අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරයට ඉහළ වටිනාකමක් ලබාදීම සියලු දෙනා වෙත පැවරෙන ප‍්‍රමුඛ වගකීමක් - ජනපති

    ඔක්තෝබර් 12, 2017

    මහපොළවට සහ පරිසරයට වටිනාකමක් ලබාදෙමින් ඒ සඳහා වූ අද දවසේ වගකීම් නිසි ලෙස ඉටුනොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ මහත් ඛේදවාචකයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    එබැවින් පරිසර සංරක්ෂණයට අදාළ සියලු අංශවලට ඉහළ වටිනාකමක් ලබාදෙමින් තම වගකීම් ඉටුකිරිමට කැපවීම අද දවසේ සියලුදෙනා වෙත පැවරෙන ප‍්‍රමුඛ වගකීමක් බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    ජල පෝෂක ප‍්‍රදේශ සංරක්ෂණ හා වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භය ජනපති ප‍්‍රධානත්වයෙන් සනිටුහන්  කළ අතර එහිදී ජනාධිපතිතුමා ඊයේ (11) මේ බව සඳහන් කළේය.

     

    සොබාදහම රැකගැනීම, සංකල්පයට අනුව ජනාධිපති කාර්යාලය හා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන , පුනරුදය, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනෙහි ප‍්‍රධාන අරමුණු වන ජල පෝෂක ප‍්‍රදේශ රැකගැනීම හා වන ගහනය වර්ධනය කර ගැනීම ඉලක්ක කරගනිමින් සංවිධානය කෙරුණු ජල පෝෂක ප‍්‍රදේශ සංරක්ෂණය හා වනරෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනෙහි සමාරම්භය මෙලෙස සනිටුහන් කෙරිණි.

     

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ පසුගිය වසර කිහිපය පුරා අඛණ්ඩව මුහුණ දීමට සිදුවූ ගංවතුර, නායයාම්, නියඟය වැනි ආපදා තත්ත්වයන් මිනිසා, පරිසරය වෙනුවෙන් වූ වගකීම් ඉටු නොකිරීම නිසා මුහුණදීමට සිදුවූ ප‍්‍රතිවිපාකයන් බවයි.

    සංවර්ධනය අත්‍යාවශ්‍යයි සේම ඒ සඳහා නිසි සැලසුම් සහ ප‍්‍රතිපත්තීන්ට අනුව මෙන්ම පරිසර නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    අද ආරම්භ කෙරෙන ,වනරෝපා, පරිසර සංරක්ෂණ වැඩසටහන පරිසරය සංරක්ෂණය, පෝෂණය කිරීම සහ පරිසරයට ආදරය කිරීම පිළිබඳ මිනිසුන් ලෙස ඉටුකළයුතු මූලික වගකීමක් ඉටු කිරීමට අත්වැල් බැඳ ගැනීමක් වන අතර එම වැඩපිළිවෙළට එක්වෙමින් සිය සාමුහික වගකීම ඉටුකිරීමට සියලූදෙනා කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

     

    ජල පෝෂක ප‍්‍රදේශ සංරක්ෂණය පිළිබඳ සැකසු ග‍්‍රන්ථයක් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූණු අතර,  "වනරෝපා" ජාතික රුක් රෝපණ වැඩසටහන සංකේතවත් කරමින් පළතුරු පැළ පාසල් සිසුන් වෙත බෙදා දීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අමාත්‍ය එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් අමාත්‍යවරුන් වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, බන්දුල යාලේගම යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරුන් ද, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එච්.එම්.පී හිටිසේකර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින්, පාසල් දරුවන්, ප‍්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya