නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ලායා’ හෝටල් ජාලයේ ප්‍රධාන කාර්යාලය කොළඹ දී විවෘත කෙරේ

    ජූලි 09, 2015
    මීට වසර කිහිපයකට පෙර යුද හමුදා සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් සුබසාධන ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන් යුද හමුදා ‘ලායා’ හෝටල් ජාලයේ පරිපාලන / වෙන් කිරීමේ සේවා සඳහා වැඩි පාරිභෝගික හිතකාමිත්වයක්, පහසුවක් සහ උද්දීපනයක් ඇති කිරීමේ අරමුණින් කොළඹ කේන්ද්‍ර කොට ගත් එහි ප්‍රධාන කාර්යාලය ඊයේ (08)  පස්වරුවේ විවෘත කෙරිණි.
     
    යුද හමුදා සුබසාධන අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම හෝටල් ජාලයට අයත් ‘ලායා’ වේවුස්, ‘ලායා’ ලෙෂර්, ‘ලායා’ සෆාරි සහ ‘ලායා’ බිච් යන ආකර්ෂණීය නිවාඩු නිකේතනවලින් ලැබෙන ආදායම මියගිය රණ විරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණ විරුවන් ඇතුළු හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් යොදා ගනී.  මෙම ලායා හොටෙල් ජාලයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට යුද හමුදා සුබසාධන අධ්‍යක්ෂ මණ්ඩලයේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සහභාගී විය.
     
    මේ අවස්ථාවට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ඩයස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ලායා හොටෙල් ජාලයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොළ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, ලායා හොටෙල් දාමයේ කළමනාකරණ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්.වී. උඩවත්ත, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්. රත්නසිංහම්, ලායා හොටෙල් ජාලයේ කළමනාකරණ උපදේශක ට්‍රේවෝ රේකර්මන් යන මහත්වරු ද එක්ව සිටියහ.
     
    සංචාරක ක්ෂේත්‍රයේ නවීන දක්ෂ වෘත්තීකයන් විසින් පරිපාලනය කරනු ලැබූ මෙම නව ප්‍රධාන කාර්යාලය මඟින් කල්කුඩා, කුකුළේ ගඟ, යාල සහ වාද්දුව යන ප්‍රදේශවල ස්ථානගත කර ඇති ‘ලායා’ හොටල් ජාලයේ සියලු ම පරිපාලන කටයුතු සිදු කරනු ලබයි.  
     
    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් එම නව කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව එහි කාර්ය මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමඟ අදහස් ද හුවමාරු කර ගනු ලැබීය.
     
    එමෙන්ම එදින  ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ‘ලායා’ හෝටල් ජාලයේ නව වෙබ් අඩවිය www.layahotels.lk නමින් දියත් කරනු ලැබූ අතර පාරිභෝගිකයන් වෙනුවෙන් නවතමයෙන් හඳුන්වාදෙනු ලැබූ ‘ලායා’ හෝටල් ලෝයල්ටි කාඩ්පතෙ හි පළමු පිටපත සංකේතාත්මක සමරු තිළිණයක් ලෙස යුද හමුදාපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
     
    යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත ලායා හෝටල් ජාලයේ කාර්යාලය කොළඹ 02, මැලේ වීදියෙ හි කිව් පටුමඟේ අංක 31 දරන ස්ථානයේ පිහිටුවා ඇත.
     
    එදින හඳුන්වා දෙනු ලැබූ ලෝයල්ටි කාඩ්පත් හිමියන් වෙනුවෙන් 15% ක වට්ටමක් ලබා දෙනු ලැබූ අතර එම පහසුකම් වෙන් කරවා ගැනීම නව කාර්යාලය හා සම්බන්ධව සිදු කර ගත හැකිය.
     
    එම අවස්ථාව සිහිගන්වමින් යුද හමුදාපතිතුමා විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද සමරු සටහනක් තැබීමට ද අමතක නොකළේය.
     
    එතෙක්  යුද හමුදාව සතුව පැවති හෝටල් පද්ධතිය 2012 වර්ෂයේ දී ‘ලායා’ හෝටල් ජාලය ලෙස නව මුහුණුවරකින් නැවත පණගැන් වූ අතර යුද හමුදා සෙබළුන්ගේ අභිවෘද්ධිය උදෙසා යුද හමුදා සුබසාධක අධ්‍යක්ෂක මණ්ඩලය මඟින් පරිපාලන කටයුතු මෙහෙයවයි. එය යුද හමුදා සාමාජිකත්වය මෙන්ම සිවිල් ජනතාව වෙනුවෙන් ද විවෘතව පවතී.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya