නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරෙන් විපතට පත් ජනතාවට යුද හමුදාව සහන සලසයි

    දෙසැම්බර් 23, 2014
    ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි ප්‍රදේශයට පසුගිය දිනවල බලපෑ දැඩි වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවල බොහෝ ස්ථාන ජලයෙන් යට වී ආපදාමය තත්ත්වයන්ට පත්ව ඇත. මෙහිදී අනුරාධපුර හා වන්නි දිස්ත්‍රික්කවල පදිංචි සිවිල් ජනතාව ඉතා විශාල ලෙස ජල ගැලීමෙන් පීඩාවට ලක්වී ඇත. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ක්ෂණික උපදෙස් මත ‍‍වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ දිසාපතිවරුන්, නාවික, ගුවන් හමුදාවේ සාමාජිකයන්,  ශ්‍රී ලංකා පොලීසිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ දායකත්වය ඇතිව 7,000ක පමණ යුද හමුදා භටපිරිස් ප්‍රමාණයක් යොදවා ගංවතුරින් අවතැන්වූ ජනතාව බේරාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් යොදවා ඇත‍.
     
    මෙම ගංවතුරින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංක මූලස්ථාන බල ප්‍රදේශය ඉතා විශාල ලෙස ආපදා තත්ත්වයට ලක්වී තිබේ. අවතැන් වූ පවුල් 592ක් බේරාගෙන ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකරන ලද අතර දානපතියන්ගෙන් ලද පරිත්‍යාග යොදාගෙන ආහාර පාර්සල් 8,000ක් සකසා බෙදාදීම ද සිදුකරන ලදි.
     
    අනුරාධපුර බන්ධනාගාරය ද මුළුමනින්ම ජලයෙන් යට වී තිබෙන අතර බොහෝ ස්ථාන අඩි 6ක් පමණ උස ජල ප්‍රමාණයකින් යටවී තිබිණ. වහාම ක්‍රියාත්මක වූ යුද හමුදා සහන කණ්ඩායම් බන්ධනාගාර රැඳවියන් 1,100ක් බේරාගෙන වෙනත් බන්ධනාගාර වෙත යැවීමට අනුරාධපුර බන්ධනාගාර පරිපාලනයට විශාල සහයෝගයක් ලබාදෙන ලදී.
     
    කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාලිස්පතාන වැව් ඉවුරේ අඩි 20ක පමණ පළල කොටසක් පසුගියදා කැඩීගිය අතර, යුද හමුදා නිලධාරියෙකු සහ සෙබළුන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුවීමට ගිය විශාල හානියක් වලක්වා එම කොටස නැවත වහා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. අනුරාධපුර යුද හමුදා මූලික රෝහල් පරිශ්‍රය ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති නිසා එහි සිටි නේවාසික රෝගීන් 55 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකිරීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව තවත් නේවාසික රෝගීන් 16 දෙනෙකු අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවන ලදී.
     
    ප්‍රදේශයේ සංචාරයේ නිරත වූ විදේශික සංචාරකයින් 4 දෙනෙකු මුදවාගැනීම ද යුද හමුදා සහන කණ්ඩායම් සිදුකළ අතර මේ වන විට 21 වන සේනාංක මූලස්ථාන ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව සොයා ඔවුන්ට සහන සැලසීමට යුද හමුදා විශේෂ බලකායේ කිමිදුම්කරුවන් කණ්ඩායම් 3ක්, බෝට්ටු 3ක් ද සමඟ යොදවා ඇත.
     
    නැගෙනහිර ප්‍රදේශය තුළ අවතැන් වූ ජනතාවට ද ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ආඥාපති ‍ මේජර් ජෙනරාල් ලාල් පෙරේරා මහතාගේ අධික්ෂණය යටතේ සහන සැලසීම සදහා විශේෂ වැඩපිළිවෙළක් යුද හමුදාධිපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර ඇත.  ත්‍රීකුණාමලය 22 වන සේනාංක මූලස්ථානය යටතේ පවුල් 641ක ජනතාව 3,026 දෙනෙකු සහන කඳවුරු 10ක ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 1,887ක ජනතාව 7,108 දෙනෙකු සහන කඳවුරු 21ක ද, 23 වන සේනාංක මූලස්ථානය යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව 10,146 දෙනෙකු සහන කඳවුරු 34ක ද රඳවා ඇත.  යුද හමුදා නිලධාරීන් 38 දෙනෙකු සහ සෙබළුන් 344 දෙනෙකු ද, නාවික හමුදාවේ නිලධාරීන් එක් අයෙකු සහ සෙබළුන් 09 දෙනෙකුද, ගුවන් හමුදාවේ සෙබළුන් 04 දෙනෙකු ද නැගෙනහිර ප්‍රදේශයේ සහන කටයුතු සඳහා යොදවා ඇති අතර, සහන කටයුතු කඩිනම් ව හා ක්‍රමවත්ව සිදුකිරීමට බෝට්ටු 13ක් යොදවා ඇත.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya