ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය ලබා දෙනවා

    මැයි 17, 2024

    කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති අතර එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති AI Grow සමාගමට අයත් හරිතාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට අද (17) පෙරවරුවේ එක් වෙමිනි.

    මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වසර 07කට වැඩි පළපුරුද්දක් ඇති AI Grow සමාගම කෘත්‍රිම බුද්ධිය (AI) සමඟ හරිතාගාර වගාව සහ විවෘත වගාව යන දෙඅංශයම ස්වයංක්‍රීය ක්‍රම මඟින් පවත්වාගෙන යනු ලබයි.

    පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද හරිතාගාර සැලසුම් කිරීම මෙන්ම ඒවා ඉදිකිරීම මෙම සමාගම විසින් සිදු කරනු ලබන අතර, එම හරිතාගාර සඳහා අඛණ්ඩ සේවා සහ නඩත්තු සේවා සහාය ද ලබා දෙයි.

    එම සමාගම යටතේ කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙරට ප්‍රථම හරිතාගාරය කොටස් තුනකින් සමන්විත අතර තක්කාලි වර්ග, බෙල්පෙපර් හා සලාද කොළ වර්ග මෙම හරිතාගාරය තුළ වගා කරයි. බිම්මල් වගාව සඳහා වෙන් වූ වෙනම හරිතාගාරයක් ද ක්‍රියාත්මක කරයි.

    දැනට AI Grow සමාගමේ අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කරන අතර ඔවුන්ගේ වෙළෙඳ නාමය යටතේ දේශීය සුපිරි වෙළෙඳසැල් වෙතද සිය නිෂ්පාදන සපයයි.

    එමෙන්ම මෙම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන හරිත කෘෂිකාර්මික ස්වයංක්‍රීය උපාංග දේශීය ගනුදෙනුකරුවන්ට මෙන්ම විදේශයන්ට ද අළෙවි කිරීම ද සිදු කරයි.

    AI Grow සමාගම දේශීය විශ්වවිද්‍යාල අතර ඇතිකරගෙන ඇති සහයෝගීතාවය මගින් නවීන කෘෂිකර්මාන්තය සඳහා කෘත්‍රීම බුද්ධිය (AI) සම්බන්ධ කර ගැනීම සම්බන්ධ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සැලසීම ද සිදු කරනු ලබයි.

    AI Grow සමාගමේ කෑගල්ල නෙළුම්දෙණිය හරිතාගාරය වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවීන තාක්ෂණය සමඟ කෘෂිකාර්මික මෙහෙයුම් හා නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කළේය.

    ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් නිපදවා තිබෙන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ සහ යතුරු පැදි නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එක් විය.

    අනතුරුව එම පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා සැළසුමකට අනුව නවීන කෘෂිකර්මාන්තය රටට හඳුන්වා දිමට කටයුතු කරන බවත්, ඊට අවශ්‍ය මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් බවත් පැවසීය.

    මේ වෙනුවෙන් බැංකු ණය ක්‍රමවේදයක් යෝජනා කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

    කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගැනීම අනාගත හරිතවාදී ආර්ථිකයක පෙර නිමිති පෙන්නුම් කරන්නක් බව කිවයුතුයි. මෙවැනි පෞද්ගලික ව්‍යවසායකයින්ගේ දායකත්වය ඇතිව කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදාගෙන රට තුළ පුළුල් කෘෂි නවීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අද රජය කටයුතු කරමින් සිටිනවා.

    ඒ අනුව මෙම වසරේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙහි පළමු අදියර යටතේ ප්‍රාදේශය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා.

    මෙම වැඩපිළිවෙළ සමඟ එක්වීමට පෞද්ගලික ව්‍යවසායකයන්ටද අවස්ථාව තිබෙනවා. ඊට අවශ්‍ය පුහුණුව සහ මූල්‍ය පහසුකම් රජයෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

    අද ලෝකයේ අක්කරයකින් 155 දෙනෙකු වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කරනවා. 2050 වන විට අක්කරයකින් ආහාර ලබා දිය හැකි ප්‍රමාණය 255 දක්වා වැඩි කරගත යුතුයි. ඒ සඳහා රටවල් සූදානම් විය යුතු අතර ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට නවීන තාක්ෂණය භාවිතා කළයුතුයි. ඒ සඳහා සීමිත බිම් ප්‍රමාණයක වැඩි අස්වන්නක් නෙලා ගැනීමට අවශ්‍ය තාක්ෂණය අප භාවිතා කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට කටයුතු කිරීම අවශ්‍යයි. අද මේ ආරම්භ කර ඇති වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව සිදුකිරීමෙන් රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බව මම විශ්වාස කරනවා.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya