නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධන ක්‍රියාවලියේදී කිසිදු අක‍්‍රමිකතාවයකට ඉඩක් නැහැ - ජනපති

    සැප්තැම්බර් 27, 2017
    අද රටේ තහවුරු වී ඇති දේශපාලන ස්ථාවරත්වය තුළ  අන්තර්ජාතික වශයෙන් ද සියලුදෙනාගේ සහය ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා නොඅඩුව හිමිව තිබෙන බව සඳහන් කරන ජනාධිපතිතුමා එම සංවර්ධන ක්‍රියාවලියේදී කිසිදු වංචාවක්, දූෂණයක් හෝ අක‍්‍රමිකතාවයක් සිදුවීමට ඉඩ නොතබන බව අවධාරණය කරයි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (27) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.
     
    වැරදි කරන අයට දඩුවම් ලබා නොදෙමින්, එම වැරදි තව දුරටත් සිදුවීමට පසුගිය ආණ්ඩු ඉඩ හැරිය ද අද කිසිදු දේශපාලන භේදයකින් තොරව වංචාවට, දූෂණයට සහ අක‍්‍රමිකතාවයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට එළැඹීමට රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
     
    රට තුළ තහවුරුවී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස අනුව දේශපාලන ප‍්‍රතිවාදීන් රජයට කුමන අන්දමේ චෝදනා සහ විවේචන එල්ල කළ ද ලෝකයේ සියලු මිත‍්‍ර රාජ්‍යවල සහය ඇතිව රට තුළ ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකුට නොහැකි බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    බදුල්ල, හාලිඇල සහ ඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ග‍්‍රාම නිලධාරි වසම් 42 ක එක්ලක්ෂ දසදහසක් ජනතාවට ඝෘජුවම පානීය ජලය සැපයෙන බදුල්ල, හාලිඇල සහ ඇල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය අද (27) පෙරවරුවේ පළමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි. 
     
    මහවැලි ගඟේ ප‍්‍රධාන අතු ගංඟාවක් වන බදුලු ඔය දෙමෝදර දී හරස් කොට මෙම ජලාශය ඉදිකර තිබෙන අතර දිනකට ජලය ඝන මීටර් 15,000 ක් පිරිපහදු කළ හැකි ජල පිරිපහදු මධ්‍යස්ථානයක්, ඝන මීටර් 132,000  පරිමාවකින් යුත් මීටර් 17 ක උස කොන්කි‍්‍රට් වේල්ලක් සහිත ජලාශය මෙන්ම ප‍්‍රදේශය ආවරණය වන පරිදි ඉදිකරන ලද ජල ගබඩා ටැංකි 08ක් සහ සම්පේ‍්‍රෂණ හා බෙදාහැරීම් ජල නළ පද්ධති මීට ඇතුළත් වේ.
     
    පිරිපහදු කරන ලද පානීය ජලය ලබාදීම තුළින් එම ප‍්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය සහ ජීවන මට්ටම ඉහළ නැංවීම මෙන්ම එම ප‍්‍රදේශවල ජනතාවගේ කෘෂිකාර්මික ජල අවශ්‍යතා සඳහා ජලය මුදාහැරීම ද මෙමඟින් අපේක්ෂා කෙරේ.
     
    ශී‍්‍ර ලංකා රජයේ සහ ඇමරිකානු ණය ආධාර යටතේ ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 11,800 කි. සමරු ඵලකය නිරාවරණය කර ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
     
    මේ අතර බදුල්ල නගරය තුළ දැඩි අඩුපාඩුවක්ව පැවති වාහන අංගණයක අවශ්‍යතාවය සපුරාලමින් ඌව පළාත් සභාව මගින් රුපියල් මිලියන 95ක වියදමින් ඉදිකළ මෝටර් රථ අංගනය ද අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.
     
    එකවර වාහන 200 ක් පමණ ගාල් කර තැබිය හැකි මෙම වාහන අංගණය මහල් දෙකකින් සමන්විතය.
     
    එමෙන්ම ඌව පළාත සඳහා සංවර්ධන නිලධාරි, කෘෂි සහකාර, අදායම් පරීක්ෂක, කෘෂි උපදේශක, දෙමළ මාධ්‍ය ගුරු උපදේශක ඇතුළු රාජ්‍ය සේවා පත්වීම් 320 ක් ප‍්‍රදානය කිරීමද මේ හා සමගාමීව සිදුවූ අතර ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව පත්වීම් ලිපි කිහිපයක් ප‍්‍රදානය කෙරිණි.
     
    අනතුරුව බදුල්ල නගරයේ ද නිරීක්ෂණ චාරිකාවක නිරතවු ජනාධිපතිතුමා එහි නව මාර්ග සංඥා පද්ධතිය ද විවෘත කරනු ලැබීය.
     
    අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, හරින් ප‍්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය ඇමතිනි සුමේධා ජී. ජයසේන,  ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක්  මෙම අවස්ථාවන් සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya