නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කළා

    ඔක්තෝබර් 16, 2017

     අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    2017.10.15 වන දින බද්දේගම සතිපොළ අසල පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ බද්දේගම කොට්ඨාශ බල මණ්ඩල රැස්වීම අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

    කලකට පසුව අප බද්දේගම එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩලය කැඳවා තිබෙනවා. ශාඛා සමිති විටින් විට පවත්වා පක්‍ෂයේ වැඩ කටයුතු විග්‍රහ කළ යුතුව තිබෙනවා. එය බල මණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි. බියගම මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින් විට පැමිණ ශාඛා සමිති මුණගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති
    ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමක් වෙනවා.


    බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට මේ ප්‍රදේශය බාර දී ඉතා කෙටි කලක් ඇතුළත මෙම සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්‍ෂ මන්ත්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා.


    එමෙන්ම මන්ත්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප්‍රදේශයට වැඩ කටයුතු කරනවා. අප එතුමාගේ එම දක්‍ෂකම් හඳුනාගෙන මෙම වගකීම බාර දී තිබෙනවා. ශාඛා සමිති ඇති කොට ඉදිරි මැතිවරණයේ දී යක්කලමුල්ල සහ බද්දේගම
    ප්‍රාදේශීය සභා දෙකම ජයග්‍රහණය කරවීමට හැකියාව ලැබේ යැයි මා විශ්වාස කරනවා.


    මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප්‍රශ්න ගොඩගැසී ඇති රටක්... 2014 වසරේ දී රටේ ණය ප්‍රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නොමැතිව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කොට පළා ගියා. එම ණය ගෙවන්නට හැකි නම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. එලෙස ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර
    ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය කටයුතු කළා. බලය ලබාගත් සැණින් සියලූ දේ කරන්නට හැකියාවක් නැති බව අප දැන ගෙන සිටියා. මුලින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි. ඉන් පසුව වසර 10 ක් තිස්සේ අපේ පාක්‍ෂිකයන්ගේ ප්‍රශ්න විසඳීමට තිබුණා.

    නිවාස ප්‍රශ්න, රැකියා ප්‍රශ්න විසදිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ලබාගත යුතුයි. එම නිසා සියලූ දෙනා එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.


    මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුවක් බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක ඇතුළත අප ආර්ථිකයේ ස්ථාවර බවක් ඇති කර තිබෙනවා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ ණය ගෙවනවා. අපේ තරුණ පරපුරට ණය ඉතිරි කරන්නට අපට අවශ්‍ය නැහැ. මෙලෙස ණය ගෙවීමට පදනම දැමූවත් අපි ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ. එමෙන්ම ගම්මානවල වැඩ කටයුතු කිරීම සඳහා අප ආධාර උපකාර ලබාදුන්නා. හොඳම පාසල ළගම පාසල වැඩ සටහන යටතේ
    පාසල් පද්ධතිය දියුණු කළා.


    වසර දෙක ඇතුළත මේ ප්‍රදේශයට පමණක් රුපියල් ලක්‍ෂ 2400 ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා. 2018 – 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා එම මුදල ගැන මම කියන්නේ නැහැ. එම ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ඒ ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යයන් ද සපුරා ගත යුතුයි. ජනතාවගේ ආදායම් වැඩි කළ යුතුයි. ආර්ථිකය දියුණු කළ යුතුයි. එමෙන්ම ශක්තිමත් පදනමක් සහිත ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. පෞද්ගලික ආයෝජකයන් ද දිරිගන්වා, ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඉටු කර ගැනීම අපේ
    සැලසුම වී තිබෙනවා. කුඩා ව්‍යාපාර, දේශීය ව්‍යාපාර, විදේශීය ආයෝජන සියලූම දේ දිරිගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එම කාර්යයන් කොළඹට සීමා කරන්නේ නැහැ.


    මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප්‍රදේශයෙනුයි. ගාල්ල, කලහේ, බද්දේගම ප්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වන ශත වර්ෂයේදීයි. 19 වන ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි. 19 වන ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරාය දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්නට පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයෙකුත් කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචි වී සිටියා. ගාල්ලේ පිරිහීමත් සමග එහි පදිංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයා ගෙන වෙනත් ප්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනයක් ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිබඳව සැලසුම් සකස් කරනවා. බස්නාහිර පළාත තරමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි. ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ලබා ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප්‍රශ්නයකට මුහුණ දී තිබුණා.


    මහින්ද රාජපක්‍ෂ මහතා හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයත්, මත්තල ක්‍රිකට් ක්‍රීඩාංගනයත් ඉදිකර තිබුණා. මෙම ඉදිකිරීම් කර තිබුණේ ණය ලබාගෙනයි. නමුත් කිසිඳු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ. මත්තල ගුවන් තොටුපොළට ගුවන් යානා වෙනුවට මොණරුන් පැමිණියා. කොළඹගුවන් තොටුපොළේ ආදායමෙන් මත්තල නඩත්තු කරන්නට සිදු වුණා. කොළඹ වරායේ ආදායමෙන් හම්බන්තොට වරාය නඩත්තු කළා. මේවායේ මුදල් ගෙවීම සඳහා මුලූ රටටම බර පටවන්න සිදු වුණා.


    හම්බන්තොට සාර්ථක වරායක් ඉදිකිරීමට හැකියාවක් තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාවක් තිබුණා නම් මේ ප්‍රදේශය වඩා ශීඝ්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.


    අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරියවැව ක්‍රීඩාංගනය නම් ගොඩගැනීමට හැකියාවක් නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්නට සිදු වෙනවා. මේ අර්බුද පිළිබඳව චීන රජය සමග මා
    නැවත වරක් කතා කළා. ඩොලර් කෝටි බිලියන 130 ක මුදලක් චීන රජය හම්බන්තොට වරායට වියදම් කර තිබෙනවා. ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට ලබා දීමට ඔවුන් එකඟතාවය පළ කළා. එමගින් ණය බර අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ මුදල ලබා දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා වන එකඟතාවය මතයි.


    අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30 ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව එම වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන් වීමට පෙර එම වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60 ක යන්ත්‍ර ගෙනැවිත් 2018 – 2019 වර්ෂය එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.


    ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතු වී මත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කරවීමට සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ ආශ්‍රිතව
    කර්මාන්ත බිහි කිරීම අපේ අරමුණයි. මේ ක්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණු වන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප්‍රශ්න කරාවි. ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරායන් දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත්‍රික්කය ඒ සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

     


    ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට අප දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප්‍රදේශ ආශ්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මනින් රැකියා උත්පාදනය කිරීමට හැකියාව ලැබෙනවා. ඊළග වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.


    එමෙන්ම වෙළෙඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත් වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත් වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරායන් දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතියක් තිබෙන නිසයි. ආණ්ඩුවෙන් මෙන්ම පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලින් ද ඒ දියුණුව සදහා වැඩ කටයුතු කළ යුතුයි. කටුනායක සහ බියගම ප්‍රදේශවල වෙළෙඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10 ක් තුළ විශාල දියුණුවක් ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍ර කර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩි වීමත් සමග රැකියා අවස්ථා ද වැඩි වෙනවා. ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩි වීමට නියමිතයි. නමුත් ඒ රැකියා සදහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. එම පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් අප ආරම්භ කර තිබෙනවා. පුහුණු ආයතන සමග එක්ව මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.


    ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප්‍රදේශවල කෘෂිකර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ කුරුඳු සදහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි. ඕලන්ද සමයේ මේ ප්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි අප කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප්‍රදේශ පිළිබඳව සලකා බලා එම වගාවන් දියුණු කළ යුතුයි. එම නිසා නැවත තේ වගා කරන වැඩසටහනක් ක්‍රියාත්මක
    කිරීමට අප අදහස් කරනවා. තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්නට හැකි වේවි.


    තේ නැවත වගාව සහ කුරුඳු වගාව අපට කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා වනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂිකර්මාන්තයෙන් දියුණුවක් ඇති කර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු. එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළක් නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින් දියුණුවට පත් කරනවා. ගාලූ නගරය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත්‍රික්කයම එලෙස දියුණුවට පත් කිරීමට නියමිතයි. මේ සියල්ලම සිදු කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවරක් ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා.


    හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් දියුණුවක් ඇති කර සිංහරාජ වනාන්තරය ද ආරක්‍ෂා කර ගනිමින් සංචාරක මාර්ගයක් බිහි කරනවා. ඒ සමගම අධ්‍යාපනය දියුණු කිරීමටත් අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් ඇති කර තිබෙනවා. ගාල්ලේ අනාගතය 19 වන ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21 වන ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත එම අනාගතය ලබාදීමට කටයුතු කරනවා.


    ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබා දී තිබෙනවා. මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුවක් ක්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමග සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත් වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප්‍රදේශ දියුණුවට පත් වෙනවා. කලූතර වෙළෙඳ කලාපයක් ඇරැඹිම සඳහා අක්කර 800 ක් වෙන් කර තිබෙනවා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.


    අපගේ විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ අප කළ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් නොකිරීමයි. එම නිසා අප කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයත් ජනතාව අතරට ගෙන යාමට
    කටයුතු කරන්න.

    එක්සත් ජාතික පක්‍ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මෙම බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබූ අතර එක්සත් ජාතික පක්‍ෂ ගාල්ල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති, ස්වදේශ
    කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, එක්සත් ජාතික පක්‍ෂයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන්
    ප්‍රනාන්දු, බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්‍ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු එහිදී අදහස්
    දැක්වූහ.


    මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ, දකුණු පළාත් සභා මන්ත්‍රී සහ කරන්දෙනිය එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක සුනිල් සේනානායක යන මහත්වරු ඇතුලූ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ රැසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya