මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට නව එන්නතක් වශයෙන් විදින අජීවී පෝලියෝ එන්නතක්

    ජූලි 07, 2015
    ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට නව එන්නතක් වශයෙන් විදින අජීවී පෝලියෝ එන්නත (Inactivated Polio Vaccine (IPV) හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය  සහ ප‍්‍රතිශක්තීකරණය ලබාදීමේ සායනය පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදු කෙරිණි. මෙයට සමගාමීව පැවැති සායන වැඩසටහන සඳහා විශාල පිරිසක්  එක්ව සිටියහ.
     
    ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට එක්වූ මෙම විදින අජීවී පෝලියෝ එන්නත වයස මාස 04 දරුවන් සඳහා ලබාදීමට ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන පියවර ගෙන තිබේ. මෙම එන්නත ලබාදීමේ අරමුණ අනුව මුළු ලෝකයේ ම පෝලියෝ රෝගය තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව ශ‍්‍රී ලංකාවත් ලබන වසරේ දී මුඛ පෝලියෝ එන්නතෙ හි වෙනස්කම් රාශියක් සිදු කිරීමට බලාපොරාත්තු වෙයි. 2018 වර්ෂය වන විට ශ්‍රී ලංකාවෙන් ම පෝලියෝ රෝගය තුරන් කිරීමට අවතීර්ණ වීම මෙහි අරමුණයි. ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට එක්වූ මෙම නව විදින අජීවී පෝලියෝ එන්නත ලබාදීම පිළිබඳ ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යමණ්ඩල දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට අවශ්‍ය කටයුතු යොදා ඇති අතර දිවයින පුරා සෑම සායනයකටම මෙම එන්නත ලබාදීමට අවශ්‍ය කටයුතු ද සිදු කර ඇත.
     
    මෙම නව අජීවී පෝලියෝ එන්නත හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය, මුළු ලෝකයම පෝලියෝ රෝගය තුරන් කිරීමේ වැඩසටහනට යන අවස්ථාවේදී අපිට මුඛ පෝලියෝ එන්නතින් බැහැර වන්නට සිදුවෙනවා. 2018 වනවිට අපි බලාපොරොත්තු වෙනවා මුළු ලෝකයේම පෝලියෝ රෝගය තුරන් කිරීමට. අපි ලෝකයේ අනෙකුත් රටවල් සමඟ මෙම රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙළට එකතු වෙනවා.
     
    ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට එක් වූ මෙම අජීවී පෝලියෝ එන්නත පිළිබඳව පසුගිය මාසයේ අපි හඳුන්වා දුන්නා විශේෂ හා අලුත් එන්නතක් හැටියට. මෙම අජීවී පෝලියෝ එන්නත (IPV)  විදින එන්නතක් වශයෙන් මාස 04ක වයස් කාණ්ඩයේ දරුවන්ට ලබාදීම පටන් අපි ගත්තා. මීට අමතරව වයස මාස 02, 04, 06 හා අවුරුද්දට අඩු ළමුන් සඳහා මුඛ පෝලියෝ එන්නතත් ලබා දෙනවා . ඒ වගේම මාස 18දී සහ අවුරුදු 05දී මුඛ පෝලියෝ එන්නත අපේ දරුවන්ට ලබාදීම සිදු කරනවා. මෙම අලුත් එන්නත මුඛ පෝලියෝ එන්නතත් සමඟ පටන් ගන්නේ මේ සඳහා විද්‍යාත්මක හේතුවක් තිබෙන නිසා යැයි වෛද්‍යවරිය පැවසුවාය.
     
    මුඛ පොලියෝ එන්නත සමඟ වයස මාස 04 දී මෙම එන්නත ලබාදීම පටන් ගන්නා අතර ඊට පසු ක‍්‍රමයෙන් මුඛ පෝලියෝ එන්නතෙ හි වෙනස්කම් රාශියක් ලබන වසරේදී සිදු කරනවා. ලබන වසරේ දී ත‍්‍රිත්ව පෝලියෝ එන්නත ද්විත්ව පෝලියෝ එන්නත බවට පත් කරමින් ක‍්‍රමයෙන් (IPV) එන්නත ලබාදීමට යොමු වෙනවා. මෙය ක‍්‍රමානුකූලව සිදු කරන්නේ. පළමු අදියර යටතේ අජිවී පෝලියෝ එන්නත අපි එකතු කරනවා. ඊට පස්සේ ක‍්‍රමයෙන් අපි මුඛ පෝලියෝ එන්නතෙ හි වෙනස්කම් සිදු කරනවා. එකවර අපිට මුඛ පෝලියෝ එන්නත ඉවත් කරලා (IPV) එන්නත දීමෙන් පමණක් අවශ්‍ය වන ප‍්‍රතිශක්තිය ගොඩනගා ගැනීම ගැටලුවක් බවට පත්වීමට ඉඩ තිබෙනවා. මෙම එන්නත විදින්නේ කොහොමද කියන එක සමහර සෞඛ්‍ය කාර්යමණ්ඩල ගැටලුවක් කරගෙන තිබෙනවා. වයස මාස 04දී මුඛ පෝලියෝ එන්නතත් දෙනවා.  අජීවී පෝලියෝ එන්නතත් දෙනවා යැයි ඇය වැඩිදුරටත් පැවැසීය.
     
    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා, ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට තවත් එක් ප‍්‍රතිශක්තිකරණ එන්නතක් එකතුවීම සම්බන්ධයෙන් සතුටු වන බවත් මෙම අවස්ථාව ප‍්‍රතිශක්තිකරණය පිළිබඳ ශ‍්‍රී ලංකාවේ නව පරිච්ඡේදයක් පෙරළන සමාරම්භක මොහොතක් වන බවත් පැවසීය.
     
    අපේ ප‍්‍රතිශක්තිකරණ ඉතිහාසය අවුරුදු 200කට ආසන්න වන අතර පළමුවෙන්ම එන්නතක් සොයාගත්තේ 18 වන ශතවර්ෂයේ වසූරිය සම්බන්ධයෙන් වන බවත් වසූරිය රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කළ නිසා ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රමවේදය තුළින් ලෝක ධරනි තලයෙන් තුරන් කළ‍ පළමු රෝගය වසූරිය රෝගයයි. ප‍්‍රතිශක්තිය කියන ක‍්‍රමවේදය භාවිත කරමින් මුළු මහත් ලෝකයෙන් තුරන් කරන දෙවැනි රෝගය පෝලියෝ රෝගයයි. පෝලියෝ රෝගය නිසා මරණ විශාල සංඛ්‍යාවක් සිදුවුන අතර, විශාල පිරිසක් රෝගී තත්ත්වයට පත් වූ බවත්, අවසන් වරට ශ‍්‍රී ලංකාවෙන් පෝලියෝ රෝගියෙක් වාර්තා වූයේ 1993 අවුරුදු 22 කලින් බව ද පසුගිය කාලයේ පෝලියෝ රෝගය අප කලාපයෙන් ඉවත් කළ අවස්ථාවට එකතු වෙන්න අවස්ථාව ලැබුණ නිසා 2018 වසරේදී පෝලියෝ රෝගය තුරන් කිරීම වෙනුවෙන් ගන්නා ලද ප‍්‍රධානතම ප‍්‍රයත්නයක් අද දින ආරම්භ කිරීමට හැකි වූ බවත් ඒ මහතා පැවසීය. 
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය, යුනිසෙෆ් සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිතවරයා හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිතවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya