එම වැඩපිළිවෙළ රටේ අනාගතය වෙනුවෙන්ම බව එතුමා සඳහන් කළේය. මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රධාන ප්‍රතිවාදියාගේ නම කිසිදු විටක සඳහන් නොකළ තමා විරුද්ධ මතවාද විවේචනය නොකළ බව පැවසීය. එය ඇතැම් විට ගිනස් වාර්තාවක් විය හැකි බව ද එතුමා කීය. තමාට වැදගත් වන්නේ පුද්ගලයා නොව ප්‍රතිපත්ති බව ද ජනාධිපතිතුමා පැවසීය.
මාධ්‍ය ආයතන කර්තෘවරුන්, ප්‍රවෘත්ති සංස්කාරකවරු සහ අධ්‍යක්ෂවරු සමඟ (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
මාධ්‍යවේදීහු විවිධ පැතිකඩ සහ ක්ෂේත්‍ර අලලා ජනාධිපතිතුමාගේ ප්‍රශ්න විමසූහ. ජනාධිපතිතුමා ඒවාට සරල, ඝෘජු සහ පැහැදිළි පිළිතුරු ලබා දුන්නේය.
ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගය නූතන තාක්ෂණයයි...
කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත්කරගැනීම සඳහා විශේෂයෙන් සන්නිවේදන තාක්ෂණය ඇතුළු නූතන තාක්ෂණික ශිල්ප ක්‍රම ආර්ථිකයට හඳුන්වා දීමට ඉහළ ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය. සංවර්ධන ක්‍රියාදාමයේ ගාමක බලවේගය තාක්ෂණය බව එතුමා කීය. ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය පරිදි තාක්ෂණය හඳුන්වා දීම සිය ඉලක්කය බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
“සන්නිවේදන තාක්ෂණ ක්ෂ්ත්‍රයේ වත්මන් ආර්ථික වටිනාකම ඩොලර් බිලියනයක් එය ඉදිරි වසර දෙක තුන ඇතුලත ඩොලර් බිලියන 3 දක්වා වැඩිකරන්න පිළිවන්. උත්පාදනය කළහැකි රැකියා සංඛ්‍යාව තුන්ලක්ෂයක් පමණ අප කළ යුත්තේ අවශ්‍ය ශ්‍රමිකයන් පුහුණු කිරීම” ජනාධිපතිතුමා කීය.
තුනෙන් දෙකක බලය අවශ්‍ය ජනතා පැතුම් ඉටුකරන්න
ළග එන මහ මැතිවරණයේදී ඔබතුමාගේ පාර්ශ්වය තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලන්නේ කුමක් සඳහා දැයි මාධ්‍යවේදියෙක් විමසීය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිතුමා තමා බලයට පත්කළ ජනතාව අපේක්ෂා රැසක් සපුරා ගැනීමට බලා සිටින බව කීය. ඔවුන්ගේ ප්‍රාර්ථනා සපුරාලීමට නම් ජනාධිපතිවරයාට බාධාවලින් තොරව වැඩ කිරීමේ අවකාශය තිබිය යුතුයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ අවකාශය පැහැරගෙන ඇත. ජනතාවගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරායට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බාධා පනවා තිබෙන්නේ නම් එවැනි ව්‍යවස්ථාවක තේරුම කුමක්දැයි ප්‍රශ්න කළ රාජපක්ෂ ජනාධිපතිතුමා තුනෙන් දෙකක ජනවරමක් අවශ්‍ය මේ බාධකය ඉවත් කිරීමට බව පෙන්වා දුන්නේය. ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ʽස්වාධීනʼ කොමිෂන් සභා ස්වාධීන විය යුතුයයි කියා සිටියේය. 19 වැනි සංශෝධනය හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සභා එසේ නොවන බව එතුමා කීය.
උපාධීධාරීන්ගේ රැකියා පුහුණුව ගැන මැතිවරණ කොමිසම සමග කතාකරනවා.
මැතිවරණ කොමිසමේ සභාපති විසින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා පුහුණුව අත්හිටුවීම ගැන කුමක් කරන්නේ දැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය. “රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දීම මගේ
ජනාධිපතිවරණ ප්‍රතිඥාවක් එතැන දේශපාලනයක් නැහැ. සුදුසුකම් ඇති සියලුදෙනා රැකියාලාභීන් ලෙස තෝරාගත්තා. දැනට සැලසුම් කර ඇත්තේ ඔවුන් පුහුණු කිරීම. රැකියාවක් කරන්න පුහුණුවක් අවශ්‍යයි. එබැවින් මේ ගැටලුව නිරාකරණය සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ජා කරනවා”, ජනාධිපතිතුමා පැවසීය.
ජීනිවා යෝජනා ජාතියේ ස්වාධීනත්වයට අභියෝගයක්
ජීනීවා යෝජනාව හෙවත් ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිල යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වීම නිසා ඇතිවිය හැකි ප්‍රතිවිපාක වලට මුහුණු දෙන්නේ කෙසේදැයි මාධ්‍යවේදියෙක්
විමසීය. “ ජීනිවා යෝජනාව ජාතියේ ස්වාධීනත්වයට සහ අභිමානයට අභියෝගයක්. තමන්ගේ ආරක්ෂක හමුදා යුද අපරාධ කළ බව පිළිගත් ඉතිහාසයේ එකම අවස්ථාව මෙයයි. සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම අවශ්‍ය වුයේ ඒ නිසා. අපි මේ ප්‍රශ්නයේ මුලට යන්න ඕනෑ. උමා මහේෂ්වරන් තම දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේ ආර්ථික දුක්ගැනවිලි ගැන කියමින්. පසුව මේ සත්‍යය වසන් කොට බෙදුම්වාදය ඉස්මතු කළා. අප ඇත්ත ප්‍රශ්නයට විසඳුම් දිය යුතුයි”, ජනාධිපතිතුමා කීය.
අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නයට දෙන විසඳුම කුමක්දැයි තවත් ප්‍රශ්නයක් අසනු ලැබීය. අතුරුදන් වූ පිරිස් දෙපාර්ශ්වයේම සිටින බව පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා සිදුවීමක් දෙකක් මුල්කරගෙන දේශපාලන අරමුණු ඇතිව එය සමස්තය බවට ආරෝපණය කර ඇතැයි සඳහන් කළේය. අතුරුදන් වූ පිරිස් හඳුනාගැනීමෙන් පසු ඔවුනට මරණ සහතික නිකුත් කළ හැකි බව එතුමා පැවසීය. අතුරුදන්වූවන් ගැන යුනිසෙෆ් කළ සමීක්ෂණයකදී හෙළි වූයේ ආයතනය අතුරුදන් බව කියන විශාල පිරිසක් එල්ටිටීඊ විසින් යුද්ධයට බඳවා ගනුලැබීමෙන් පසු සටනේදී මිය ගොස් ඇති බවයි , ජනාධිපතිතුමා සඳහන් කළේය.
වාර්ගික හා ආගමික අන්තාවදයට ඉඩ තබන්නේ නැහැ.
“ පසුගිය ජනාධිපතිවරණයේදී ඔබතුමාගේ පාර්ශ්වය පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන බොහෝ සෙයින් කතාකළා. ඊට වගකිව යුතු අයට දඬුවම් කිරීමට තවමත් හැකිවී නැත්තේ ඇයි? මාධ්‍යවේදියෙක් ප්‍රශ්න
කළේය. ”
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සෙවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසක් පත්කර තිබේ. එහි අතුරු වාර්තා දෙකක් මා වෙත ලැබී ඇත. අවසන් වාර්තාව ලැබුණු පසු එහි ඇතුළත් නිර්දේශ අනුව අවශ්‍ය පියවර ගැනීමට පිළිවන. ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තවේ ද වැදගත් නිර්දේශ ඇතුළත් විය. ඒ සියල්ල සැලකිල්ලට ගන්නා බව සඳහන් කළ ජනාධිපතිතුමා දැනට සිදුවන පරීක්ෂණ පිළිබඳව කාදිනල් හිමිපාණන් ද සෑහීමට පත්ව සිටිතියි කීය.
බදු අඩුකිරීමෙන් ව්‍යාපාර රැසක් ආරක්ෂා වුණා.
වැට් ඇතුළු ඇතැම් බදු අඩුකිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය ලැබී නැතැයි මාධ්‍යවේදියෙක් සඳහන් කලේය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිතුමා අසීරු තත්වයක සිටි ව්‍යාපාර රැසක් බදු කපාහැරීම නිසා ආරක්ෂා කරගැනීමට හැකිවිණැයි පෙන්වා දුන්නේය.
රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස කළ පත්වීම් බහුතරය සතුටුදායකයි.
රාජ්‍ය සංස්ථා සහ වෙනත් ආයතනවල ඉහළ තනතුරු සඳහා තේරීම් කමිටුවකින් නිර්දේශ ලබාගැනීමට ජනාධිපතිතුමා හඳුන්වා දුන් ක්‍රමය සාධනීය එකක් බව කී මාධ්‍යකරුවෙක් මෙතෙක් කර ඇති පත්වීම් ගැන සෑහීමකට පත්වන්නේ දැයි ප්‍රශ්නයක් ඇසීය. ආයතන රැසක ඉහළ තනතුරු සඳහා කළ පත්වීම් ගැන සෑහීමට පත්විය හැකි බව කී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඇතැම් පත්කීරීම් ගැන ගැටලු තිබෙන බව පැවසීය. ඉහළ තනතුරුවලට පත්වූවන් නිශ්චිත කාලයක් තුළ සාර්ථක ප්‍රතිඵල පෙන්විය යුතුය. එසේ නොකළහොත් ඔවුන් ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එතුමා කීය.
අයහපත් චර්යාවක් ඇති මන්ත්‍රීවරුන් සමග ඔබතුමා අපේක්ෂා කරන ගමන යා හැකි දැයි විමසීමක් කෙරිණ. “මන්ත්‍රීවරුන් තෝරාගන්නේ ජනාධිපති නොවේ. එහි වගකීම තනිකරම ඇත්තේ ජනාතවට. ඔවුන් වඩාත් ම යෝග්‍ය නියෝජිතයා තෝරාගත යුතුයි” එතුමා පිළිතුරු දුන්නේය.
කලින් ආණ්ඩුව අපටත් වැඩියෙන් හමුදා නිලධාරීන් තනතුරුවලට පත්කළා.
රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස හිටපු හමුදා නිලධාරීන් පත්කිරීමේ යෝග්‍යාතව ගැනද ප්‍රශ්නයක් මතුවිය. පසුගිය රජය විශ්වවිද්‍යාල බලධාරියෙකු ලෙස හමුදා නිලධාරියෙකු පත්කළ බව කී ජනාධිපතිතුමා එදා නිහඬව සිටි විපක්ෂය දැන් කලබල වී ඇතැයි සඳහන් කළේය. පසුගිය ආණ්ඩුව වත්මන් රජය පත්කලාට වැඩි හමුදා නිලධාරීන් පිරිසක් විවිධ තනතුරුවලට පත්කර තිබූ බව කී ජනාධිපතිතුමා ඉහළ ශ්‍රේණිවලට අයත් හමුදා නිලධාරීන් පරිපාලනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක මනා දේශීය විදේශීය පුහුණුවක් ලැබූ අය බව එතුමා පෙන්වා දුන්නේය.
කෘෂිකාර්මික ක්ෂේත්‍රය ගැන නගනු ලැබූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා අතරමැදියන්ගේ සූරාකෑම තුරන් කොට ගොවියාටත් පාරිභෝගිකයාටත් යුක්තිය ඉටුකිරීම සිය අරමුණ බව ප්‍රකාශ කළේය.