රට තුළ ඇති ප‍්‍රශ්නවලට අවස්ථානුකූලව හා වඩාත් සුදුසු ආකාරයට විසඳුම් ලබා නොදීමේ ප‍්‍රතිඵලයක් ලෙස දශක තුනකට ආසන්න බිහිසුණු යුද්ධයකට අපට මුහුණදීමට සිදුවූ බව සඳහන් කළ ජනාධිපතිතුමා, රටට ආදරය කරන සැබෑ මිනිසුන් ලෙස සියලු ජාතීන් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැගීමට එක්වන ලෙස තමා සියලූ ශී‍්‍ර ලාංකිකයින්ට ආරාධනා කරන බව ද ප‍්‍රකාශ කළේය.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සහ අසිරියෙන් සමරන දීපාවලි උත්සවය නිමිතිකොට ගනිමින් පසුගියදා කොටුව, ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ දීපාවලී සැමරුම් උත්සවය අමතමිනි.
වසර තිහකට ආසන්න කාලයක් පැවති බිහිසුණු යුද්ධයකින් අහිමී වී ගිය ජාතීන් අතර සුහදතාවය, මිත‍්‍රත්වය හා අන්‍යොන්‍ය බැඳීම් නැවත ගොඩනැගීමට වත්මන් රජය කටයුතු කරමින් සිටියදී ඇතැම් අන්තවාදී පිරිසක් එම කටයුතු කඩාකප්පල් කිරිමට උත්සාහ දරන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
රටේ සියලු සංස්කෘතීන්වල අනන්‍යතාවයන් හඳුනාගනිමින් සහ ඒවාට ගරු කරමින් සියලු කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළේය.
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව දළ කෙටුම්පතක් හෝ මේ වන විට සකස්කර නොමැති අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පදනම් කරගත් වාර්තාවක් පමණක් බව ද පැවසූ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් සියලුදෙනාගේ අදහස් සහ යෝජනා ලබාගනිමින් සුදුසු කි‍්‍රයාමාර්ග පමණක් ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
හින්දු සම්ප‍්‍රදායානුකූල විවිධ සංස්කෘතික අංගවලින් මෙම උත්සවය වර්ණවත් වු අතර මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය අමාත්‍ය වී.රාධක‍්‍රිෂ්ණන්, මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරු ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් එක්ව සිටියහ.
ජනාධිපති කාර්යාලය සංවිධානය කළ දීපාවලි සැමරුම් උළෙලේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සිදුකළ කතාව (2017-10-19)
ගෞරවනීය හින්දු පූජකතුමන්ලා සමග දීපාවලි උළෙල නිමිති කරගෙන ඓතිහාසික ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන මෙම උත්සවයට මගේ ආරාධනය පරිදි සහභාගිවන ඔබ සියලු දෙනා ගෞරවයෙන් පිළිගන්නවා. දීපාවලි උළෙලේ තිබෙන වැදගත්කමත් මේ රටේ මුළු මහත් ජනතාව බලාපොරොත්තු වන ජාතික සහජීවනය, සංහිඳියාව, සමගිය ගොඩනැගීම සඳහා දීපාවලි උතුම් දිනයේදී මුළුමහත් ජනතාවට මෙන්ම සමාජයට යහපත් පණිවුඩයක් දීමට අවස්ථාව ලැබීම පිළිබඳවත් මා ඉතාමත් සතුටු වෙනවා. මගේ ආරාධනය පරිදි සහභාගිවන ගෞරවනීය හින්දු පූජකතුමන්ලා ඇතුළු ඔබ සියලු දෙනාම නැවතත් ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් මා පිළිගනු ලබනවා.
දීපාවලි උළෙලේ වැදගත්කම එහි ඓතිහාසික පසුබිම ආගමික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් එහි තිබෙන්නාවූ වැදගත්කම පිළිබඳව අප සෑම කෙනෙක්ටම සුළු හෝ අවබෝධයක් තිබෙනවා. සමාජය තුළ අයහපත් දේ පරාජය කිරීමත් යහපත් දේ ජයග‍්‍රහණය කිරීමත් අපි සෑම කෙනෙකුගේම බලාපොරොත්තුවයි. ස්වාමිනාදන් ඇමතිතුමාගේ කතාවේදී දීපාවලි උළෙලේ තිබෙන්නාවූ පසුබිම පිළිබඳව එතුමා කරුණු පැහැදිලිි කළා. යහපත් සමාජයක් හදන්න අපේ රටේ තිබෙන ප‍්‍රශ්න විසඳා ගැනීමේදී ජාතීන් අතර සමගිය ගොඩනගන්න ශක්තිමත් සහෝදරත්වයකින් මුළු රටේ ජනතාව ජීවත්වන පසුබිමක් ගොඩනගන්න මේ පණිවුඩ ඉතාමත් වැදගත් වෙනවා.
බෞද්ධ දර්ශනය තුළ වේවා හින්දු දර්ශනය තුළ වේවා කි‍්‍රස්තියානි දර්ශනය තුළ වේවා ඉස්ලාම් දර්ශනය තුළ වේවා සෑම ආගමික දර්ශනයකින්ම පෙන්නුම් කරන්නේ සමාජයේ යහපත් ජීවිතයක් සමග යහපත් පැවැත්මක් සමග සෑම කෙනෙක්ම ජීවත්වීමේ වටිනාකමයි. අපි රජය විදියට කටයුතු කිරීමේදී ආගමික දර්ශනයන්ගෙන් පෙන්නුම් කරන මාර්ගය ඔස්සේ ආගමික දර්ශනයන්ගෙන් අපට දෙනු ලබන අවවාද සහ ආදර්ශයන් තුළ මේ රටේ පැහැදිලි ලෙසම ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය තේරුම් ගෙන කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.
බෞද්ධ ජනතාවගේ සංස්කෘතිය, හින්දු ජනතාවගේ සංස්කෘතිය, ක‍්‍රිස්තියානි ජනතාවගේ සංස්කෘතිය, ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතිය ඒ සියල්ල සමග ශ‍්‍රී ලාංකිකයින් විදියට අපට තිබෙන සංස්කෘතිය, එම සංස්කෘතින් තුළ අප සෑම කෙනෙක්ම හඳුනා ගැනීම රටක් විදියට ඉදිරියට යාමට මහෝපකාරී වෙනවා. දීපාවලි දිනයේදී මේ උතුම් පණිවුඩය සමග යහපත් සමාජයක් ගොඩනගන්න එක්වීම අවශ්‍ය වෙනවා.
අපේ රටේ තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නවලදී ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ කාර්යයේදී රජයේ වගකීම ඉෂ්ට කරමින් යන අවස්ථාවක රජයේ කටයුතු පිළිබඳව බොහෝ වැරදි ප‍්‍රචාරයන් වැරදි අදහස් සමාජයට දීමට ඇතැම් අන්තවාදී කොටස් විසින් කරනු ලබනවා. අප පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා මේ යුගයේදී අපේ කාර්යභාරය කුමක් ද කියා. අපි අවුරුදු තිහකට ආසන්න නරක යුද්ධයක පැටලී සිටි පිරිසක්. ඒ තුළ අපේ සමාජය කඩාහැලීම ආර්ථිකය කඩාහැලීම අප අතර අසමගිය, සැකය, අවිශ්වාසය, බිය මේ සියල්ල ජනතාව තුළ ගොඩනැගුනා. සියලු ජාතීන් අතර සමගිය ගොඩනගා සැකයෙන් බියෙන් තොර යහපත් සමාජයක් ගොඩනගන්න අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම වඩාත් වැදගත් වෙනවා.
අද දහවලේදී මා සමග සාකච්ඡාවට පැමිණියා, පසුගිය දිනවල උතුරේ උද්ඝෝෂණ, විරෝධතා කළ, ඒවා මෙහෙයවනු ලැබූ නායකයින්. සිවාජිලිංගම් මහත්මයා අද එතුමාගේ නියෝඡිතයිින් සමග මාව හමුවුණා ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මම යාපනයට ගිය අවස්ථාවේ ඔවුන්ගෙ උද්ඝෝෂණය තිබූ තැනට ගොස් මම කිව්වේ ඕනෑම ප‍්‍රශ්නයක් විසඳාගන්න අපිට සාකච්ඡා කරන්න පුළුවන් කියලා. ඒ අනුවයි ඒ පිරිස් අද මාව හමුවන්න ආවේ. යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාව හමුවුණා. මේ දෙගොල්ලටම තිබෙන ප‍්‍රශ්න මට ඉදිරිපත් කළා. ඒ ඉල්ලීම්වලින් ඇතැම් කරුණු අපට ඉටුකරන්න පුළුවන්. ඇතැම් කරුණු ඉටුකළ නොහැකියි. නමුත් ඔවුන් ඉදිරිපත් කළ අදහස් ඉතා වැදගත්වෙනවා.
බොහෝ වෙලාවට දකුණේ ජනතාව අතර උතුරේ ජනතාව පිළිබඳව වැරදි අදහස් තිබෙනවා. ඒ වගේම උතුරේ ඇතැම් ජනතාව තුළ දකුණේ ජනතාව පිළිබඳව වැරදි අදහස් තිබෙනවා. නමුත් අපි හමුවී සාකච්ඡා කිරීම තුළ සෑම කෙනෙක්ටම අවබෝධයක් එනවා අපි කවුද කියලා හඳුනාගන්න. ඒ තුළ වඩාත් ඵලදායී ලෙස ගැටුම් නිරාකරණය කරගෙන අපිට කටයුතු කරන්න පුළුවන්. හොඳ අදහස්, යෝජනා සමග අප විසින් තෝරාගත යුතු වෙනවා ගැටුම් නැතිව අපේ ප‍්‍රශ්න අපි විසඳාගන්නේ කෙසේද කියලා.
ගැටුම් නිරාකරණය කිරීම සමාජයට අත්‍යවශ්‍ය දෙයක්. මේ සියල්ලේදී අපි දැනුම, බුද්ධිය මුල්කරගෙන කටයුතු කළ යුතුයි. තවත් අත්‍යාවශ්‍ය කාරණයක් මේ මොහොතේදී මා මතක් කරනවා.
අපි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මේ රටේ ජනතාව තුළ සහෝදරත්වය ගොඩනගන්න. සහජීවනය ඇතිකරන්න. රට බෙදෙන්නේ කැඩෙන්නේ නැතිව ව්‍යවස්ථාමය වෙනස්කම් කරන්න, බලය බෙදීමේ සංකල්පය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගෙන රට තුළ සාමය ගොඩනගන්න අපි කටයුතු කිරීමේදි ඇතැම් පිරිස් වැරදි තොරතුරු සමාජයට දෙනවා. අන්තවාදී පිරිස් ජනතාව නොමග යවනවා. ගෞරවනීය මහා සංඝරත්නයට වැරදි තොරතුරු දෙනවා. අනෙකුත් ආගමික පූජකතුමන්ලාට වැරදි තොරතුරු දෙනවා.
අපි රජය විදියට ගෙන යන වැඩපිළිවෙළට ඇතැම් අය චෝදනා කරනවා. අපි ජාත්‍යන්තර කුමන්ත‍්‍රණකාරයෝ කියලා කියනවා. ජාත්‍යන්තරය කියන විදියටයි මේ ව්‍යවස්ථාව ගේන්නේ, කියලා කියනවා. 1957-58 දී එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා චෙල්වනායගම් මහත්මයත් එක්ක සාකච්ඡා කරලා එදා බලය බෙදීම පිළිබඳව ගිවිසුමක් සකස්කළ වෙලාවේ බණ්ඩාරනායක මැතිතුමත් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට අහුවෙලා හිටියද කියලා අපිට චෝදනා කරන අයගෙන් මම අහන්න කැමතියි. ඩඩ්ලි සේනානායක අගමැතිතුමා 1960 ගණන්වල චෙල්වනායගම් මහත්මයත් එක්ක සාකච්ඡා කරලා බලය බෙදීම පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කළ වෙලාවේ ඩඩ්ලි සේනානායක මැතිතුමාත් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට අහුවෙලා හිටියද කියලා මම අහන්න කැමතියි.
මේ රටේ යුද්ධයක් ඇතිවෙන්න, එල්ටීටීඊ සංවිධානය ඇතිවෙන්න, ප‍්‍රභාකරන් ඇතිවෙන්න හේතුව ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්ද කියා මම අහනවා. නමුත් රටේ ප‍්‍රශ්න විසඳීමට අවශ්‍ය අවස්ථාවට අවශ්‍ය තීන්දු තීරණ නොලැබීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි එල්ටීටීඊ සංවිධානය බිහිවුණේ. ඒ තුළ තමයි ප‍්‍රභාකරන් වගේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී නායකයෙක් බිහිවුණේ. අපි ඒ තත්ත්වය තේරුම් ගන්නට ඕන. ඒ නිසා නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවන්න, ප‍්‍රභාකරන්ලා බිහි නොවන්න අපි මේ සමාජය යහපත් කරන්නේ කොහොමද? සමාජය සමගි කරන්නේ කොහොමද? ජනතාව අතර විශ්වාසය ගොඩනගන්නේ කොහොමද? මේ කියන කරුණු කාරණා බුද්ධියෙන් දැනුමෙන් සහ අවබෝධයෙන් මෙන්ම පරිණතභාවයෙන් තේරුම්ගන්නට ඕන. අපට කාමරයක් ඇතුළේ ඉඳලා සාකච්ඡා කරලා තීන්දු තීරණවලට එළැඹෙන්න පුළුවන්. නමුත් ඉන් පිට සමාජයේ තිබෙන ප‍්‍රශ්න මොනවාද, ජනතාව කතා කරන්නේ කොහොමද, ඔවුන්ට තිබෙන ගැටලු මොනවාද, ඔවුන්ට තිබෙන ගැටලුවලට පදනම් වූ කරුණු කාරණා මොනවාද, මේවා තේරුම් ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා.
ඒ නිසා අපට අවශ්‍ය වන්නේ සැමවිටම නිදහස් බව මෙන්ම සමාජය සන්සුන්ව, යහපත්ව ඉතාමත්ම සමගිව ගොඩනැගීමේ පදනමක් ඇතිකර ගැනීමයි. ඒ නිසා බොහෝ වෙලාවට මේ නොමග යැවීම්වලින් අපි ඉවත් වෙලා සත්‍යය සහ නිවැරදි දේ තේරුම් අරගෙන වැඩකරන්නට ඕන. අපි තවමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව දළ කෙටුම්පතක් වත් හදා නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැදීමට අවශ්‍ය කරුණු පදනම් කරගත් වාර්තාවක්. ඒ වාර්තාවේ තිබෙන කරුණු නුසුදුසු ඒවා නම් ඉවත් කරන්න පුළුවන්. තව අවශ්‍ය දේවල් තිබෙනවා නම් එකතු කරන්න පුළුවන්. නමුත් හදා නැති ව්‍යවස්ථාවක් පිළිබඳව මේ වාර්තාවක් පදනම් කරගෙන තවත් වැරදි ආකාරයට සමාජය නොමග යවන්නට ඇතැම් පිරිස් උත්සාහ ගනු ලබනවා.
ඒ නිසා සැමවිටම මේ රටේ ජනතාවගේ අනාගතය ගැන අපි හිතන්න ඕන. රට ගැන හිතන්නට ඕන. මේ ප‍්‍රශ්නවල සංකීර්ණ ස්වභාවය මෙන්ම ප‍්‍රශ්නවල බැරෑරුම් බව තේරුම් ගන්නට ඕන. එක්දහස් නමසිය පනස් ගණන්වල සිට ගෙවීගිය දශක කිහිපයේදීම මේ ප‍්‍රශ්න විසඳා ගැනීමට දේශපාලන නායකයින්, රාජ්‍ය නායකයින්, ගත් උත්සාහවලදී ඒවාට බාධා කිරීම් කළ අය සිටියා. ඒ ප‍්‍රතිඵලවලින් තමයි අපට යුද්ධයකට මුහුණ දෙන්න සිදුවුණේ. එහෙම නම් අපි අපේ අත්දැකීම් සමග අනාගතය ගොඩනගාගැනීමේදී යුද්ධයක් නොවෙන්න වැඩ කරලා අපි සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත් වන්න, උතුරේ හා දකුණේ ජනතාවට අවිශ්වාසයෙන් හා සැකයෙන් තොරව සහෝදරත්වය ගොඩනගන්න අවශ්‍ය වටපිටාව සකස් කිරීමයි අපි රජයක් විදියට බලාපොරොත්තු වෙන්නේ. ඒ අරමුණ ඉටුකරගැනීමේදී අපට බොහෝ අභියෝග එල්ල වෙනවා. පසුගිය දශක කිහිපයේදීත් ඒ දේ සිදුවෙලා තිබෙනවා. ඒ ආත්ම ශක්තියෙන් ආත්ම ධෛර්යයෙන් මුළුමහත් රටේ ජනතාව වෙනුවෙන් නැවත යුද්ධයක් ඇති නොවීමේ පවිත‍්‍ර අරමුණ තුළ තමයි අපි කටයුතු කළ යුත්තේ.
මෙවැනි අවස්ථාවක මේ කරුණු පැහැදිලි කිරීමට විශේෂයෙන්ම මා තීරණය කළේ අද දවසේ හැටියට රට පුරා තිබෙන්නා වූ විවිධ වැරදි මත හා ප‍්‍රචාර නිවැරදි කිරීම අවශ්‍ය නිසයි. අපි සෑම කෙනෙක්ම මේ රටට ආදරය කරන මිනිස්සු. අපි සෑම කෙනෙක්ම මේ රටේ ඉපදුණ මිනිසුන් ලෙසට මේ රට ගොඩනගන්න ශක්තිමත් කරන්න මේ රට ඉදිරියට ගෙනියන්නයි අවශ්‍ය වෙන්නේ. අපි කිසිකෙනක් දෙස වෛරයෙන්, ක්‍රෝධයෙන් බලන්න හොඳ නැහැ. අපි සෑම කෙනෙක්ම එකට එකතු වෙලා සාකච්ඡා කරලා ඒ අවබෝධය තුළින් කටයුතු කළයුතුයි. ඒ තුළින් මිත‍්‍රත්වය ගොඩනැගෙනවා. විශ්වාසය ඇතිවෙනවා. සහෝදරත්වය ගොඩනැගෙනවා.
අද මේ උත්සවයේදී අපි සෑම කෙනෙක්ම නිවැරදි දේ තෝරාගෙන රට ගොඩනැගීමේ කාර්යයේදී අපේ වගකීම් හා යුතුකම් ඉටුකරමු. අපේ රජය ඒ වෙනුවෙන් කැපවෙන බව ප‍්‍රකාශ කරමින් මාගේ කතාව අවසන් කරනවා.
ස්තුතියි !