අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි නිලධාරීන්ට ස්ථීර පත්වීම් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් මගින් දිළිඳුබව තුරන් කිරීම අරමුණයි

    පෙබරවාරි 21, 2020

    ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා මේ බව කීය. “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් එය සංවිධාන කර තිබිණ.

    සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට මෙහිදී ස්ථීර පත්වීම් ප්‍රදානය කරනු ලැබීය. පසුගිය වසර පහේදී ස්ථීර පත්වීම් නොලද සමෘද්ධි නවක පත්වීම්ලාභීන් ස්ථීර කිරීමේ වැඩපිළිවෙළ යටතේ පත්විම් ප්‍රදානය කෙරිණ.

    සමාජයේ සෑම ස්ථරයකටම අයත් ජනතාවට ජීවත්විය හැකි අයුරින් ආදායම් මට්ටම නැංවීම රජයේ අරමුණයි. එහි එක් පියවරක් ලෙස අඩු අදායම්ලාභී පවුල්වල සාමාජිකයන් ලක්ෂයකට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන සැලසුම් කර තිබේ. පිරිස තෝරාගැනීමේ දී සමෘද්ධි සහ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    “අපේ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15ක්. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද සඳහා වැය කරන්නේ මහජන මුදල්. විධිමත් අයුරින් රාජ්‍ය ආදායම මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේනම් සියලු අංශවල වරප්‍රසාද සහ අයිතීන් සහතික කරන්න පුළුවන්. රජයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දීනා දීමට සූදානම්. රාජ්‍ය සේවකයන් සිය වගකීම රට වෙනුවෙන් ඉටු කළ යුතුයි”. ජනාධිපතිතුමා පැවසීය.

    ජන ජීවිතය පහසුකිරීමේ ප්‍රයත්නයට හවුල්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි. සිය දැනුම ඝෘජුවම රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනිමින් ජනතාවගේ ජීවන තත්ත්වය සහ රටේ ආර්ථිකය දියුණු කළ හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

    “කෘෂි ක්ෂේත්‍රයේ දෙවන පරපුරක් බිහි නොවීම ගැටලුවක්. යටිතල පහසුකම් සංවර්ධනය නොවීම සහ නිසි වෙළෙඳ ‍පොළක් නොතිබීම, වෙ‍ළෙඳපොළ ඒකාධිකාරිය හා පවතින පහසුකම් නිසි අයුරින් කළමනාකරණය නොවීම ඊට බලපා තිබෙනවා. ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම් දෙමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම කඩිනම් කළ යුතුයි” ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

    විවිධ නීති රීති සහ තහංචි නිසා ජනතාව පීඩාවට පත්ව සිටිති. එවැනි නීති ලිහිල් කරමින් ජන ජීවිතය පහසු කිරීම රාජ්‍ය සේවකයන්ගේ වගකීම යැයි ද ජනාධිපතිතුමා පැවසීය.

    “පසුගිය රජයේ වැරදි හෝ අතපසුවීම් වර්තමාන රජයේ නිදහසට හේතුවක් කරගන්නේ නෑ. ඒ අදුරදර්ශී පාලනය නිසා රටට මුහුණදීමට සිදුව ඇති සියලු අභියෝග ජය ගැනීමට සුදානම්. සියලු රාජ්‍ය සේවකයන්ගේ ශක්තිය ඒ සඳහා රජයට අවශ්‍යයි” ජනාධිපතිතුමා කීය.

    එස්. මහානාම, අශෝක අලවත්ත අමාත්‍යාංශ ලේකම්වරු , සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්, සමෘධි මහා සංගමයේ ලේකම් ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ සාමාජිකයෝ හමුවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya