නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය සම්පතට හානියක් වන පන්න ක්‍රම ගැසට් මඟින් තහනම් කිරීමට පියවර

    මාර්තු 18, 2015

    ධීවරයන් අතර මතභේදයට තුඩු දී ඇති පන්න ක්‍රම මඟින් මත්ස්‍ය සම්පතට හානියක් සිදු වන බව විශේෂඥ කමිටු පරීක්ෂාවේදී තහවුරු වුවහොත් එම පන්න ක්‍රම ගැසට් නිවේදනයක් මඟින් තහනම් කිරීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.


    මුහුදේ ප්‍රමාණය වැඩි වී නැති වුවද මේ වනවිට කර්මාන්ත කටයුතු සඳහා මුහුදු යන ධීවරයන්ගේ ප්‍රමාණය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. එසේම ඔවුහු සිය කර්මාන්ත සඳහා විවිධ පන්න ක්‍රම උපයෝගී කර ගනිති. ඒ හරහා ධීවර ක්ෂේත්‍රයේ ගැටලු සංකීර්ණ වී ඇති අතර ඒවා විසඳා ගැනීම සඳහා විධිමත් පියවර ගත යුතු බව ද කීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මීගමුව සමුපකාර සංගම් ශාලාවේ දී ඊයේ (17) ධීවර සංගම් නියෝජිතයන් පිරිසක් අමතමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ලයිලා සහ සුරුක්කු දැල් නීතියෙන් තහනම් කර නැහැ. නමුත් දැනට ඒ සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කෙරෙන්නේ සීමිත ප්‍රදේශ කිහිපයක, සීමිත පිරිසකට ගැඹුරු මුහුදේ පමණක් මසුන් මැරීමටයි. නමුත් දැන් තිබෙන තත්ත්වය අනුව ඉතා කුඩා මසුන් පවා මේකට හසුවෙනවා. ඒක බැරෑරුම් කාරණාවක්. මේ තුළින් මත්ස්‍ය සම්පත විනාශ වන බව මගේ හැඟීමයි. දැනට නීති තිබෙනවා. නමුත් ඒ නීති දැනට පවතින තත්ත්වයන් සඳහා ප්‍රමාණවත් නැහැ.

    මේකට තමයි අපි කමිටුවක් පත් කරලා ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා නාරා ආයතනයට භාර දුන්නේ. ධීවර කර්මාන්තය පමණක් දියුණු වෙලා වැඩක් නැහැ. ධීවරයාත් දියුණු විය යුතුයි. දැනුත් කල්පිටියේ උද්ඝෝෂණ. නමුත් උද්ඝෝෂණ කරලා තේරුමක් නෑ. දෙපැත්තට බෙදිලා ගහගන්න එක විතරයි වෙන්නේ.

    විදෙස් නැව් මඟින් ශ්‍රී ලංකාවට මසුන් ගොඩබාන බවට චෝදනා සම්බන්ධයෙන් ද අදහස් පළ කළ අමාත්‍යවරයා, “ලොකුවට මේ දවස්වල කතාවක් යනවා විදෙස් නැව් මඟින් මෙහි මසුන් ගොඩබාන බවට. මා කියනවා මා ඒ නැව් නැවතූ බව. නමුත් මෙහි තව ව්‍යාපාරයක් තියෙනවා, මසුන් රැගෙනවිත් මෙහිදී සකස් කර ප්‍රතිඅපනයනය කරන, එය මෙරට ධීවර කර්මාන්තයට බලපාන්නේ නැහැ. වෙරළ තීරයට මෙන්ම වෙරළ තීරයට ඇති ප්‍රවේශයන් නිවැරදිව තහවුරු කිරීමට ඉදිරියට ක්‍රියාමාර්ග ගන්නවා.

    වෙරළ ආරක්ෂා කිරීමට ඉදිරියට ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. ඉදිරියේ දී නීති විරෝධී ආකාරයෙන් කිසිවෙකුට වෙරළ තීරයේ ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ධීවර කර්මාන්තයේ මෙන්ම සංචාරක ව්‍යාපාරයේ ආරක්ෂාව උදෙසාත් වෙරළ ආරක්ෂා කරගත යුතු බව” අමාත්‍යතුමා අවධාරණය කළේය.

    මෙහිදී ධීවර අමාත්‍යංශය මඟින් එක්දින ධීවර යාත්‍රා 08ක් සහ එංජින් 05ක් ද ධීවරයන් වෙත බෙදා දෙනු ලැබීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya