අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපනය පිළිබඳ නිවැරදි දැක්මක් පාලකයන්ට තිබිය යුතුයි- ජනපති

    අගෝස්තු 28, 2019

    රටේ දරුවන්ගේ අනාගතය සහ අධ්‍යාපනය පිළිබඳ නිවැරදි දැක්මක් රටේ පාලකයන්ට තිබිය යුතු බව ජනාධිපතිවරයා ලෙස තමා විශ්වාස කරන බව ජනාධිපතිතුමා පවසයි.

    උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් සපිරි යහපත් රටක් ලෙස රට ගොඩනැගිය හැක්කේ එවන් නිවැරදි දැක්මක් සහ සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ   (26) පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති 13 වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේ සමාරම්භක අවස්ථාව අමතමිනි.

    මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට සහ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් පසුගිය පස් වසර තුළ කැපී පෙනෙන වැඩකොටසක් ඉටුකර තිබෙන බවයි.

    උසස් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව වෙන් කෙරෙන ප්‍රාග්ධන වියදම පසුගිය වසරවල රුපියල් බිලියන 60 දක්වා ඉහළ නැංවූ බවත්, වත්මන් රජය බලයට පත්වීමට පෙර එම ප්‍රමාණය බිලියන් 45ක් පමණක් වූ බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    එමෙන්ම 2013-2014 වසරවල විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරුණු සිසුන්ගේ ප්‍රමාණය 24,198 ක් පමණක් වු අතර ගෙවීගිය 2018-2019 වසරවල එම සංඛ්‍යාව 31,158 දක්වා ඉහළ නැංවූ බවත් එය 28% වර්ධනයක් බවත් ජනාධිපතිතුමා පැවසීය. වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ, විද්‍යා අංශවලට වැඩිපුර සිසුන් ඇතුළත් කිරීම අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් සෑම විශ්ව විද්‍යාලයකම නව පීඨ ඇති කරමින් ඒවාට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවුවා පමණක් නොව නව උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා හඳුන්වාදීමට ද පියවර ගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මහපොළ ශිෂ්‍යත්ව මුදල රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබෙන අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම වෙනුවෙන් ක්ෂේත්‍රයේ විද්වතුන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    එපමණක් නොව 2014 වසර අවසාන වන විට ඇ.ඩො. 3821ක්ව පැවති ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇ.ඩො. 4060 දක්වා ඉහල නැංවීමට ද වත්මන් රජයට හැකියාව ලැබුණු බව ජනාධිපතිතුමා පැවසීය. පාසල් අධ්‍යාපනයේ ද ගුණාත්මක වෙනසක් සිදුව තිබෙන අතර අද ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ සහභාගිත්වය 100% වන අතර ද්විතික අධ්‍යාපනය ලබන දරුවන්ගේ සහභාගිත්වය ද 99%ක් වැනි ඉහළ අගයක පවතින බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළ (SLUG), ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉහළම ක්‍රීඩා උලෙළ ලෙස සැලකෙන අතර විශ්වවිද්‍යාල 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන දේශීය තාරුණ්‍යයේ සරසවි ඔලිම්පික් උලෙළ ලෙස ද හැඳින්වෙයි. වසර 03කට වරක් ශ්‍රී ලංකාවේ විවිධ විශ්වවිද්‍යාලවලට මෙම ක්‍රීඩා උලෙළ සංවිධානය කිරීමේ සත්කාරකත්වය හිමිවන අතර 2019 වසරේ රුහුණු විශ්ව විද්‍යාලය විසින් එහි සත්කාරකත්වය දරනු ලබයි.

    පුරා දින ගණනාවක් පැවැත්වෙන මෙම ක්‍රීඩා උලෙළ තුළින් සැබෑ මිනිසුන්ගේ විනය හැසිරීම හා විවේචනයන් දරාගැනීමේ වැනි අවශ්‍යම ගුණාංගයන් පවත්වා ගැනීමට අවස්ථාව උදාකර දෙයි. තරග අංශ 22ක් යටතේ 35කට නොඅඩු තරඟ ඉසව් සංඛ්‍යාකින් මෙවර එය සමන්විතය.

    ක්‍රීඩා උලෙළ සමාරම්භය සනිටුහන් කරමින් එහි නිල ධජය ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

    රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ ද, දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්ය මහාචාර්යවරුන් ද 13 වන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේ සභාපති මහාචාර්ය තිලක් පී. ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya