ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති වැවිලි කර්මාන්තයේ පර්යේෂණ එළිදැක්වීමේ සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.
"ජාතික වශයෙන් ඉතා දියුණු තාක්ෂණයක් අපි උරුම කරගෙන හිටපු ඉතිහාසයක් අපට තිබෙනවා. ගෘහ නිර්මාණ ශිල්පය, වාරි තාක්ෂණය, කම්හල් තාක්ෂණය වැනි සෑම අංශයක ම ඈත අතීතයේ පස්වෙනි ශත වර්ෂයේ සීගිරිය හදන්න පුළුවන්කම් තිබුණා වගේ ම, යෝධ ඇළ, පරාක්‍රම සමුද්‍රය වැනි දේවල් ඉතිහාසයේ හදන්න පුළුවන් වුණා නම් අපේ හැකියාව අපට සිතාගන්න පුළුවන්".
"රාජකීය ආසියාතික සමිතියට, බුද්ධිමතුන් ඉදිරිපත් කළ වාර්තාවල තියෙනවා ලංකාවේ තිබුණ නොයෙක් කර්මාන්තවල තිබුණ දියුණුව ගැන. ඒවා කරන්න අපේ ලංකාවේ ජනතාවට පුළුවන්කම් තිබුණා. නමුත් අපිට වැරදුණු තැනක් තියෙනවා. ඒක තමයි අධිරාජ්‍යවාදීන් අපව යටත් කරගත්තාට පසු අපි ශීලාචාර කමෙන් අඩු ජාතියක් වශයෙන් අප ව ලෝකයට හඳුන්වා දුන්නා. අපගේ අයගේ ඔළුවලටත් වෙන ම චින්තනයක් දමලා අපි වහලුන් බවට පත් කළා".
"දැන් අපට තිබෙන්නේ ගොඩනැගෙන අවස්ථාවක්. අපි මොනවා ගැන ද පර්යේෂණ කළ යුත්තේ. අපි ප්‍රමුඛතාව දිය යුත්තේ මොනවාටද? අපි පිටරටවලට අවශ්‍යතාවන් සඳහා පර්යේෂණ කරනවාද? නැතිනම් අපේ රටේ අවශ්‍යතාවන් පිළිබඳ සැලකිලිමත් වෙනවාද කියා කටයුතු කිරීමට දැනුම අපි ලබාගත යුතුයි".
රජයේ ආර්ථික දැක්මට අනුව වාර්ෂික ව 8%කට ආසන්න ආර්ථික සංවර්ධනයක් ළඟා කරගෙන ඇති බවත් අනෙක් අය හා තරගකාරී ව ඉතා කෙටි කාලීන ව ආර්ථික සංවර්ධනයක් ඇති කරගෙන තිබෙන බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා මධ්‍ය කාලීන ව හා දිගු කාලීන ව ආර්ථික වර්ධනය ශක්තිමත් ව තබාගෙන සිටින බවත් ඒ සඳහා වැවිල් කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉතා ම වැදගත් වන බවත් පෙන්වා දුන්නේය.
"පසුගිය අයවැයේ දී හෙක්ටයාර 130,000ක බිම් ප්‍රමාණයක දේශීය සීනි නිෂ්පාදනයට අවශ්‍ය වන කර්මාන්ත ශාලා පද්ධතියක් ඇති කරන්න යෝජනා කළා. පැල්වත්ත වගේ ම සෙවණගල සීනි කර්මාන්ත ශාලා පාඩු ලබමින් තිබුණේ පුද්ගලීකරණය කිරීම නිසා. අපි මේ කර්මාන්ත ශාලා රජයට පවරා ගත්තා. එය අප සිදු කළේ එයින් පීඩා විඳි ජනතාවගේ කඳුළු පිසදමන්න. ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරන්න. මේ හරහා ජාතික ආර්ථිකයට රුපියල් මිලියන ගණනක් එක් කිරීමට හැකි වුණා".
දේශීය සීනි අවශ්‍යතාවෙන් 10%ක් රට තුළ නිපදවන බවත් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව අලුත්වැඩියා කිරීමට හෝ අලුතෙන් පටන්ගන්න කටයුතු කරගෙන යන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.
DB