මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන අති නවීන පහසුකම් සහිතව සංවර්ධනය කළා

    ජූලි 17, 2014
    භෞතික සම්පත් අතින් ඉතා දුර්වලව පැවති මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන මේ වන විට ජාත්‍යන්තර තලයේ ඉතා දියුණු රටවල පවතින සෞඛ්‍ය මධ්‍යස්ථානවලට නොදෙවෙනි ලෙස අති නවීන පහසුකම් සහිතව සංවර්ධනය කර ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝකයේ ඇගයීම්වලට පවා ලක්ව ඇති බවත් එසේ ඇගයීම්වලට ලක්වූයේ සෞඛ්‍ය අංශයට අයත් සියලු ම නිලධාරීන්ගේ කැපවීම සහ දක්ෂතාව නිසා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එවැනි දක්ෂ නිලධාරීන් පිරිසකට තම සේවාව නිසියාකාරව සිදු කිරීමට අවශ්‍ය පරිසරය සකසාදීම සහ ජනතාවට සුව පහසු සේවාවක් ලබාගැනීම සඳහා අවස්ථාව සලසාදීම මෙවැනි අංග සම්පූර්ණ ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන ඉදිකිරීමේ අරමුණ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
     
    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (16) මහර ආසනයට අයත් රන්මුතුගල සහ ඇල්දෙනිය යන ස්ථානවල නවීකරණය කරන ලද ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන දෙක ජනතා අයිතියට පවරමිනි. 
     
    ළමා හා මාතෘ සායන නවීකරණය කිරීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කරන ලදී. ඒ යටතේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ එක් ආසනයකට ළමා හා මාතෘ සායන මධ්‍යස්ථාන 05ක් බැගින් ආසන 13 තුළ මධ්‍යස්ථාන 65ක් නවීකරණය කිරීමට තෝරා ගන්නා ලදී. මේ වන විට ඉන් 52ක් නවිකරණය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පත් කර ඇත. ඉතුරු මධ්‍යස්ථාන කිහිපය ඉදිරි කෙටි කාලය තුළ නවීකරණය කිරීමෙන් අනතුරුව විවෘත කිරීමට නියමිතය.
     
    "අපේ රටේ සෞඛ්‍ය මධ්‍යස්ථාන පැවතුණේ ඉතා දුර්වල මට්ටමක. මව්වරුන්ට ඉඳගන්න තැනක් තිබුණෙ නැහැ. ළමයින්ගේ බර කිරුවේ ගස්වල එල්ලලා. වෛද්‍යවරුන්ට රෝගීන්ගේ පෞද්ගලිකත්වය රැකෙන පරිදි පරීක්ෂණ කරන්න තැනක් තිබුණෙ නැහැ. අවශ්‍ය උපකරණ පමණක් නෙවෙයි අඩුම ගානේ මේ මව්වරුන්ට සනීපාරක්ෂක පහසුකම්වත් තිබුණේ නෑ". 
     
    සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පමණක් නො ව අනෙකුත් සෑම අංශයකම ඉතා සුවිශාල වැඩ කොටසක් සිදුකර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සදාචාරාත්මක සහ මානව සම්පත දියුණු කිරීමට ද රජය සෑම පියවරක්ම ගෙන ඇති බව ද පෙන්වා දුන්නේය. ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය ලෝකයේ සෙසු රටවල් සමග තරග කිරීමට හැකි ආකරයෙන් වෙනස්කම් රැසකට භාජනය කර ඇති බවද පෙන්වා දෙමින් අමාත්‍යවරයා මෙසේ ප‍්‍රකාශ කළේය. "මේ අප එළැඹ සිටින්නේ තාක්ෂණය සහ විද්‍යාව දැනුම කේන්ද්‍ර කරගත් යුගයක. අපි මේ යුගයට ගැළපෙන පරිදි අපේ අධ්‍යාපන ක‍්‍රමය වෙනස්කම් රැසකට ලක් කළා. ඒ අනුව ලෝකයේ අනෙකුත් රටවල් සමග කරට කර තරග කළ හැකි පරිදි තාක්ෂණය සහ විද්‍යාව විෂයන්ට මුල් තැන ලබාදෙන්න කටයුතු කළා. ඒ අනුව තාක්ෂණික විද්‍යාගාර 250ක්, මහින්දෝදය තාක්ෂණික පීඨ 1000ක් හදන්න තීරණය කළා. පාසල්වල සනීපාරක්ෂක පහසුකම් දියුණු කළා. ප‍්‍රාථමික පාසල් 5000ක් ළමා මිතුරු පාසල් ලෙස සංවර්ධනය කළා. ද්වීතියක පාසල් 1000ක් සංවර්ධනය කළා" යැයි ද කියා සිටියේය.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය රංජිත් සෝමවංශ යන මහත්වරු ඇතුළු ජනතා නියෝජිත පිරිසක් ද ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂක ඇතුළු සෞඛ්‍ය සේවාවේ නිලධාරීහු පිරිසක් ද පැමිණ සිටියහ.
     
    DB/KT
     
    MP BR CLINIC 2
     
     
    MP BR CLINIC 3
     
    MP BR CLINIC 4
     
    MP BR CLINIC 5
     
    MP BR CLINIC 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya