අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය කර්මාන්තකරුවා නඟාසිටුවීමේ වැඩපිළිවෙළ වෙනස් කිරීමේ සූදානමක් නෑ

    ජූලි 23, 2014
    දේශීය කර්මාන්තකරුවා නඟාසිටුවීමට රජය අනුගමනය කළ නිවැරදි ප්‍රතිපත්තීන් හේතුවෙන් රට ආර්ථික ජයග්‍රහණ රැසක් ලබා ඇති බව පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම ක්‍රමවේදය වෙනස් කිරීමට තමා කිසිසේත් සූදානම් නැති බව අවධාරණය කළේය.
     
    එම ක්‍රමවේදයන් වෙනස් කිරීම හේතුවෙන් 77 කාලය තුළ රටේ ඇතිවු අහිතකර තත්ත්වයද සිහිපත් කළ ජනාධිපතිතුමා එදා අනුගමනය කළ ප්‍රතිපත්තීන් හේතුවෙන් අපගේ දේශීය ආර්ථිකය විනාශ වී ගිය අයුරුද සිහිපත් කළේය. 
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් සමඟ ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ හමුවකදී. 2015 අය-වැය සැකසීම සඳහා ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට මෙම හමුව කැඳවා තිබුණි.
     
    පසුගිය රජයන් අනුගමනය කළ සියලු දේ පිටරටින් ගෙන්වීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් අපගේ දේශීය කර්මාන්තකරුවා ඇඳවැටුණු බව පැවසූ ජනාධිපතිතුමා වත්මන් රජයේ නිවැරදි වැඩපිළිවෙළ යටතේ අද ඔවුන් නැවත ගොඩනැගෙමින් සිටින බවද කියා සිටියේය.
     
    එදා මහා පරිමාණ ව්‍යාපරිකයින් පමණක් කතා කළ විදේශ වෙළෙඳපොළ අද ගමේ කුඩා ව්‍යාපාරවල නිරතවන කාන්තාවන්ගේ ද ඉල්ලීම බවට පත්ව ඇත. නගරයේ මෙන්ම ගමේත් සිදු ව ඇති දැවැන්ත සංවර්ධනය ඒ තුළින් මනාව තහවුරු වන බවද පැවසු ජනාධිපතිතුමා ගමේ ජනතාවද මෙවන් තත්ත්වයකට ගොඩනැගීම පිළිබඳ තමා නිහතමානීව ආඩම්බර වන බවද කියා සිටියේය.
     
    රට තුළ සිදුව ඇති දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය ඇතැම් දේශපාලනඥයින් නොදුටුවද අද එහි උපරිම ප්‍රතිලාභ ගමේ ජනතාව භුක්ති විඳිමින් සිටින බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    ආහාර පාන , කිතුල් පිටි , තල්, කුළුබඩු සහ සහල් පිටි, පශු සම්පත් හා එළකිරි, යෝගට්, කොහු, සම් ආදී නිෂ්පාදයන්, මැහුම් කර්මාන්තය, අත්කම් නිර්මාණ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් කාන්තා ව්‍යසායකයින් මීට එක්ව සිටියහ.
     
    ඒ ඒ ක්ෂේත්‍රවල ඔවුන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳ ව මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.
     
    කිතුල් කර්මාන්තය සඳහා ඍජුව මැදිහත්වන ආයතනයක අවශ්‍යතාව මෙහිදී එම කර්මාන්තයේ නිරතවන කාන්තා ව්‍යවසායකයින් විසින් ජනාධිපතිතුමා වෙත පෙන්වාදුන් අතර ඒ කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඒ සඳහා වෙනම ලේකම්වරයෙකු පත් කිරීමට උපදෙස් දුන්නේය.
     
    කිරි ගවයින් සඳහා අවශ්‍ය තණ බිම් නොමැතිවීම හේතුවෙන් කිරි ගොවීන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳ ව අවධානය යොමු කෙරුණු අතර එම තණ බිම් හඳුනාගැනීම සඳහා අවශ්‍ය අධ්‍යයනයක් මේ වන විට සිදුකරමින් පවතින බව ජනාධිපතිතුමා පැවසීය.
     
    තම කර්මාන්තය සඳහා අවශ්‍ය විදේශ පුහුණුව ලබාගැනීම, ප්‍රවාහන ගැටලු, බැංකු ණය ලබාගැනීම, අමුද්‍රව්‍ය ලබාගැනීම, තම නිෂ්පාදන සඳහා ප්‍රමිති සහතික ලබාගැනීම, ව්‍යාපාර ලියාපදිංචියේ දී මතුව ඇති ගැටලු පිළිබඳ ව මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණි.
     
    තම නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළ අවස්ථා ලබාගැනීම පිළිබඳ මෙහිදී කාන්තා ව්‍යවසායකවරු දීර්ඝ වශයෙන් ඉල්ලීම් සහ යෝජනා ඉදිරිපත් කළහ.
     
    දශක තුනක් පුරා රටේ පැවැති ත්‍රස්තවාදය හමුවේ මුළු ගැන්වී තිබු තම ජීවිතවලට නව ආලෝකයක් උදාකර දුන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බව මෙහිදී කියා සිටි එම කාන්තාවන් ඒ පිළිබඳ ව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත සිය ප්‍රණාමය පුද කර සිටියාය. 
     
    අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, බැසිල් රාජපක්ෂ, තිස්ස කරල්ලියද්ද, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හේමාල් ගුණසේකර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, වයි.ජී. පද්මසිරි, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් ද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් සහ රජයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya