මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලියට බදු නොගෙවන සියලු රාජ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර

    ජූලි 10, 2014
    විවිධ අවශ්‍යතා හා සේවා සඳහා මහවැලි අධිකාරියේ ඉඩම්, නිවාස හා ගොඩනැගිලි ලබාගෙන බදු ගෙවීම පැහැර හැර ඇති සියලුම රාජ්‍ය ආයතන හා පුද්ගලයන්ට එරෙහිව ඉතා කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන ලෙස වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මහවැලි අධිකාරියට නියෝග කර ඇත. 
     
    අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කළේ අද (10) පැවති ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගිවෙමිනි.
     
    මෙහිදී රාජ්‍ය ආයතන මහවැලි අධිකාරියට රුපියල් කෝටි 13කට ආසන්න මුදලක් හිඟ බදු වශයෙන් ගෙවීමට ඇති බව මහවැලි අධිකාරියේ  නීති හා ආදායම් අංශය පෙන්වා දුනි. 
     
    ඛනිජතෙල් නීතිගත සංස්ථාව ලක්ෂ 12ක් ද, ගමනාගමන මණ්ඩලය ලක්ෂ 50ක් ද, විදුලිබල මණ්ඩලය ලක්ෂ 27ක් ද, ඇඹිලිපිටිය කඩදාසි සමාගම කෝටි 5ක් ද, ලක් සතොස ලක්ෂ 15ක් ද, පොල් සංවර්ධන මණ්ඩලය ලක්ෂ 12ක් ද , කෘෂි රක්ෂණ මණ්ඩලය ලක්ෂ 21ක් ද, මහජන බැංකුව ලක්ෂ 13ක් ද, සෙවණගල සීනි සමාගම කෝටි 5ක් ද හිඟ බදු මුදල් වශයෙන් ගෙවීමට ඇත. ඊට අමතරව දැව සංස්ථාව, සමුපකාර සමිති, ලංකා බැංකුව හා ජල සම්පාදන මණ්ඩලය ද මෙසේ හිඟ මුදල් ගෙවීමට ඇති රාජ්‍ය ආයතන අතර වේ. 
     
    දීර්ඝ කාලයක් මෙම බදු මුදල් අය කර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධව ඇමතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වූ‍යේ මහවැලි කලාප මගින් එම බදු මුදල් නොගෙවීම සම්බන්ධව තොරතුරු නොලැබීම නිසා බව එම සාකච්ඡාවේ දී හෙළිදරව් විය. මේ වන විට බදු මුදල් ගෙවීමට ඇති රාජ්‍ය, පෞද්ගලික ආයතන හා පුද්ගලයන් සම්බන්ධව අංග සම්පූර්ණ වාර්තාවක් ප්‍රධාන කාර්යාලයට ලබා දීමට කටයුතු කරන ලෙස ඇමතිවරයා මෙහිදී සියලු මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරුවන්ට පැවසීය.
     
    සමස්තයක් වශයෙන් ගත් කළ සාමාන්‍ය පුද්ගලයන් මෙම බදු මුදල් ගෙවීම් කෙසේ හෝ කරන බවත් බදු මුදල් ගෙවීම වැඩි වශයෙන් පැහැර හරින්නේ ව්‍යාපාරිකයන් හා රාජ්‍ය ආයතන බව මෙහිදී තොරතුරු හෙළිවිය. එම නිසා සාමාන්‍ය මිනිසුන්ට හිඟ බදු මුදල් ගෙවීමට සහන කාලයක් ලබා දීමට ද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. 
     
    මහවැලි අධිකාරිය අදායම් උපයන ආයතනයක් වූවද එහි ප්‍රධාන අදායම් මාර්ගය වන බදු මුදල් අතිවිශාල මුදලක් මෙසේ නොලැබීම නිසා මහවැලි අධිකාරිය පවත්වාගෙන යෑමේ ගැටලු සහගත තත්ත්වයක් පැනනැගී ඇති බව ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට මහවැලි අධ්‍යක්ෂක ජනරාල් ගාමිණී රාජකරුණා, අධ්‍යක්ෂ (පාලන) එන්.සී. විතානගේ මහතා ද, සියලුම නේවාසික ව්‍යාපාර කළමනාකරුවන් ද, අංශ ප්‍රධානීහු ද සහභාගී වූහ.
     
    DB
     
     DSC 7909

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya