මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා ක්ෂේත‍්‍රයේ උන්නතියට අවශ්‍ය සෑම සහයක් ම ලබා දෙනවා - ජනපති

    නොවැම්බර් 06, 2014

    අද රටට විදේශ විනිමය රැගෙන එන ප‍්‍රධාන මාර්ගය බවට පත් ව ඇති විදේශ රැකියා ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා අවශ්‍ය සෑම සහයෝගයක් ම ලබා දීමට රජය සෑමවිට ම සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    ආර්ථික වශයෙන් ඉතා වැදගත් මෙහෙවරක් රට වෙනුවෙන් ඉටුකරන විදේශ රැකියා ක්ෂේත‍්‍රය කෙරෙහි රජය දැඩි අවධානයක් යොමු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එදා විරෝධතා පුවරු ඔසවාගෙන සිටි විදේශ රැකියා නියෝජිතයන් හට අද රටේ දියුණුවට දායක වීමට අවස්ථාව ලැබී තිබෙන බව ද පෙන්වා දුන්නේ ය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ බලපත‍්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සඳහා විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට පසුගියදා පස්වරුවේ අරලියගහ මන්දිරයේදී එක්වෙමිනි.

    බලපත‍්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන 1,065ක් අතරින් ශී‍්‍ර ලංකා අලෙවිකරණ ආයතනය විසින් නිර්දේශ කරන ලද ආයතන 254කට මෙහිදී විශිෂ්ටතා සම්මාන හිමි විය. තරු පහේ සම්මානය හිමිකරගත් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත එම සම්මාන ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    ශී‍්‍ර ලංකා අලෙවිකරණ ආයතනය විසින් වාර්ෂික ව සංවිධානය කරන මෙම සම්මාන ප‍්‍රදානය මෙවර සංවිධානය කර තිබුණේ දෙවන වතාවටය.

    විදේශ රටවලට වැරදි තොරතුරු ලබාදෙමින් අප රට අගෞරවයට පත් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා මාතෘ භූමියේ ගෞරවය රැකගැනීමේ වගකීම අප සියලු දෙනා වෙත පැවරෙන බව ද පැවසීය.

    විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර, විදේශ රැකියා ආයතනයේ සභාපති සේනක අබේගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya