මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට අස්ථාවර කිරීමට ගෙනයන සැලසුම් පරාජය කිරීම රටට ආදරය කරන සියලු බලවේගවල අයිතියක්

    ජූලි 13, 2014

    විපක්ෂ නායකතුමා පසුගියදා ආගමික සහජීවනය සම්බන්ධයෙන් රැස්වීම් කැඳවා තිබුණු බවත් එතුමා එසේ ආගමික සහජීවනය වෙනුවෙන් රැස්වීම් කැඳවා තිබුණද ආගමික ගැටුම් නිර්මාණය වෙනවාට එතුමා කැමැත්තෙන් සිටින බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මොරටුව එගොඩඋයන ධීවරපුර නිවාස ව්‍යාපෘතිය රුපියල් ලක්ෂ 180ක වියදමින් වසර 20 කට පසු මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි. මෙම උත්සවය ඊයේ (12) එම මහල් නිවාස ව්‍යාපෘතියේදී පැවැත්විණ.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ මම දැක්ක විපක්ෂ නායකතුමා පසුගියදා ආගමික සහජීවනය වෙනුවෙන් රැස්වීම් කැඳවා තියෙනවා. ආගමික ගැටුම් ඇතිවෙන කොට කට්ටියක් සහජීවනය පිළිබඳ කතා කරනවා. එක් පාර්ශවයක් ගැටුමේ එක් පැත්තක් බදාගන්නවා. අනෙක් පාර්ශවය ගැටුමේ අනෙක් පැත්ත බදාගන්නවා. ගැටුමේ දෙපැත්ත බදාගෙන දෙපැත්තට අදින කොට තවත් කට්ටියකට පුළුවන් වෙනවා සහජීවනය පිළිබඳ කතා කරන්න. ඔබ සියලු දෙනාම දන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලෙදි කළු ජූලිය නිර්මාණය කළා. එදා ඒ කළු ජූලිය නිර්මාණය කිරීමේ  වරදට මේ රටේ ජනතාව පසුකාලීනව වන්දි ගෙව්වා. ඒ නිසා මොන ආකාරයේ ගැටුමක් වුණත් ආගමික හෝ ජාතිකත්ව වශයෙන් මේ රටේ ජනතාව කුලල් කාගත්තොත් එහි වාසිය එන්නේ මේ රටේ ජනතාවට නොවෙයි මේ රට අස්ථාවර කිරීමට බලාගෙන සිටින බාහිර බලවේගවලට.


    විදේශ බලවේග හරි කැමතියි අපි වගේ රටවල් ජාති වශයෙන්, ආගම් වශයෙන් කුලල් කාගන්නවාට. එතකොට තමයි ඒ විදේශ බලවේගවලට ඒ රටවල්වලට අතපොවන්න පුළුවන්. ඔවුන්ට එතකොට තමයි ගැටුම් නිරාකරණය කරගන්න විදිහ උගන්වන්න ඒ රටවල්වලට එන්න පුළුවන්. අද ලෝකෙ හැම රටක්ම අසරණ කරලා තියෙන්නේ අන්න ඒ විදිහට.


    විපක්ෂ නායකතුමා ආගමික සහජීවනය පිළිබඳ කතා කළාට එතුමා බොහොම කැමතියි ආගමික ගැටුම් හැදෙනවට. එතකොට තමයි එතුමාගෙ කල්ල මරේ වෙන්නෙ. එතුමා හිතනවා අගාමික ගැටුම් නිර්මාණය වෙනකොට සුළු ජනතාවගේ ඡන්ද ගන්න පුළුවන් කියලා. ඒ නිසා ආගමික සහජීවනය පිළිබඳ බොරුවට කතා කළාට එතුමා කැමතියි ආගමික ගැටුම් නිර්මාණය වෙනවාට. ගැටුම නිර්මාණය වුණාම තමයි සහජීවන බෝඩ් එක එතුමාට එල්ලගන්න පුළුවන්. ගැටුම නැත්තන් එතුමාට ආගමික සහජීවන බෝඩ් එක එල්ලගන්න බැහැ. ඒ ආගමික සහජීවන බෝඩ් එක එල්ලගන්නෙ නිකන් නෙමෙයි, ඒ සුළු ජාතික හා සුළු ආගමික ජනතාවගේ ඡන්ද ටික ගන්න තමයි එතුමා ඒ ආගමික සහජීවන බෝඩ් එක  එල්ලගන්නෙ. ඒ නිසා ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් ජාතීන් අතර ආගම් අතර ගැටුම නිර්මාණය කරන දේශපාලනය අප විසින් නතර කළ යුතුයි.


    ඇතැම් මුස්ලිම් නායකයිනුත් කැමතියි මුස්ලිම් සමාජය අන්තවාදයට ඇදගෙන යනවට. ඒගොල්ලො හිතනවා එතකොට ඒ අයට නිකන් ඉඳලා නොමිලේ ඡන්ද ගන්න පුළුවන් කියලා. එතකොට ඔවුන්ට කොළඹ ඉඳලා ඡන්ද දිනන්න පුළුවන්. දෙමළ ජාතිවාදී නායකයෝ කැමතියි දෙමළ ජනතාව සදාකාලිකවම ජාතිවාදී ගොහොරුවෙ ලැගලා ඉන්නවට. එතකොට ඒ අයට ඉන්දියාවෙ ඉඳගෙන ඡන්ද දිනන්න පුළුවන්. මේඋත්සවයේදී  ජීවන් කුමාරතුංග අමාත්‍යතුමාත් කිව්වා මොරටුව ප්‍රදේශයේ මේ වනවිට සිදුකෙරෙන සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව . එතුමන්ලා ඡන්දය දිනන්න නම් තමන්ගෙ ප්‍රදේශවල ජනතාව සමග එකතුවෙලා වැඩකරන්න ඕනෙ. එතුමාලට බැහැ පිටරට ඉඳන් ඡන්දය දිනන්න. ඒත් දෙමළ ජාතික සන්ධානයේ අයට ජාතිය,.... ජාතිය,.... ජාතිය,.... කියලා තුන්පාරක් කිව්වහම ඉන්දියාවෙ ඉඳන් ඡන්දය දින්නන පුළුවන්. අනෙක් කට්ටියට ආගම,... ආගම,.... ආගම,.... කියලා තුන්පාරක් ජප කරපු ගමන් ඒ අයටත් ඡන්දය දිනන්න පුළුවන්. එහෙම ජප කර කර ඇවිත් මුළු රටම විදේශ බලවේග බලාගෙන ඉන්න ආකාරයේ උගුලක හිරකරන්න ඔබ අප ඉඩදිය යුතු නැහැ.


    එක ත්‍රස්තවාදයක් ඉවර කළේ මේ රට ආයිත් ගිනි තියන්න වෙනත් පිරිසකට ඉඩ දෙන්න නොවෙයි. ඕනෑම අන්තවාදයක් පරද්දන්න පුළුවන් ආරක්ෂක හමුදාවක් අද මේ රටේ ඉන්නවා. මේ හැම අන්තවාදයක් හඳුනාගන්න පුළුවන් බුද්ධි අංශයක් අද මේ රටේ ඉන්නවා. ඒ නිසා ඕනෑම අන්තවාදයක් පරාජය කිරීමේ ශක්තිය අද මේ රටට තියෙනවා.“


    මෙහිදී අමාත්‍යවරයා වර්තමානයේ ඇතැම් එළවළු වර්ගවල මිල ඉහළ යාම හා විරුද්ධ පක්ෂය ඒ තත්ත්වය දඩමීමා කරගෙන දේශපාලනයේ නිරතවන ආකාරය පිළිබඳවද මෙසේ අදහස් දැක්වීය. “විරුද්ධ පක්ෂයේ අය මොනවා හරි අඩුපාඩුවක් වැරැද්දක් හොයන්නම තමයි ඉන්නෙ. මේ දවස්වල විරුද්ධ පක්ෂයේ කට්ටිය අමුමිරිස් කරල් අතේ තියාගෙන ඉන්නෙ. මම ඇහුව විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීතුමෙක්ගෙන් මොකක්ද විනෝදාංශය කියලා, එතුමා කියනවා අමු මිරිස් කෑමලු. ඒ අයට දැන් වෙන මොනවත් නැහැ. මේ කාලෙ යන්නේ අමු මිරිස් පෙන්න පෙන්න. අමු මිරිස් මිල බැහැලා වෙන මොකක් හරි කරලක මිල නැග්ග ගමන් ඒ කරල පෙන්න පෙන්න යනවා. අපි කියමු මාලු මිරිස් කරලෙ මිල නැග්ගයි කියලා, එතකොට මාලු මිරිස් පෙන්න පෙන්න යනවා. ඊට පස්සෙ වම්බටුවල මිල නැග්ගොත් වම්බටු පෙන්න පෙන්න යනවා. විවිධ හේතු මත යම් යම් කාලවලට යම් යම් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යනවා. පසුගිය කාලයේ විශාල නියඟයක් තිබුණා, ඒ නිසා එළවළු නියමිත ප්‍රමාණයට අස්වැන්න ලැබිලා නැහැ. දැන් ඉතින් ඒ අය ඒකට හරි සතුටුයි. දැන් ප්‍රාර්ථනා කරනවා මිරිස් විතරක් මදි ඉතිරි එළවළුවලත් මිල නැගපල්ලා කියලා.


