මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බී ලූනු ටොන් 41,500ක් යල කන්නයේ මාතලෙන්

    ජූලි 09, 2014
    2014 යල කන්නයේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් හෙක්ටයාර් 1426.72ක බී ලූනු වගා කර ඇති අතර ඉදිරියේදී තවත් හෙක්ටයාර් 1339ක වගා කිරීමට සූදානම් කර ඇති බවත් ඒ අනුව මෙවර බී ලූනු මෙට්රික් ටොන් 41,500ක අස්වැන්නක් බලාපොරොත්තු වන බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මිය පැවසුවාය.


    දිස්ත්‍රික් ලේකම්වරිය මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (08) දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදීය.

     

    වැඩිදුරටත් අදහස් දක්වමින් දිසාපතිවරිය කියා සිටියේ මෙවර යල කන්නයේ බී ලූනු අස්වැන්න ජූලි මාසයේ දී මෙට්රික් ටොන් 500ක් ද අගෝස්තු මාසයේ මෙට්රික් ටොන් 4000ක් ද සැප්තැම්බර් මාසයේ මෙට්රික් ටොන් 16000ක් සහ ඔක්තෝබර් මාසයේ මෙට්රික් ටොන් 21000ක් වශයෙන් නෙළා ගැනීමට හැකි වන බවයි. බී ලූනු අස්වැන්න නෙළන කාලයේදී ආනයනික බී ලූනු සඳහා ආනයන බද්ද වැඩි කිරීමට රජය කටයුතු කරන බවත් මෙවර බී ලූනු සඳහා රුපියල් 60ක අවම සහතික මිලක් හඳුන්වා දී ඇති නිසා මිල උච්ඡාවචනය වීමේ ප්‍රවණතාව අඩු වන බවත් ඇය සඳහන් කළාය.

     

    බී ලූනු අස්වැන්න නෙළන කාලයේදී ගොවි සංවිධාන, වගාකරුවන් සහ වෙළෙඳුන් සමගඟ සාකච්ඡා කර සාධාරණ මිලක් ලබා දීමට තමා කටයුතු කරන බවත් ඉදිරි වෙළෙඳ ගිවිසුම් යටතේ ලක් සතොස මෙවරත් බී ලූනු මිලදී ගැනීමට සුදානම් වී සිටින බවත් ඇය පෙන්වා දුන්නාය. 


    ලක් සතොස මෙවරත් දඹුල්ල, කිබිස්ස ඇතුළු ස්ථාන කිහිපයක මිලදී ගැනීමේ මධ්‍යස්ථාන පිහිටු වනු ඇතැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
     
    මෙම අවස්ථාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ කැටපේ ආරච්චි, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල, සහකාර ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් පී.ජී. සෝමරත්න යන මහතුවරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම නිලධාරීන් සහ මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් චමිල් සකලසූරීය මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන් රැසක් සහභාගි වූහ. 

     

    NDH/GNK-ISB dmu matale

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya