අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැන් රටේ ආදායම ඉහළ ගොස් තිබෙනවා- අගමැති

    ඔක්තෝබර් 19, 2017

    මෙම රජය අනුගමනය කළ පියවර හේතුවෙන් දැන් රටේ ආදායම ඉහළ ගොස් තිබෙන බවත්  බදු මුදල් වැඩි කරමින් එදා බදු නොගෙවූ කොටස්වලින් බදු අය කර ගනිමින්, වැට් බදු අය කරගනිමින් මෙරට රටේ ආර්ථිකය ගොඩනගා තිබෙන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


    2015 වසරේ දී රටේ ආදායමෙන් ණය ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගත වි තිබුණත් අද අපේ රටේ ආදායමෙන් ණය ගෙවීමට තරම් ශක්තියක් ඇති වී තිබෙන අතර රටේ ආර්ථිකය තව තවත් ශක්තිමත් කළ යුතු බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් නාත්තන්ඩිය, මානිංගල ඉදි වූ "අශෝකපුර නිවාස ව්‍යාපෘතිය" විවෘත කිරීමේ උත්සවයේදී ඊයේ (18) අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    "මෙම ස්ථානයට පැමිණීමෙන් පසුව මට එක් සිද්ධියක් මතකයට නැගුණා. ඒ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සම්බන්ධ කර ගෙන මේ ඉඩම නිරවුල් කර දෙන ලෙස අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා එදා මගෙන් කළ ඉල්ලීමයි. ඉන් පසුව මම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාත්, අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමාත් කැඳවා විසඳුමක් ලබා දුන්නා. නමුත් එම ගැටලූව එතැනින් අවසන් වුණේ නැහැ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතැම් අවස්ථාවල ලබාදුන් නියෝග අනුව ක්‍රියා කළේ නැහැ. නමුත් අශෝක ප්‍රියන්ත මැතිතුමා ඒ වෙනුවෙන් විශාල සටනක් ගෙන ගියා.

    මේ සම්බන්ධයෙන් මෙතරම් මැදිහත් වන්නේ ඇයිදැයි එදා මම අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමාගෙන් විමසා සිටියා. මේ ප්‍රදේශයේ ජනතාවට තමන්ට හිමි ඉඩමක් හෝ නිවසක් නොමැති බවත්, ඔවුන් අනුන්ගේ කුලී නිවාසවල ජීවත් වන බවත්, ඔවුන්ගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට සුදුසු වාතාවරණයක් නොමැති බවත්, එම නිසා ඔවුන්ට මෙම නිවාස ලබා දීම වෙනුවෙන් තමන් සටන් කරන බවත් එතුමා එහිදී මා සමග පැවසුවා. මේ ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන සඳහා අග්‍රාමාත්‍යවරයා වන ඔබතුමාත්, ආණ්ඩුවත් සූදානම් නම් එය ප්‍රමාද කිරීමට තමන් කිසිවෙකුටත් ඉඩ නොතබන බව අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා මට පැවසුවා. එතුමාගේ ධෛර්යය හා ශක්තිය හේතුවෙන් මෙම අශෝකපුර නිවාස වැඩසටහන ආරම්භ කිරීමට හැකියාව ලැබුණා.

    එතුමා මෙම වැඩසටහනේ නායකත්වය ගනිමින් කටයුතු කළා. මෙම ස්ථානයේ නොසිටියත් නිරෝෂන් පෙරේරා ඇමැතිතුමා මේ පිළිබඳව මා හට විටින් විට වාර්තා කළා. එතුමාගේ උත්සාහය නිසා අද මෙම අශෝකපුර නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමට මට අවස්ථාව ලැබුණා. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමාට ඒ පිළිබඳව ප්‍රශංසා කළ යුතුයි.

    හැරල්ඩ් හේරත් මැතිතුමා වගේම අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා මේ ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරන බව ඔබ මතක තබා ගත යුතුයි. නාත්තන්ඩිය ඇතුලූ මේ කලාපය තවමත් සංවර්ධනය කළ යුතු ප්‍රදේශ ලෙස සැලකෙනවා. මේ ප්‍රදේශවලට අවශ්‍ය සියලූම පහසුකම් අපි සලසා දිය යුතුයි. ඒ වෙනුවෙන් අපට විශේෂ සංවර්ධන වැඩසටහනක් තිබෙනවා. මේ ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් වන අපේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ සඳහා අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා හොඳ උදාහරණයක්. අපට අවශ්‍ය වන්නේ අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා වැනි පාර්ලිමේන්තුවේ දී හොදින් කතා කරන, අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉතා හොදින් පැහැදිලි කරන, අපේ පක්‍ෂය ආරක්‍ෂා කරන මන්ත්‍රීවරු බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.

    මෙම නිවාස යෝජනා ක්‍රමයට අවශ්‍ය වූ විදුලි බලය අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමාගේ ඉල්ලීම මත අජිත් පී. පෙරේරා ඇමැතිතුමා විසින් ලබා දුන්නා. මෙම නිවාස වැඩසටහනට අවශ්‍ය විදුලි බලය ලබා ගත්තේ ඒ ආකාරයටයි. එසේ නම් අජිත් පී. පෙරේරා ඇමැතිතුමාටත් ස්තූතිවන්ත විය යුතුයි. එතුමා මෙම නිවාස ව්‍යාපෘතියට අවශ්‍ය විදුලි බලය ලබා දෙන අතරම තමන්ගේ ප්‍රදේශයේ විශාල කර්මාන්තකරණයක් ඇති කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා.
    වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මැතිතුමාත් මේ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නා. මෙම නිවාස ව්‍යාපෘතියට අවශ්‍ය මාර්ග පද්ධතිය ලබා දුන්නේ එතුමායි. මාර්ග පද්ධතියක් නොතිබුණා නම් නිවාස ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එතුමා මේ වැඩසටහනට දායකත්වය ලබා දෙන අතරම වයඹ සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරනවා. එම නිසා මෙම සියලූ වැඩ කටයුතු වෙනුවෙන් එතුමාට විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුයි. එස්.බී. නාවින්න මහතා හිටපු මහ ඇමැතිවරයා ලෙසත්, වත්මන් වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් වයඹ සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරනවා.

    එමෙන්ම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා පිළිබඳවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා, සිය පියාණන් වන දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එදා හෙබවූ අමාත්‍යාංශය බාර ගනිමින් පියාණන් ආරම්භ කළ නිවාස ලබා දීමේ වැඩසටහන නැවත රට පුරා ක්‍රියාත්මක කරමින් සිටිනවා. එතුමා මේ වන විට නිවාස ව්‍යාපෘති 470ක් ආරම්භ කර තිබෙනවා. එතුමා ඔබට අවශ්‍ය නිවාස ලබා දෙනවා, නිවාස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය ණය මුදල් ලබා දෙනවා, ඊට අවශ්‍ය ඉඩම් ලබා දෙනවා ඒ වගේම ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දෙනවා. අපේ ආණ්ඩුවේ ආධාර ක්‍රම යටතේ නිවාස ලක්ෂ 02කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු පසුගිය වසර දෙක තුළ ආරම්භ කිරීමට එතුමාට හැකි වී තිබෙනවා. මෙවැනි විශාල වැඩසටහන් ආරම්භ කිරීමට එතුමාට හැකියාව ලැබුණේ කෙසේද? ඒ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අපේ ආණ්ඩුව ගත් පියවර නිසයි.

    2015 වසරේ ජනාධිපතිවරණය පැවැත්වූයේ එවකට පැවැති ආණ්ඩුවට රටේ ණය බර දරා ගැනීමට නොහැකි වූ නිසයි. රටේ ආදායම ණය පියවීමටවත් ප්‍රමාණවත් වූයේ නැහැ. එපමණක් නොවෙයි, 2018 – 2019 කාලය වන විට නැවත ගෙවීමට විශාල ණය ප්‍රමාණයක් ඉතිරිව තිබුණා. එය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයකට එදා රට පත්ව තිබුණා. එම නිසා කඩිනමින් මැතිවරණයකට යාමට ඔවුන් එදා තීරණය කළා. නමුත් රටේ ආර්ථිකය ඒ වන විටත් කඩා වැටී තිබුණා.

    ඉන්ධන මිල වැඩි කරමින් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට විශාල ලෙස බදු පනවමින් අවශ්‍ය මුදල් සොයා ගැනීමට එදා ආණ්ඩුව උත්සාහ කළා. නමුත් ඉන්ධන වැනි භාණ්ඩවල මිල ලෝක වෙළෙඳපොලේ ඉහළ යන විට ඊට සාපේක්‍ෂව අපේ වෙළෙඳපොළේ මිල වැඩි කිරීමත්, ලෝක වෙළෙඳපොලේ මිල පහළ යන විට ඊට සාපේක්‍ෂව අපේ වෙළෙඳපොලේ මිල අඩු කිරීමටත් අප ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. නමුත් ලෝක වෙළෙඳපොලේ මිල වැඩි වුණත්, මිල අඩු වුණත් අපේ වෙළෙඳපොලේ මිල ඉහළ දැමීම එදා පැවැති ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වුණා.

    රටේ එවැනි තත්ත්වයක් ඇතිව තිබූ අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර රටේ ජනාධිපතිවරයා ලෙස පත් වුණා. අනතරුව අග්‍රාමාත්‍යවරයා ලෙස මා වැඩ බාරගනිමින් අපේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. ඉන් පසුව රටේ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කිරීමට අප ආර්ථික විශේෂඥයින් කිහිප දෙනෙක් කැඳවූවා. ඔවුන් අතරින් එක් අයෙකු මට පැවසූයේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, ඔබතුමාත් මේ බාර ගෙන තිබෙන්නේ පණ අදින ලෙඩෙකු බවයි. එහිදී මා පැවසූයේ එම පණ අදිමින් සිටින ලෙඩා මියායමට නොදී කෙසේ හෝ අප බේරා ගන්නා බවයි. ඒ අනුව අපි මේ අභියෝගය බාර ගත්තා. මේ ආණ්ඩුව නිර්මාණය කළේ එම අභියෝගයට මුහුණදීමටයි. එම අභියෝගයට මුහුණ දෙමින් දැන් අප සාර්ථකව ඉදිරියට යමින් සිටිනවා.

    ඇත්ත වශයෙන්ම 2015 ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩු බලය ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි මාස 03 තුළ රට කරවීමටවත් අවශ්‍ය තරම් මුදල් නොතිබූ බව මම මෙහිදී ප්‍රකාශ කරන්න කැමතියි. අපේ අයවැය හරහා වැටුප් වැඩි කරමින් ජනතාවට විශාල සහන රැසක් ලබා දුන්නා. ඒ අනුව අපේ වියදම් ඉහළ ගියා. නමුත් අප එක් දෙයක් තීරණය කළා. එනම් කඩා වැටී තිබූ රටේ ආර්ථිකය ගොඩගනිමින් මේ රට සාර්ථකව ඉදිරියට ගෙන යන බවයි.
    පැවැති ආකාරයටම අපත්, රට ඉදිරියට ගෙන ගියා නම් ලබාගෙන තිබූ ණය ඉදිරි පරම්පරා දෙකකටවත් ගෙවා අවසන් කර ගැනීමට නොහැකි වනවා. රටේ ණය අපේ පරම්පරාවේදීම ගෙවා අවසන් කරනවා ද, නැතිනම් එය රටේ අනාගත පරම්පරාවට බාර දෙනවාද යන්න තීරණය කිරීමෙන් පසුව ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කළා.

    අප අනුගමනය කළ පියවර හේතුවෙන් දැන් රටේ ආදායම ඉහළ ගොස් තිබෙනවා. බදු මුදල් වැඩි කරමින් එදා බදු නොගෙවූ කොටස්වලින් බදු අය කර ගනිමින්, වැට් බදු අය කරගනිමින් අපි රටේ ආර්ථිකය ගොඩනැගුවා. වැට් බදු අය කිරීමේ දී බොහෝ අය අපට චෝදනා කළත් අද රටේ ආදායම ඉහළ ගොස් තිබෙනවා. නමුත් 2015 වසරේ දී රටේ ආදායමෙන් ණය ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් උද්ගත වි තිබුණත් අද අපේ රටේ ආදායමෙන් ණය ගෙවීමට තරම් ශක්තියක් ඇති වී තිබෙනවා. රටේ ආර්ථිකය තව තවත් ශක්තිමත් කළ යුතුයි.

    2015 අප රට බාර ගන්නා විට රටේ ආදායම වියදමට වඩා අඩු වී තිබුණා. රටේ වියදම් හා ආදායම් අතර පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5.7% ක වෙනසක් ලෙස සටහන් වී තිබුණා. 2020 වසර වන විට එය 3.5% දක්වා අඩු කිරීම අපේ බලාපොරොත්තුවයි. මෙවැනි විශාල වැඩ කොටසක් සිදු කරන අතරම පසුගිය වසර දෙක තුළ නිවාස ලක්‍ෂ දෙකකට අධික ප්‍රමාණයක් වෙනුවෙන් ආධාර කිරීමටත් අපට හැකි වුණා.  
    එපමණක් නොවෙයි, උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ලබාදීම, බිම් අඟලකවත් හිමිකාරීත්වයක් නැති වතුකරයේ ජනතාවට පර්චස් 7 ක භඣමි ප්‍රමාණයක නිවාස ඉදිකර දීම, කොළඹඅඩු ආදායම්ලාභී පැල්වත්වාසී ජනතාවට වෙනත් ස්ථානවල මහල් නිවාස ලබා දෙමින් එම ඉඩම් වෙනත් විශාල සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කිරීම ආදී වැඩ කටයුතු ගණනාවක් අප සිදු කළා. එමෙන්ම මධ්‍යම ආදායම් සහිත ජනතාවට නිවාස ලබා ගැනීමට අවශ්‍ය ණය මුදල් ලබා දීමටත් අපි කටයුතු කරමින් සිටිනවා.

    මේ ආකාරයට ණය මුදල් ලබාදීම, නිවාස ඉදිකර දීම, මහල් නිවාස ලබා දීම වැඩි කරමින් අපට සාර්ථකව කටයුතු කිරීමට හැකිව තිබෙන්නේ අප ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගත් නිසයි.

    ඒ වගේම "ළඟම පාසල - හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ පාසල්වලට මුදල් ලබා දෙන අතර පාසල් දරු දැරියන් වෙනුවෙන් පසුගිය දා සිසු රක්‍ෂණ ක්‍රමවේදයක් ද අප ආරම්භ කළා. ඒ වගේම අපි සෞඛ්‍ය අංශයට අවශ්‍ය මුදල් ලබා දුන්නා. විදුලි බලයට, මහා මාර්ග ඉදිකිරීමට, වාරිමාර්ග ඉදිකිරීමට ආදී සියලූම අංශයන් සඳහා අප මේ වන විට අවශ්‍ය මුදල් වෙන් කර තිබෙනවා. මේ සියලූ දේ අප සිදු කරන්නේ එදා ඉදිරියට ගෙන යාමට නොහැකි යැයි පැවසූ ආර්ථිකය හරහායි. අප කඩා වැටී තිබූ එම ආර්ථිකය ශක්තිමත් කර ගත් නිසා මෙලෙස සාර්ථකව කටයුතු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
    නමුත් අපට එදා ලබා ගත් ණය තවමත් ගෙවීමට සිදුව තිබෙනවා. එම නිසා රට තුළ ණය පාලන වැඩසටහනක් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ වගේම රටේ උද්ධමනය පාලනය කරන්නේ කෙසේදැයි අප සැලසුම් කරමින් සිටිනවා. උද්ධමනය ඉහළ යාම නිසා රටේ ඇතැම් අංශවල බඩු මිල ඉහළ ගොස් තිබෙනවා.
    අපේ ආණ්ඩුව ගත් පියවර මත 2017 වසර අවසන් වන විට රටේ ආර්ථිකය 5.5% වර්ධන වේගයක් ලබා ගනු ඇතැයි අප බලාපොරොත්තු වුණා. නමුත් අපේ රටට විශාල ජල ගැලීම් දෙකකට මුහුණදීමට සිදු වුණා. ඒ වගේම නියඟයට, මීතොටමුල්ල කුණු කන්ද නායමට සහ මාරාන්තික ඩෙංගු උවදුරට ද අප මුහුණ දුන්නා. එවිට බොහෝ දෙනා පැවසූයේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනු ඇති බවයි. නමුත් මේ සියලූ කරදර මධ්‍යයේ ආර්ථික වර්ධනය කිරීම සඳහා අප ගෙන ඇති පියවර හේතුවෙන් 4% - 4.5% ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු විය හැකියි.
    අපි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගෙන තිබූ නිසා කෘෂිකර්මාන්තයට, වී ගොවිතැනට, පොල් අස්වැන්නට හානි පැමිණුනත්, විදුලි බිල ගාස්තු ඉහළ ගියත් ඊට සාර්ථකව මුහුණ දීමට අපට හැකි වුණා. එවැනි අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන අතර අශෝකපුර වැනි නිවාස ව්‍යාපෘති රට පුරා ඇති කිරීමටත් අප කටයුතු කරමින් සිටිනවා.

    නමුත් මම ඔබට පෙර පැවසූ ආකාරයට තවමත් ණය ගෙවීමට තිබෙනවා. අප ණය කන්දේ මුදුනට තවම පැමිණ නැහැ. 2018 – 2019 වසර වන විට අප ණය කන්දේ මුදුනට පැමිණෙනවා. ණය ලබාගත් පුද්ගලයන් රටේ ඉදිරි පරම්පරා තුනක් පමණ උකසට තබා අවසන්. ඉදිරි වසර දෙක තුළ අපට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්‍ෂ 3 ක් වනවා. එම සංඛ්‍යාව සරලව කියනවා නම් තුනේ ඉලක්කමට තවත් බිංදු 12 ක් ඊට එකතු කළ යුතුයි.
    අප මෙම විශාල ණය ප්‍රමාණය ගෙවා අවසන් කරන්නේ කෙසේද? මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 – 2019 අයවැය යොදවන්නේ එම අති විශාල ණය ප්‍රමාණය ගෙවා අවසන් කිරීම සඳහායි. අපට ණය කන්ද පසුකර යාමට හැක්කේ එම ණය ප්‍රමාණය ගෙවා අවසන් කිරීමෙන් පසුවයි. රටේ මුදල් පාලනය කරමින් අප ඉදිරියට ගියහොත් කෝටි ලක්‍ෂ තුනේ ණය ප්‍රමාණයත් අපට ගෙවීමට හැකියාව තිබෙනවා. මෙවැනි විශාල මුදලක් පියවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවුණත්, කෙසේ හෝ රට වෙනුවෙන් අප එය සිදු කරන බව මම ඔබට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
    ඉදිරි පරම්පරාවට මේ ණය ගෙවීම ඉතිරි නොකර අපේ පරම්පරාවේදීම එය ගෙවා අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි. මේ ණය කන්ද ගෙවීමට වසර 10 ක් අවශ්‍ය වන්නේ නැහැ. අපේ ඉදරි ආණ්ඩු කාලයේදීම මෙම විශාල ණය ප්‍රමාණය ගෙවීමට අප සැලසුම්සහගත විය යුතුයි. අපේ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණ එයයි.
    රුපියල් කෝටි ලක්‍ෂ 3 ක් ගෙවීමට ඔබ කැමැති දැයි මම මේ ස්ථානයේ සිටින තරුණ පරම්පරාවෙන් විමසනවා. ඔවුන්ට අවශ්‍ය අලූතින් ජීවිතයක් ආරම්භ කරන්නටයි. ආදායම් වැඩි කර ගනිමින් හොද ජීවිතයක් ගත කිරීමටයි. මෙම ණය මුදල ගෙවා අවසන් කිරීමට ආණ්ඩුවට ශක්තියක් තිබිය යුතුයි. අපේ ආණ්ඩුව මෙම ගැටලූවලට මුහුණ නොදී පළායන ආණ්ඩුවක් නොවෙයි. ආර්ථිකය ශක්තිමත් කරමින් 2018 – 2019 කාලය තුළ රුපියල් කෝටි ලක්‍ෂ 3 ක විශාලම ණය මුදල ගෙවා අවසන් කිරීමට අපි සූදානම් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

    ඉදිරි අයවැයේ මූලිකත්වය ලබා දී තිබෙන්නේ මෙම ණය පියවීම සඳහායි. ඒ සමගම නිවාස ලබා දෙමින් වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින්, වෘත්තීය අධ්‍යාපනය නගා සිටුවමින්, කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් සලසමින්, ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමට අප කටයුතු කරනවා.

    එක් පැත්තකින් ණය පියවමින්, අනෙක් පසින් ආර්ථික සංවර්ධනය වේගවත් කරමින් ඒ සමගම වැඩි වැඩියෙන් ආයෝජන ගෙන්වා ගෙන රැකියා අවස්ථා බිහි කිරීමටත් අප කටයුතු කරනවා. ඒ පිළිබඳව එළැඹෙන සිකුරාදා මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් රටේ ජනතාව දැනුම්වත් කරනවා. ඒ වගේම රුපියල් කෝටි ලක්‍ෂ 3 ක් වන රටේ ණය ගෙවන්නේ කෙසේද, ජනතාවට සහන ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබදව නොවැම්බර් 09 වැනි දා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය මගින් රට හමුවේ හෙළි කිරීමට නියමිතයි. මෙය විශාල අභියෝගයක්.
    ඇතැම් පියවර හමුවේ රටේ ජනතාවට ජීවන බර වැඩි වීමට ඉඩ තිබෙනවා. එය අපහසු බව අපි දන්නවා. නමුත් අපට අවශ්‍ය වන්නේ ලබා ගෙන ඇති ණය ප්‍රමාණය මේ වසර කිහිපය තුළ ගෙවා අවසන් කිරීමටයි. ඉදිරි පරම්පරාව ණය ගෙවීමෙන් නිදහස් කිරීමටයි. අපේ මූලික පරමාර්ථය වන්නේ එයයි. ණය ලබාගත්තේ කවුද යන්න ප්‍රශ්නයක් කර නොගෙන සියලූ දෙනා එක්ව ඒ ණය ගෙවීමට කටයුතු කරමු. එම ණය ගෙවීමේ අභියෝගය ඉදිරි පරම්පරාවට බාර නොදී අපි බාර ගනිමු. ඒ සඳහා තවත් වසර 10 ගත නොකර එළැඹෙන වසර 2 – 3 තුළ ණය ගෙවීමත් අවසන් කරමින්, රටේ ආර්ථිකය ශක්තිමත් කරමින්, වැඩි වැඩියෙන් රැකියා අවස්ථා බිහි කරමින් ශක්තිමත් ආර්ථිකයක් අපි ගොඩනගමු යැයි මම මේ අවස්ථාවේ ඔබට ප්‍රකාශ කරනවා.

    ඉදිරියේ දී ජනතාවට ලැබෙන සහන මෙන්ම, ඉදිරියේ දී ජනතාවට මුහුණදීමට සිදුවන අපහසුතා පිළිබඳව මම මෙහිදී විවෘතව පැවසූයේ ඉදිරි වසර දෙක තුළ රට ණය බරින් නිදහස් කරමින් ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නිසයි. එම නිසා නැවත ණය නොවන රටක්  සහ ඉහළ ආදායම් ලබන ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම දමමු යැයි මම මේ අවස්ථාවේ ඔබට ප්‍රකාශ කරනවා.  "

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya