වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ මහකිතුල හා මහකිරුළ ජලාශවල ඉදිකිරීම් කටයුතු යාපහුව ඉරුදෙනියාය කෝන්ගහ මංසන්ධියේ දී සමාරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
මහවැලි ජලය වයඹට රැගෙන එන මෙම දැවන්ත වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම සංකේතවත් කරමින් මහකිරුළ හා මහකිතුළ ජලාශ ඉදිකිරීමේ සමරු ඵලකය අග්‍රාමාත්‍යතුමාගේ
සුරතින් නිරාවරණය විය.
වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කිලෝමීටර් 90ක් දිග ඇළ මාර්ගයක්, මීටර් 25ක් පමණ උසැති වැව් බැමි සහිත මහකිරුළ සහ මහකිතුළ ජලාශ දෙකක්, උමං ජල මාර්ග පහක් මඟින්
ගලේවෙල, පොල්පිතිගම, මහව සහ ඇහැටුවැව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව පවතින මහා වැව් හතකට හා කුඩා වැව් 350 කට දෙකන්නයේම වගා කිරීම සඳහා අවශ්‍ය ජලය 2024 වර්ෂය වන විට ලබාදීමට අපේක්ෂිතය.
ව්‍යාපෘතියේ වාර්ෂිකව ජලය අක්කර අඩි 105000 ක් පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට හරවා යල-මහ දෙකන්නයේම වගා කටයුතු සඳහා ගොවිබිම් හෙක්ටයාර 13000 කට වාරි ජලය සපයමින් දැනට පවතින වකුගඩු රෝගයට හේතුවන පානීය ජල ගැටලුව අවම කිරීම වෙනුවෙන් වාර්ෂිකව ජලය අක්කර අඩි 8100 ක් ද මෙහි ඉලක්ක ප්‍රදේශවලට සපයාදීම සිදු වේ.
වසර 3ක් වැනි කෙටි කාලයක් තුළ වැඩ අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත් වියදම රුපියල් බිලියන 10.8 කි.
මෙයට මසකට පමණ පෙර අග්‍රාමාත්‍යතුමා දුන් පොරොන්දුවක් ඉටු කරමින් ප්‍රදේශවාසීන්ගේ ඉඩම් හිමිකම් ගැටලු නිරාකරණය කිරීම සංකේතවත් කරමින් මෙම උත්සවයට සමගාමීව
අග්‍රාමාත්‍යතුමා අතින් ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය සිදුවිය.
සරත් කුමාර, ඒ.එම් ජයරත්න බණ්ඩා, ජේ.එම් දයාරත්න මහත්වරු හා ජේ.එම්.අයි සඳමාලි දායාරත්න සහ කේ. යසෝ මහත්මීහු මෙහිදී ගරු අග්‍රාමාත්‍යතුමා අතින් ඉඩම් හිමිකම් ඔප්පු ලබා ගත්හ.
මෙයට අමතරව කොවිඩ්-19 හමුවේ වයඹ පළාතේ පෙර පාසල්වල දරුවන්ගේ ආරක්ෂක තත්ත්වය වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂක උපකරණ හා ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ අවස්ථාවට ද
අග්‍රාමාත්‍යතුමා එක් විය.
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය,
කුරුණෑගලට මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ලැබීම ගැන මම ඇත්ත වශයෙන්ම සතුටු වෙනවා. තමුන්නාන්සේලාට කියන්න ඕන පසුගිය මහ මැතිවරණයේදි
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දෙ දුන්නේ කුරුණෑගල වෙනස් කරන්න බලාගෙන. මේ දිස්ත්‍රිකක්යේ ඒ වෙනස ඇති කරන්න අපි සියලු දෙනා අධිෂ්ඨානය කරගෙන ඉන්නවා. ඒ වෙනස ඇති කරන යෝධ පියවරක් හැටියට තමයි මේ වාරි ව්‍යාපෘතිය අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ.
එදා ඉඳන් මේ මොහොත වෙනකම් කුරුණෑගල දිස්ත්‍රික්කයට තිබුණ ලොකු අඩුපාඩුවක් තමයි දැවැන්ත ජල යෝජනා ක්‍රමයක අවශ්‍යතාවය. බීමට ජලය වගේම හාමුදුරුවනේ කෘෂිකර්මාන්තය
සඳහා ජලය කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අත්‍යාවශ්‍ය දෙයක්. අද අපි සම්පූර්ණ කරන්න හදන ව්‍යාපෘතියෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පිරිසකට දැවැන්ත සේවයක් වෙනවා.
මේ ව්‍යාපෘතියෙන් පවුල් හතළිස් දහසකට (40,000) පමණ ප්‍රතිලාභ ලැබෙනවා. යල-මහ දෙකන්නයේම හෙක්ටයාර දොළොස් දහස් පන්සීයකට (12500) වැඩි ප්‍රමාණයක් අස්වැද්දීමට හැකියාව ලැබෙනවා. වයඹ පළාත තුළ පවතින වකුගඩු රෝගයට හේතු වන උග්‍ර පානීය ජල ගැටලුවටත් මෙම ව්‍යාපෘතියෙන් පිළියම් ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. වයඹ ඇල ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ ප්‍රධාන ජලාශ 07ක් සහ කුඩා වැව් 326ක් පෝෂණය වන නිසා මේ ප්‍රදේශයේ මිරිදිය මත්ස්‍ය වගාවත් දියුණු වෙනවා. ඒ වගේම පාරිසරික සංචාරක කර්මාන්තය දියුණුවීම මඟින් රැකියා අවස්ථා ඇති වන බවත් ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම වාරි ක්ෂේත්‍රය සංවර්ධනය තුළින් ජාතික ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමත් කටයුතු කරන්න අපි සූදානම්.
මූලික මහවැලි මහ සැලැස්මේ වයඹ පළාතට ජලය ලබාදීම සඳහා සැලසුම් සකස් කරලා තිබුණේ නැහැ. කුරුණෑගල සංවර්ධනය කරන්න මේ පළාතෙ ජනතාව වගේම දේශපාලන නායකත්වය ඉල්ලපු දේ අද අපි ලබාදෙන්න තීරණය කරලා තිබෙනවා.
2019 ජනාධිපති මැතිවරණයේදි සහ 2020 පැවති මහ මැතිවරණයේදි දිවයින පුරා රැස්වීම්වලට යනකොට ජනතාවගේ ලොකුම ඉල්ලීම වුණේ විශේෂයෙන්ම පානීය ජල ප්‍රශ්නයට විසඳුම් දෙන්න කියලා. අපේ රජය යටතේ මේ රටේ ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදීමට අපි සැලසුම් කරලා තියෙනවා.
ජල සම්පාදන අමාත්‍යංශය හරහා මේ වෙනකොට ඒ සඳහා වන සැලසුම් සකස් කරලා තියෙන්නේ කියලා තමුන්නාන්සේලා දන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වසර කිහිපය තුළ මේ
රටේ පානීය ජල ප්‍රශ්නය විසඳන්න.
ඒ වගේම කෘෂිකර්මාන්තයට මූලිකත්වය ලබාදෙන ආර්ථීක සැලසුම් අපි සකස් කරලා තිබෙනවා. කෘෂිකර්මාන්තය සඳහා වන ජලය ලබාදීමේ වාරි සැලසුම් පිළිබඳවත් අපි සැලසුම් කරලා
තිබෙනවා. වාරිමාර්ග අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කරන “වාරි සෞභාග්‍යා” ජාතික වැඩසටහනෙන් කරන්නේ ඒ කාර්යයි.
මේ සියල්ලක්ම අපි කරන්නේ මේ රටේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකරමින් දේශියත්වයට මුල්තැන දෙමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් නිර්මාණය කිරීමටයි.
මිත්‍රවරුනි,
මගේ ගම රුහුණේ හම්බන්තොට ප්‍රදේශයේ මැදමුදලන කියන ගමේ. මේ වගේම ග්‍රාමීය ප්‍රදේශයක් විශාල. අපි හැමදාමත් ඡන්දය ඉල්ලුවේ හම්බන්තොටින්. මම විතරයි හම්බන්තොටින් එළියට ඇවිත් මේ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලුවේ. මම මේ පළාත ගැන තියපු විශ්වාසය පහුගිය ජනාධිපතිවරණයේදි මේ දිස්ත්‍රික්කයේ ජනතාව ඒ විදිහටම තහවුරු කරපු එක ගැන මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. ඒ විතරක් නෙමෙයි 2015 පරාජය වුණාට පස්සේ ඉතාම දුෂ්කර කාලයක මම කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව ගැන විශ්වාසය තියලා ඡන්දය ඉල්ලුවා. ඒ මොහොතෙත් මේ කුරුණෑගල ජනතාව අපි කෙරෙහි විශ්වාසය තිබ්බා. ඒ නිසා දුෂ්කර මොහොතේ මට වගේම අපේ රජයට උපකාර කළ ජනතාවගේ දුෂ්කරතා තුරන් කරන්න අපි ඉදිරියටත් කැපවෙනබව කියන්න ඕන.
මේ ව්‍යාපෘතිය වගේම අංග සම්පූර්ණ පාසල්, තවත් ජල ව්‍යාපෘති , රැකියා සම්පාදන ව්‍යාපෘති ආදී බොහෝ දේ අපි සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පළාතේ තියෙන ප්‍රවාහන
පහසුකම් වැඩිදියුණු කරන්න වුවමනා මාර්ග පද්ධතිය වැඩිදියුණූ කරන්නත් ඒ විදිහටම කැපවෙලා වැඩකරන බව කියන්න අපි ඕන. මහාමාර්ග ඇමතිවරයා ඉන්නෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ
බව මතක් කරන්න ඕනි.
ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා අපි ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධ කළත් රටේ සංවර්ධන කටයුතු එක මොහොතකට අතහැරියේ නැහැ. යුද්ධය කරන කොටත් රටේ
සංවර්ධනය අපි කරගෙන ගියා හාමුදුරුවනේ. නැගෙනහිර බේරගෙන උතුරට හමුදා මෙහෙයවනකොට නැගෙනහිර පළාත වේගයෙන් සංවර්ධනය කළා. උතුරේ යුද්ධය නිමා කරලා ඒ
රණවිරුවන් දකුණට ආවේ සංවර්ධනය කරපු, ගොඩනගපු පළාත් හරහා.
යුද්ධය තියෙනකොට තමයි අපි කොළඹ - මාතර අධිවේගි මාර්ගය හදන්න කටයුතු කළේ. යුද්ධය තියෙනකොට තමයි අපි හම්බන්තොට වරාය හදන්න වැඩ කටයුතු කළේ. යුද්ධය
තියෙනකොට තමයි අපි මත්තල ගුවන්තොටුපළ හදන්න වැඩකටයුතු කළේ. යුද්ධය තියෙනකොට තමයි අපි නොරොච්චෝලේ විදුලි බලාගාරය හදන්න පටන් ගත්තේ.
යුද්ධය ජයග්‍රහණය කරලා මේ වැඩ කරන්න හිතුවා නම් ඒ එකක්වත් අපිට කරන්න ලැබෙන්නේ නැති බව ඔබ දන්නවා. ඒ නිසා මම කියන්න ඕන කොවිඩ් වසංගතය තිබුණත් අපිට සංවර්ධන
කටයුතු නතර කරන්න බැහැ. අපි නතර වෙන්නෙත් නැහැ. අපේ බලාපොරොත්තුව රෝගී වුණ ලෝකයක් මැද නිරෝගී සංවර්ධනයක් වුණ රටක් හදාගන්න. ඒ තමයි අපේ බලාපොරොත්තුව.
මිත්‍රවරුනි,
පසුගිය යහපාලන ආණ්ඩුව මොකක් හෝ ප්‍රශ්නයක් ආවහම ඒ ප්‍රශ්නය පිට දාලා රටේ සංවර්ධනය අත පසු කළා. ඒවා අමුතුවෙන් කියන්න ඕනි නැහැ. රටේ ජනතාවගේ ජීවන තත්ත්වය
ගොඩනැගීමේ කාර්යය අතරමග අතහැරලා දැම්මා. මේ කොවිඩ් වසංගතය ආවහම විපක්ෂයේ බොහෝදෙනෙක් කිව්වේ පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා. ඡන්ද තියන්න එපා කියලා.
නමුත් අපි පාර්ලිමේන්තුවත් කැඳෙව්වා. ඡන්දෙත් තිබ්බා.
ඒ වගේම කොවිඩ් වසංගතය තුරන් කරන ඖෂධය ගෙන්වන්න සූදානම් වෙනකොට අපිට ගෙන්වන්න බැහැයි කියලා අනාවැකි කිව්වා. ඒ විතරක් නෙමෙයි ඒ ඖෂධය අපි ගෙන්වන්න සූදානම් වෙකොට සමහර විපක්ෂයේ උදවිය කිව්වා අපි බෙහෙත් හිඟාකන්න යනවා කියලා. අපි බෙහෙත ගේන්න සූදානම් වෙනකොට ගේන බෙහෙතට වඩා හොඳ බෙහෙතක් යුරෝපා රටවල තියෙනවා කියලා කිව්වා.
අපි දැන් කොවිඩ් වසංගතය තුරන් කරන්න අවශ්‍ය වෙන ඖෂධය ගෙනල්ලා ඉවරයි. දැන් මොකක්ද විපක්ෂය කියන්නේ. දැන් විපක්ෂය කියනවා මේ බෙහෙත ජනතාවට දෙන්න හොඳ නැති
අසාර්ථක බෙහෙතක් කියලා. ලෙඩක් පෙන්වලා රට වලකට ඇදලා දාන්නයි මේ උත්සහ කරන්නේ. මතක තියාගන්න යුද්ධෙදි අපේ කකුලෙන් ඇද්ද අයම තමයි කොවිඩ් වසංගතයෙදිත් අපේ
කකුලෙන් අදින්නේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ පළාතේ ජනතාවගේ දූ දරුවෝ තමයි වැඩිපුරම එදා යුද්ධෙට ඉදිරිපත් වුණේ. යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ ගෙවුණු යහපාලන ආණ්ඩුව මේ රටේ
රණවිරුවන්ට විරුද්ධව මානව හිමිකම් යෝජනාවලට එකඟතාවය පළ කළා කියලා ඔබට මතක ඇති. අද වෙනකොට මේ ප්‍රදේශයකවත් රණවිරුවෙකුට විදේශයකට හෝ විදේශ රැකියාවකට
යන්න බැරි තත්ත්වයක් ඇති කරන්න මොවුන් සූදානම් කරනවා.
මේ තත්ත්වයට මුහුණ දෙන්න අපි සූදානම්. අපි මේ තියෙන වසංගත මැද්දේ වේගයෙන් වැඩ කරගෙන යනවා. මේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න වේගයෙන් නිරාකරණය කරගෙන යනවා.
දැනටමත් අතිගරු ජනාධිපතිතුමා ගමින් ගමට,නගරයෙන් නගරයට ඇවිදිමින් ජනතාව අතරට ඇවිත් ප්‍රශ්න හඳුනාගනිමින් ගැටලුවලට විසඳුම් දෙමින් සිටිනවා. මේ සියල්ල කරන්නේ අපි සියලු වසංගත මැද්දේ නිරෝගීව සංවර්ධනය වුණු රටක් බිහි කරන්න. අපි ඒ කාර්ය සැලසුම් සහිතව ඉටුකරන බව සිහිපත් කරනවා.
තමුන්නාන්සේලා මෙතනට පැමිණ අපිට දැක් වූ සහයෝගයට ස්තූතිවන්ත වෙනවා.
ඔබ සැමට තෙරුවන් සරණයි! යැයි පැවසීය.
මෙම අවස්ථාව සඳහා වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, දික්වැහැර දෙමටමළු උභය විහාරාධිපති, රාජකීය පණ්ඩිත රැකව ජිනරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.
එහිදී තිහව දස්සන් දළුපොත හා නාගොල්ල රජමහා විහාරය යන උභය විහාරාධිපති, පොල්පිතිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී, හිරියාල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගනේගොඩ ශ්‍රී සිද්ධාර්ථ රතනජෝති නාහිමියෝ අනුශාසනාවක් කළහ.
එහිදී උන්වහන්සේ ප්‍රකාශකර සිටියේ,
පරාජිත උනාට පස්සේ කිසිම ජනාධිපති කෙනේව හොයාගෙන මිනිස්සු වැල නොකැඩි ගෙදරට ගිහිල්ලා ඔබතුමා නැවත එන්න කියලා කියනවා අපි කවුරුත් දැකලා නෑ. ඒ සියලු ජනතාවගේ
ආරාධනය පිළි අරගෙන මේ රට කරවන්න පුළුවන් දක්ෂ විධායක ජනාධිපතිතුමෙක් ඔබතුමා අපිට ලබලා දුන්නා. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා.
2007 වර්ෂයේ ඔබතුමන් මොරගහකන්ද ජලාශය හදන කාලේ, එදා මේ වයඹ ජනතාවට ජලය දෙන්න ඕන කියල තීරණය මත තමයි එය ඉදි කළේ. යහපාලන ආණ්ඩුව කාලේ අපේ හිටපු
ජනාධිපතිතුමා ඒකට විවිධ කැනවිලි කිව්වා. ඇඩුවා ගිහිල්ලා. ඒ කරලා එය තමා මේක කළේ ඒ පැත්තට ඒක අවසන් කළා.
අපේ ජන දුක හදුනන, අපේ හදවතට දැනුන එකම නායකයා තමයි අතිගරු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන මතක් කරන්නේ ගොඩක් සතුටින් යැයි පැවසූහ.
මෙම අවස්ථාව සඳහා, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, සිරිපාල ගම්ලත්, දයාසිරි ජයසේකර,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගුණපාල රත්නසේකර, අසංක නවරත්න, ශාන්ත බණ්ඩාර, චරිත හේරත්, යූ.කේ.සුමිත් උඩුකුඹුර, ජයරත්න හේරත්, මංජුලා දිසානායක, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහත්ම මහත්මීන් හා වාරි මාර්ග අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක මහතා ඇතුලු උසස් රාජ්‍ය නිලධාරී ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.