අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ, ගාලුමුවෙදාර පිටියේ දී, නොමිලේ වයිෆයි අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අවස්ථාවට ඊයේ (25) සහභාගී වෙමිනි. අන්තර්ජාල පහසුකම ලබාදීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් සිදු කොට ඇත.
ලෝකයේ තොරතුරු දැනගැනීමට, එදිනෙදා වැඩකටයුතු සහ වාණිජ වැඩකටයුතු ඉටුකර ගැනීමට ආදී සියලු දේ සඳහා අන්තර්ජාල යටිතල පහසුකම් දියුණු කරමින් ඒ පහසුව ජනතාවට ලබාදීම වත්මන් රජයේ අරමුණ බවත් අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට මේ වනවිට රටේ ඇතිවී ඇති විශාල ඉල්ලුම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු පෙන්වා දුන්නේය.
"ඩිජිටල් විප්ලවයට එකතුවීමෙන් තොරව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව මම කියන්න කැමැතියි. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. වර්තමානයේ ලෝකයේ සෑම රටකම ඩිජිටල් ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. කාලයක් ලෝකය පැවතුණේ කෘෂි ආර්ථිකය පදනම් කරගනිමිනුයි. ඉන්පසුව කර්මාන්ත ආර්ථිකයක් ද බලශක්ති ආර්ථිකයක් ද ලෝකයේ ඇති වුණා. වර්තමානයේදී අප ලෝකයේ අනෙක් රටවල් මෙන් ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. ඩිජිටල් ආර්ථිකයට ශ්‍රී ලංකාවත් එකතු වූ විට ගමනා ගමන පහසුකම්, තොරතුරු සන්නිවේදන පහසුකම් සහිත මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා".
"අන්තර්ජාල පහසුකම් සම්බන්ධ බදු අඩු කිරීම අන්තර්ජාල පහසුකම ලබාදීමේ වැඩසටහනේ එක් පියවරක්. දෙවනුව මෙවැනි අන්තර්ජාල පහසුකම් ලබාදෙන යන්ත්‍ර දිවයින පුරා ඇති කිරීමටත් අපි බලාපොරොත්තු වනවා. විශේෂයෙන්ම එළඹෙන වසරේ මාර්තු අප්‍රේල් මාසයන් වන විට රටේ සියලු ම උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදෙනවා. ඒ හරහා තමන්ගේ නිවසට ඩිජිටල් ආර්ථිකය ගෙන ඒමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. මෙම ඩිජිටල් විප්ලවයට එක්වීම හරහා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ දැනුම ලබාගැනීමට හැකි වනවා. මේ පියවර කිහිපය අනුගමනය කරමින් වසර 3, 4 ක් ගත වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය වේවි".
"ජාතික ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හරහා රටේ ජනතාවට අන්තර්ජාල පහසුකම් ලැබෙනවා නම් ඩිජිටල් විප්ලවයට එකතු වීමට හැකියාව ලැබෙනවා නම් ඊට දොස් නඟන්නේ කවුද? ජාතික ආණ්ඩුවක් හරහා කෙටි කාලයකට ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතුවී වැඩ කිරීමෙන් මේ රටේ ජනතාවට විශාල දියුණුවක් අපි ළඟා කරදී තිබෙනවා".
නිදහස් වයිෆයි අන්තර්ජාල පහසුකම ලබාදීම මේ ආකාරයට ආරම්භ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටත්, හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාටත් තමන් ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.