"චන්ද්‍රිකා තමයි 1992 වෙනකොට තමන්ගේ තාත්තා හදපු පක්ෂය දෙකට කැඩුවේ. තමන්ගේ අම්මා පාලනය කරද්දි තමයි ටී.බී. ඉලංගරත්න මහත්තයලා, මෛත්‍රීපාල සේනානායක මහත්තයලාව එක්කගෙන ගිහින් මහජන පක්ෂය හදාගත්තේ. තමන්ගේ අම්මයි තාත්තයි ගොඩනගපු පක්ෂෙට කවුද එහෙම කරන්නේ. අනුර බණ්ඩාරනායකට පක්ෂ නායකකම දෙයි කියලා බය වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට ජනාධිපති අපේක්ෂකම දාන්න වෙන කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා චන්ද්‍රිකාව ගෙනත් දිනෙව්වා. මෙතන වෙන මොකුත් නෙවෙයි තියෙන්නේ වෛරයක් යැයි ද ඔහු කීය.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පසුගියදා රඹුක්කන ආසනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩලයට සහභාගී වෙමිනි.
එම අවස්ථාවේ දී සභාව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය. " 2005දී අවුරුද්ද ඉවර වෙන්න කලින් කෝටි ගණන් දීලා ගෙනාවේ මොනාද ? පුස්වෙඩි ගෙනත් තිබුණේ. ඉරානෙන් ට්‍රක් රථ ගෙනාවා. B.C. පෙරේරා මහත්තයා තමයි ටෙන්ඩර් කමිටුවේ ලේකම් වෙලා හිටියේ. එතුමා බැරිම තැන කීවා මම මේකෙන් අයින් වෙනවා කියලා. ලොකොමෝටිව් එන්ජින් ගෙනත් ගහපු ගැහිල්ල කවුරුත් දන්නවා. අද කතා කරනවා යුද්දෙන් 75%ක් ඉවර කරාලු. යුද්දේ අස්සෙත් සුද්දේ කළා. අද එයා කියනවා යුද්දේ ඉවර කරන්න තිබුණලු . මමයි, S.B. දිසානායක මහත්තයයි ගිහින් චන්ද්‍රිකාට කිව්වා සරත් ෆොන්සේකා මහත්තයාව හමුදාපති කරමු කියලා. ඔය මිනිහා භයානක මිනිහෙක්. ඒ නිසා ගේන්න එපා කියලා ප්‍රතික්ෂේප කළා. චන්ද්‍රිකාගේ කාලේ තමයි Shell Gas, Sri Lankan Air Lines වගේ ලාභ ලබන ආයතන 49ක් විකුණුවේ. අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 94 බලයට ගේන්න කැපකිරීම් කරපු අය. ඒ ඉතිහාසය අපි හොඳට දන්නවා.
අද මෛත්‍රීපාල මහත්තයා දෑත් පිරිසිදුයි කියලා සෙප්පඩ විජ්ජා කරනවා. අවුරුදු 5ක් සෞඛ්‍ය ඇමැතිවෙලා ඉඳලා මොනවද කළේ. ගොඩක් දිස්ත්‍රික්කවලට දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් නැහැ. අඩුම තරමේ පොලොන්නරුවටත් නැහැ. කුරුණෑගල ඉන්නෙත් වැඩ බලන කෙනෙක්. මම ඕවා පාර්ලිමේන්තුවේ ඉද්දි කමිටුවල කතා කළා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ගිහින් කතා කරලා මේවා විසඳගන්න ඕනෑ. මෙහෙම තියාගෙන ජනාධිපතිතුමාට බැනලා වැඩක් නැහැ. තමන්ගේ අමාත්‍යංශයවත් හරියට කරගන්න බැරි කෙනෙක් රටක් කරන්නේ කොහොමද? එයාට වුණෙත් අගමැති කියන බෝඩ් ලෑල්ල නොලැබුණු එක.
පොලොන්නරුවේ වී මෝල් හිමියෝ අනාථ කළේ මෛත්‍රීපාල මහත්තයාගේ මල්ලි. කුඩා වී මෝල් හිමියෝ 3000කට වඩා අනාථ කළා. වී මාෆියාව, ගල් මාෆියාව, වැලි මාෆියාව ඇති කළේ කවුද? මේවා කියන්නේ මම නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාම තමයි. මම මැදිරිගිරියේ රැස්වීමකට ගියා ම ස්වාමීන් වහන්සේ කෙනෙක් මට කීවා තව අවුරුද්දක් සිරිසේන මහත්තයා හිටියා නම් මහවැලි ගඟ හාරලා මහවැලි ගඟ ගලන්නේ කදුරුවෙලින් කියලා. වැලි මාෆියාවේ තරම ඒකෙන් ම පේනවා.
විධායක ජනාධිපතිකම කවුරුත් හිතන විදියට ඉවත් කරන්න බැහැ. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අරගෙන ජනමත විචාරණයක් තියන්න ඕනෑ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරලා තියෙන්නේ මේ පිළිබඳව. එහෙම තියෙද්දිත් UNP එකයි TNA එකයි ඒකට සහභාගී වුණේ නැහැ. හැබැයි එළියට ගිහින් බොරුවට කෑ ගහනවා. සජිත් කියනවා මෛත්‍රී ජනාධිපති වුණාම පැය 24න් ලොක්කට බඩු ඕනැලු. සිරිසඟබෝ ක්‍රමයට ආවා. බෙල්ල කැපුවා. රනිල්ට දුන්නා. චම්පික කියනවා බලතල යම්කිසි මට්ටමකට අඩු කරන්න ඕනැලු. එතන වෙනම ගිවිසුමක්. සරත් ෆොන්සේකා මහත්තයා කියනවා යම්කිසි මට්ටමකට අඩු කරන්න ඕනැලු. හෙළ උරුමය කියනවා බාගයක් අඩු කරන්න ඕනැලු. දැන් කාගේ ක්‍රමේද හරි ? මෛත්‍රීපාල මහත්තයා දැන් කියන්නේ අමුතුම කතාවක්. ආරක්ෂක ඇමතිකමයි සේනාවිධායක කමයි එයා තියාගන්නවාලු.
රනිල් ලොක්කා පිනා චාන්ස් ක්‍රමේට අගමැති වෙන්න හදන්නේ. ඇමරිකාවට යුරෝපෙට ඕනෑ විදියට පෙන්දෙක් පත් කරගන්න හදන ක්‍රමය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මෛත්‍රී පාලනයක් කියලා මේ එන්නේ ඒක. අද ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඩොලර් කොලවලට බාගන්න හදන වැඩපිළිවෙළ තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේක රටේ ඉරණම, අපේ දරුවන්ගේ අනාගතය තීරණය කරන මැතිවරණය. විදේශ බලවේගවලට අත පොවන්න හදන මේ බලවේගය අප නවත්වන්න ඕනෑ. ජනාධිපතිතුමා ඇරෙන්න වෙන විකල්ප නැහැ අපිට. ඒ නිසා අප ජනාධිපතුමා වටා එකතුවෙලා සත්‍ය තේරුම් අරගෙන එතුමාව ජයග්‍රහණය කරවන්න වැඩ කරමු" යැයි ඔහු පැවසීය.
මෙම අවස්ථාවට සබරගමු පළාත් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යේෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, සබරගමු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහත්වරු ඇතුළු පළාත් පාලන නියෝජිතයෝ සහ ප්‍රදේශයේ විශාල ජනතාවක් සහභාගී වූහ.
NDH