමාණවත් පරිදි බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව පවතින බැවින් බීජ අවශ්‍යතාව පිළිබඳ ව අස්ථානගත බියක් ඇති කරගත යුතු නැතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ගංවතුර තත්ත්වය සමනය වූ විගස කඩිනමින් ඊළඟ කන්නයේ වගා කටයුතු සඳහා යොමුවන ලෙසත් ගොවීන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගන්නා බව ද එතුමා ප‍්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා සඳහන් කළේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව බීජ අවශ්‍යතාවට සරිලන ප‍්‍රමාණවත් සංචිත තිබෙන බවයි. ඉල්ලුමට අනුව ඉදිරි අවශ්‍යතාව සඳහා බීජ ප‍්‍රමාණවත් නොවුණහොත් ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගත හැකිය. පවතින තත්ත්වය සමනය වූ වහාම වගා කටයුතු ආරම්භ කරන ලෙසත් කෙටිකාලීන අස්වැන්නක් සහිත එළවළු වගා කිරීම සඳහා ගොවීන් උනන්දු වන්නේ නම් එය වඩාත් ප‍්‍රතිඵලදායක වන බව ද ලේකම්තුමා මෙහිදී සඳහන් කළේය.
මේ සඳහා පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරු සහභාගී වූහ.
NDH