    අපි කියන්නෑ මේ ආණ්ඩුවෙ මොනවත්ම වැරදි නැහැ කියලා. වැරදි තියෙනවා. හැබැයි ඒ වැරදි තියෙනවා වගේම ඒ වැරදි නිවැරදි කිරීමේ ශක්තියත් මේ ආණ්ඩුව තුළ තියෙනවා. ඒ වෙනුවෙන් සංවාදය මේ ආණ්ඩුව ඇතුළේ තියෙනවා. ඒ වගේම ඒ වෙනුවෙන් බලපෑම් කළ හැකි පුද්ගලයින් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. ඒ නිසා අප සියලුදෙනා හොඳින් සිතා ගත යුතුයි අපි මොන තීරණ ගත්තත් මේ මව් පොළවට හතුරුවන, දිනාගත් ජයග්‍රහණ යළි පාවාදෙන තීරණ අප නොගත යුතුයි.


    දැන් ඇමරිකානු තානාපති කාර්යාලයේ මෙහෙ ඉන්න නෝනට එක්සත් ජාතීන්ගෙ ආරක්ෂක මණ්ඩලේට උසස්වීමක් ලැබිලා. එතුමිය සිරියාවත් අස්ථාවර කරන්න එහෙ කැරළි කණ්ඩායම් හදලා ආපු නෝනා. එයා මෙහෙට ආවෙත් වැඩේ දෙන්න. දැන් එතුමිය ට්විටර්, ෆේස්බුක් ආදී සමාජ වෙබ් අඩවි ජාලා තුළ වැඩ කරමින් මත පතුරුවන්න තරුණ තරුණියන් 5000ක් බඳවාගන්න යනවා. ඒ 5000 බඳවගන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොටසක් හරහා. ඒ ගොල්ලො තමයි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ තරුණ තරුණියන්ගෙ නම් දෙන්නෙ. ඒ අයට පුහුණුවක් දීලා ඇමරිකානු තානාපති කාර්යාලයෙන් පඩි ගෙවනවා. ඒ ගොල්ලො පඩියට එම සමාජ වෙඩ් අඩවි ජාලා ඇතුළේ ආණ්ඩු විරෝධී, රාජ්‍ය විරෝධී මතය පතුරුවනවා. එතකොට ඒවා බලන අයට හිතෙන්නෙ මුළු රටම ආණ්ඩුවට විරුද්ධයි කියලා. ඔවුන් හදන්නේ කෘතිමව නැති මතයක් නිර්මාණය කරන්න. මැදපෙරෙදිග කළා වගේ ඉකුත්දා වෙනිසියුලාවෙ කරන්න හැදුවා වගේ. අර තරුණ තරුණියන් යොදාගෙන මේ රටත් ගිනි තියන්න පුළුවන්ද කියලා තමයි ඔවුන් මේ බලන්නෙ. මේ වගේ යටි උගුල්, මේ වගේ කුමන්ත්‍රණ අපි විසින් රට ගැන සිතා පරාජයට පත් කළ යුතුයි“.


    විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී ජන සෙවණ නිවාසකරණ වැඩසටහන පිළිබඳවද මෙසේ අදහස් දැක්වීය. “සෑම මැතිවරණ කාලෙකදිම බොහොමයක් අපේක්ෂකයො අනික් තැන්වලට යනවා වගේම මේ ධීවරපුර නිවාස යෝජනා ක්‍රමයටත් එනවා. එහෙම ඇවිල්ලා ඔබ මේ නිවාස ව්‍යාපෘතියේ මුහුණදීලා ඉන්න ගැටලු සම්බන්ධයෙන් සැරට කතාවකුත් පවත්වලා, බලාපොරොත්තු හදේ දල්වලා යන්න යනවා. මමත් මැතිවරණ තුනකදී විතර ඇවිල්ලා ඔබ මුහුණදීල ඉන්න ගැටලු ගැන කතාකරලා ගියා. එක් අවස්ථාවක මම වර්තමාන ධීවර ඇමතිතුමාවත් මේ ස්ථානයට එක්කරගෙන ආවා. මොකද මේ නිවාස ව්‍යාපෘතිය  නිවාස සංවර්ධන අධිකාරියෙන් කරපු නිවාස ව්‍යාපෘතියක් නොවෙයි. නමුත් ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ධීවර අමාත්‍යාංශය සතුව නොතිබූ නිසා එදා ඒ ප්‍රතිසංස්කරණය කරන්න ධීවර අමාත්‍යාංශයට බැරිවුණා. ඊට පස්සෙ තමයි අපි කල්පනා කළේ මේ නිවාස ව්‍යාපෘතිය මොන ආයතනයෙන් හැදුවත් මෙහි ඉන්නෙත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව. ඒ නිසා මේ ප්‍රශ්නයට අප විසඳුම් දිය යුතුයි කියලා. ඒ නිසා තමයි අපි මුළු රටේම අවුරුදු තිහ හතළිහ පැරණි මහල් නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තියෙන වෙලාවේ මම හිතුවා මේ නිවාස ව්‍යාපෘතියත් ප්‍රතිසංස්කරණය කරලා දිය යුතුයි කියලා. ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හෝ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය යන අපේ අමාත්‍යාංශයට අයත් ආයතනවලින් නිර්මාණය නොකළ නිවාස ව්‍යාපෘතියක් අපේ අමාත්‍යාංශයෙන් ප්‍රතිසංස්කරණය කළ පළමු අවස්ථාව තමයි මේ මොරටුව එගොඩ උයන ධීවරපුර නිවාස ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය කිරීම.


    මේ නිවාස අලුත් වෙනවා වගේම මේ නිවාසත් එක්කම මේ නිවාසවල ජීවත්වන ජනතාවගේ සිතුම් පැතුම්ද අලුත් විය යුතුයි. මේ අලුත් මහල් නිවාස ව්‍යාපෘතිය අතුළට අර කලින් හිටපු පරණ මිනිහා ගැළපෙන්නේ නැහැ. ඒ අනුව මේ මහල් නිවාසවලට සරිලන ආකාරයට මෙහි ජීවත්වන ජනතාවත් වෙනස් විය යුතුයි. අලුතින්ම නව නිවාස හදලා නිවාස සැති අසරණ ජනතාවට දෙන්න තියෙන මුදලින් තමයි අපි මේ මහල් නිවාස අලුත්වැඩියා කළේ. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණය කළ මහල් නිවාස හොඳින් රැකබලා ගැනීමට ඔබටත් විශාල වගකීමක් තියෙනවා. “ යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


    මහින්ද චින්තන ඉදිරි  දැක්ම යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ජන සෙවණ “ නගමු පුරවර ” ජාතික වැඩසටහන යටතේ මෙම මහල් නිවාස සංකීර්ණය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලැබීය.


    මහල් 4 බැගින් වූ ගොඩනැගිලි 4 කින් සමන්විත මෙම මහල් නිවාස ව්‍යාපෘතියේ සමස්ත නිවාස ගණන 64කි.


    සියලු ගොඩනැගිලිවල වහල අලුතින් දැව රාමු යොදා සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම, සියලු ගොඩනැගිලිවල ජල බස්නා නල, වැහි පීලි, වඩිම්බු ලෑලි අලුතින් සවි කිරීම, පිටත බිත්ත අලුත්වැඩියා කර වර්ණාලේප කිරීම,  ගොඩනැගිලි 4 සඳහා ලීටර් 500යේ ජල ටැංකි 16ක් ස්ථානගත කිරීම, වැසි ජල කාණු පද්ධතිය ඉදිකිරීම,  ප්‍රවේශ මාර්ගය සකස් කිරීම, ප්‍රජා ශාලාව අලුත්වැඩියා කිරීම, බුදු මැදුර ඉදිකිරීම යනාදි ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් මේ යටතේ සිදුකෙරිණ.


    මෙම අවස්ථාට තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග, මොරටුව මහ නගරසභාවේ නාගරික මන්ත්‍රී  සුරේෂ් ඉන්දික, සජිත් දුමිඳු පීරිස්, ඉදිකිරීම්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ  යන මහත්වරුන්, නිලධාරීහු, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් සහභාගීවූහ.


    HC

    egoda Uyana housing scheem 1

     

    egoda Uyana housing scheem 2

     

    egoda Uyana housing scheem 3

     

    egoda Uyana housing scheem 4

     

    egoda Uyana housing scheem 5

    ප්‍රතිසංස්කරණයට පෙර මහල් නිවාස දිස් වූ ආකාරය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya