මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ අධ්‍යාපනයට මිලියන 7331ක්

    ඔක්තෝබර් 14, 2014
    උතුරේ දරුවන්ට අධ්‍යාපනයේ පහසුකම් සහ වරප‍්‍රසාද නොඅඩුව ලබාදීමට රජය පසුගිය කාලය තුළ ගත් පියවරයන්හි ප‍්‍රතිඵලයක් ලෙස අද එම පළාත අධ්‍යාපනයෙන් ඉහළ ප‍්‍රගතියක් ලබා තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    තුවක්කුවට හුරු වූ දෑතට පාසල් පොතපත ලබාදෙමින් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට කටයුතු කළ නිසා ජාතික මට්ටම හා සැසඳීමේදී පහළ තලයක පැවති උතුරේ අධ්‍යාපනය අද ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    ඒ වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළට දායකත්වය ලබා දුන් අධ්‍යාපන අමාත්‍යාංශය, පළාතේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන් ම දෙමව්පියන්ට තම ස්තූතිය පුද කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ උතුරු පළාත් සංවර්ධන කමිටු රැස්වීමට ඊයේ (13) පෙරවරුවේ යාපනය වීරසිංහම් ශාලාවේදි එක්වෙමිනි.

    ත‍්‍රස්තවාදයෙන් උතුරු පළාතේ ජනතාව නිදහස් කර ගැනීමෙන් අනතුරුව 2009 වසරේ සිට 2013 දක්වා වූ කාලය තුළ උතුරු පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජය රුපියල් මිලියන 7331ක මුදලක් වැය කර ඇත.

    එමෙන්ම නව පාසල් ගොඩනැගිලි ලබාදීම, ගුරු පුරප්පාඩු පිරවීම, විෂයානුබද්ධ පහසුකම් ලබාදීම ඇතුළු පාසල් සංවර්ධන කටයුතු ද සිදු කරන ලදී.

    එහි ප‍්‍රතිඵලයක් ලෙස එම කාල පරාසය තුළ කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයේ අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර සාමාන්‍ය පෙළ සමත් වූවන්ගේ ප‍්‍රතිශතය 70%ක් වන අතර අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ සමතුන්ගේ ප‍්‍රතිශතය 63%කි.

    මුලතිව් දිස්ති‍්‍රක්කයේ සාමාන්‍ය පෙළ සමත් ප‍්‍රතිශතය 56%ක් වන අතර උසස් පෙළ සමත් ප‍්‍රතිශතය 62%කි. වව්නියාව දිස්ති‍්‍රක්කයේ සාමාන්‍ය පෙළ සමත් ප‍්‍රතිශතය 71%ක් වන අතර උසස් පෙළ සමත් ප‍්‍රතිශතය 63%කි. මන්නාරම් දිස්ති‍්‍රක්කයේ සාමාන්‍ය පෙළ සමත් ප‍්‍රතිශතය 70%ක් වන අතර උසස් පෙළ සමත් ප‍්‍රතිශතය 64%කි. යාපනය දිස්ති‍්‍රක්කයේ සාමාන්‍ය පෙළ සමත් ප‍්‍රතිශතය 62%කි. උසස් පෙළ සමත් ප‍්‍රතිශතය 68%කි.

    මෙම ප‍්‍රගතිය පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා අධ්‍යාපනයේ පහසුකම් සහ වරප‍්‍රසාද ලැබී වසර 05ක් වැනි කෙටි කාලයක් තුළ එම දරුවන් ලබාගත් මෙම ප‍්‍රගතිය පිළිබඳ තම සතුට පළ කර සිටියේය.

    උතුරු පළාත තුළ රජය මෙතක් කි‍්‍රයාත්මක කළ සංවර්ධන වැඩපිළිවෙළෙහි ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විමසා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

    පළාතේ අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, පානීය ජලය, වාරිමාර්ග ඇතුළු සියලු ක්ෂේත‍්‍රයන් තුළ ලබා තිබෙන ප‍්‍රගතිය සහ මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

    උතුරේ ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙළ කඩිනමින් කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට ගෙන යන වැඩපිළිවෙළට කිසිසේත් දේශපාලනය ගාව නොගන්නා බව ද පැවසූ ජනාධිපතිතුමා රටේ සියලු ම ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු දේ නොපිරිහෙලා ඉටුකිරීමට රජය සෑමවිටම කැප වී සිටින බව ද කියා සිටියේ ය.

    උතුරු පළාතේ ජනතාවගේ පානීය ජල ගැටලුව සහ කෘෂිකර්ම අවශ්‍යතා සඳහා ජල ව්‍යාපෘති රැසක් කි‍්‍රයාවට නැංවීමට රජය අපේක්ෂා කරයි.

    මොරගහකන්ද ජලාශයේ සිට ඉරණමඩු ජලාශය වෙත ජලය රැගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන අතර ම වසර 92කින් කිසිදු ප‍්‍රතිසංස්කරණයකට ලක් නො වූ ඉරණමඩු ජලාශයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ද ඒ සමඟ ම කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

    එමෙන් ම පළාතේ කුඩා පරිමාණ වැව් සඳහා ජලය ගෙනයාමේ ක‍්‍රමවේදයක් මඟින් ග‍්‍රාමීය ජල ගැටලුව විසඳීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

    උතුරු පළාතේ මාර්ග සංවර්ධනය සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 80,000ක පමණ මුදලක් වැය කර ඇත. ග‍්‍රාමීය මට්ටමේ මාර්ග සංවර්ධන කටයුතු ද විධිමත් ලෙස ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. 

    ඒ -9 මාර්ගයේ සහ කිලිනොච්චි නගරයේ විදුලි පහන් පද්ධතිය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන බවට ජනතාවගෙන් ලැබුණු චෝදනා පිළිබඳ ව මෙහිදී ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කළේය.

    පළාත් පාලන ආයතන මඟින් අදාළ ගෙවීම් නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව අනාවරණය කෙරුණු අතර පළාතේ මාර්ගවල විදුලි ලාම්පු සඳහා සූර්යතාප විදුලි පහන් පද්ධතියක් සවිකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.

    ත‍්‍රස්තවාදයෙන් අවතැන් වූ මන්නාරම ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාවගෙන් කොටසක් යළි නිසි ලෙස පදිංචි කරවා නොමැති බව ද මෙහිදි අනාවරණය කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා, අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, රිෂාඩ් බදියුදීන්, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන් සහ මන්නාරම දිසාපතිවරයා වෙත ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස ද උපදෙස් දුන්නේ ය.

    ත‍්‍රස්තවාදයෙන් අවතැන් වූ උතුරේ දෙමළ ජනතාව විධිමත් ලෙස නැවත පදිංචි කරවීමට පසුගිය කාලය තුළ රජය කටයුතු කළ අතර ඒ ආකාරයෙන් ම මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ කටයුතු නිසි ලෙස සිදු කරන බව ද පැවසූ ජනාධිපතිතුමා රටේ සෑම ජන කොටසක් ම තමාට එක ම ජනතාවක් බවද පැවසීය.

    කොළඹ - යාපනය දුම්රිය මාර්ගය නැවත විවෘත කිරීම පිළිබඳ ව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ තමා කුඩා අවධියේදී යාල් දේවියෙන් යාපනයට පැමිණ තිබුණත් අද යාල් දේවියෙන් යාපනයට පැමිණියේ වසර 30කට පසුව බවයි. 

    වසර 30ක ත‍්‍රස්තවාදය නිසා යුද බිම් බවට පත් වූ ප‍්‍රදේශ අද වගා බිම් බවට පත්ව තිබෙන අයුරු අද යාපනයට පැමිණෙන අතරතුර තමා දුටු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya